Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන තරග අතුරින් ප්‍රේක්ෂක අවධානය නොමඳව දිනාගන්නා තරගයක් ලෙසින් ඉන්දු-දකුණු අප්‍රිකා තරගය හැඳින්වීමට පුළුවන්. දකුණු අප්‍රිකා කණ්ඩායම ඔවුන් සහභාගි වුණු පළමු තරග 2ම පරාජයට පත්වුණත්, මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඇති ඉඩ වැඩියි. එම නිසාම මෙම පෙර විමසුම ඉන්දු-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-දකුණු අප්‍රිකා ගැටුම්

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 4ක දී එකිනෙකා ගැටී තිබෙනවා. එහිදී දකුණු අප්‍රිකානුවන් තරග 3කින් ජයග්‍රහණය කරන විට ඉන්දියානුවන් ජයග්‍රහණය කර තිබෙන්නේ එක් තරගයක් පමණ යි.

මෙම කණ්ඩායම් 2ක 1992 ලෝක කුසලාන තරගාවලියේ දී මුල්ම වරට එකිනෙකා ගැටුණු අවස්ථාවේ දී දකුණු අප්‍රිකානු ජයග්‍රහණය තහවුරු කළ පීටර් කර්ස්ටන් පන්දු 86කින් ලකුණු 84ක් ලබාගත්තා.

ඉන්දියාව – 180/6 (30)

දකුණු අප්‍රිකාව – 181/4 (29.1)

දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

 1992 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් මෙම කණ්ඩායම් 2ක එකිනෙකා හමුවුණේ 1999 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී යි. එහිදී දකුණු අප්‍රිකානු පිතිකරු ජැක් කලිස් ලබාගත් අගනා ලකුණු 96 නිසා ඉන්දීය කණ්ඩායමට වාසිදායකව පැවති තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකිවුණා. එහිදී  කලිස්ට දුවද්දී දැවීයාම නිසා ඔහුගේ මංගල ලෝක කුසලාන ශතකය අවාසනාවන්ත ලෙසින් අහිමි වීම කණගාටුදායක සිදුවීමක් වුණා.

ඉන්දියාව – 253/5 (50)

දකුණු අප්‍රිකාව – 254/6 (47.2)

දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 තරගාවලියෙන් පසුව නැවතත් මෙම කණ්ඩායම් දෙක 2011 ලෝක කුසලාන තරගාවලියේ දී හමුවුණු අවස්ථාවේ දකුණු අප්‍රිකානුවන් තරගයේ ජයග්‍රහණය ලැබුවේ තියුණු අවසානයකින් පසුව යි. නාග්පූර් නුවර දී පැවති එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 1ක් දැවී ලකුණු 267ක් ලබාගනිමින් ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉන්දීය අවසන් කඩුලු 9ම ලකුණු 29ක් තුළ දවාගත් නිසා ඉන්දීය ඉනිම ලකුණු 296කට නිමාව දුටුවා. ඉන්පසුව ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49.4ක් අවසානයේ දී ජයග්‍රහණය කරා ගියේ කඩුලු 7ක් දැවී තිබිය දී යි.

ඉන්දියාව – 296/10 (48.4)

දකුණු අප්‍රිකාව – 300/7 (49.4)

දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක්

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට 2015 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක උරෙනුර ගැටුණු අවස්ථාවේ ෂිකාර් ධවාන් ලබාගත් ලකුණු 137 නිසා ඉන්දීය කණ්ඩායමට පහසු ජයක් ලැබීමට හැකිවුණා.

ඉන්දියාව – 307/7 (50)

දකුණු අප්‍රිකාව – 177/10 (40.2)

ඉන්දියාවට ලකුණු 130ක ජයක්

2015 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 10 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 6ක්. එම තරගවල දී පිතිකරුවන්ට වඩාත් උචිත අයුරින් හැසිරී ඇති මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දී ඇති කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 325ක්. එම නිසාම මෙම තරගයේ දීත් පිතිකරුවන්ට වඩාත් උචිත තණතීරුවක් සැකසීමට තිබෙන්නේ වැඩි ඉඩක්.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා තරග 6න් 4ක් ජයග්‍රහණය කර තිබෙන්නේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම තරගයේ තීරණය සඳහා කාසියේ වාසියෙන් කෙරෙන බලපෑම අඩු යි.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වරට මෙම පිටියේ දී පැවති දිවා තරග 6 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථා 3ක දී මුලින්ම පන්දුවට පහර දී ඇති අතර, ඉතිරි අවස්ථාවන් 3 දී ප්‍රතිවාදී කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර ඇත.

රෝස් බෝල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඉන්දීය කණ්ඩායම රෝස් බෝල් පිටියේ දී කිසිදු දිවා තරගයක් සඳහා සහභාගි නොවුණත් දකුණු අප්‍රිකානු කණ්ඩායම කණ්ඩායම 2017 වසරේ මෙම පිටියේ දී එංගලන්ත කණ්ඩායම සමග දිවා තරගයක් ක්‍රීඩා කළා. එහිදී ඉතාමත් තියුණු සටනකින් පසුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 2ක ජයක් හිමිවුණා.

එංගලන්තය – 330/6 (50)

බෙන් ස්ටෝක්ස් – 101 (79)

ජෝස් බට්ලර් – 65 (53)

කගීසෝ රබාඩා – 50/2

දකුණු අප්‍රිකාව – 328/5 (50)

කුයින්ටන් ද කොක් – 98 (103)

ඩේවිඩ් මිලර් – 71* (51)

ලියාම් ප්ලන්කට් – 64/3

එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන ඉන්දු-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක එක්දින තරගාවලියක දී හමුවුණේ 2018 වසරේ දී යි. දකුණු අප්‍රිකාවේ පැවති එම තරගාවලිය 5-1ක් ලෙසින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ විරාට් කෝලිගේ පිතිකරණ සාමාන්‍ය 186.00ක් බවට පත්ව තිබුණා. මෙවර තරගය පැවැත්වෙන රෝස් බෝල් තණතීරුව අතීතයේ දී මෙන්ම මෙවරත් පිතිකරුවන්ට හිතකර එකක් වුණොත් මෙම තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය-  Roar සිංහල

Related Articles