Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන ඉන්දියානු කණ්ඩායම

ප්‍රබල පිතිකරුවන් රැසක් සමගින් මෙවර ලෝක කුසලානයට එන ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා සියලුම සුදුසුකම් ඇති කණ්ඩායමක්. එම නිසාම 1983 වසරට පසුව එංගලන්ත බිමේ දී ලෝක කුසලානයක පහස ලැබීමට මෙවර ඉන්දියානුවන්ට ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබී තිබේ. අවසන් වරට එංගලන්ත බිමේ පැවති 2013 සහ 2017 ශූරයන්ගේ තරගාවලිවල දී පිළිවෙලින් ශූරතාවය සහ අනු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම මෙවරත් එංගලන්ත බිමේ දී සුපුරුදු දස්කම් දැක්වීමට ඇති ඉඩකඩ වැඩියි.

ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු ඉන්දීය කණ්ඩායම 1987,1996, සහ 2011 ලෝක කුසලාන තරගාවලිවල සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1975 සිට මේ දක්වා පැවති තරගාවලි 11 තුළ තරග 75කට මුහුණදුන් ඉන්දීය කණ්ඩායම ඉන් තරග 46ක් ජයග්‍රහණය කරන විට 27ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

1983 සහ 2011 ලෝක කුසලාන තරගාවලිවල දී ලෝක ශූරයන් බවට පත්වුණු ඉන්දියාව 2003 ලෝක කුසලාන තරගාවලියේ දී අනු ශූරයන් බවට පත්වුණා.

 1983 වසරේ මුල්මවරට ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර් විසිනුයි. 1992-2011 දක්වා පැවති  ලෝක කුසලාන තරගාවලිවල දී ඉන්දියාව නියෝජනය කරමින් ඔහු ඉනිම් 44ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 2278ක්.  56.95ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් ටෙන්ඩුල්කාර්,තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩා කළේ 2003 ලෝක කුසලාන තරගාවලියේ නැම්බියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 152ක් ලබාගනිමින්. ටෙන්ඩුල්කාර්ගේ නාමය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අමතක රන් අකුරින් ලියැවෙන්නේ තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම ශතක ලාභියා යන වාර්තා 2ම ඔහු සතු වීම නිසා යි.

ටෙන්ඩුල්කාර් නැම්බියාවට එරෙහිව ලකුණු 152 ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ සහීර් ඛාන් සහ ජවගල් ශ්‍රීනාත් විසිනුයි. එහිදී සහීර් ඛාන් තරග 23ක දී කඩුලු 44ක් දවාගන්නා අතරතුර ශ්‍රීනාත් එම කඩුලු ප්‍රමාණය දවාගෙන ඇත්තේ තරග 34ක් තුළ දී යි.

සහීර් ඛාන් 2011 තරගාවලියේදී පන්දු යවමින් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා ඉන්දියාව එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ සිට මේ දක්වා ඉන්දීය කණ්ඩායම එක්දින තරගාවලි 7කට සහභාගි වුණා. එහිදී අප්‍රිකානු බිමේ දී 5-1ක් ලෙස ඔවුන්ව පරාජය කළ ඉන්දියානුවන් එංගලන්ත බිමේ දී එක්දින තරගාවලිය පරාජය වුණේ 2-1ක් ලෙසින්. ඉන් අනතුරුව ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ඉන්දියානුවන් මව්බිමේ දී කොදෙව්වන්ව 3-1ක් ලෙසින් පරාජය කළත් ඕස්ට්‍රේලියානුවන් හමුවේ 3-2ක් ලෙසින් පරාජය වුණා. එලෙස මව්බිම තුළ දී ඕස්ට්‍රේලියානුවන් හමුවේ පරාජය වුණත් ඔවුන්ගේ බිමේ දී ඔවුන්ව පරාජය 2-1ක් ලෙසින් පරාජය කිරීමට ඉන්දියානුවන්ට හැකිවුණා. ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති අවසන් තරගාවලියේ දී  ඉන්දියානුවන් කිවි බිමේ දී කිවියන්ව 4-1ක් ලෙසින් පරාජය කළේ ලෝක කුසලානයට ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වීමට පසුබිම සකස්කර දෙමින්.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ඉන්දීය  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගව ලදී විරාත් කෝලි, රෝහිත් ෂර්මා, සහ ෂිකාර් ධවාන් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තිබෙනවා.

කෝලි දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලකුණු 160ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ඉන්දීය පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චහාල්, සහ බුවනේෂ්වර් කුමාර් කඩුලු 30 ඉක්මවා ලබාගෙන තිබෙනවා.

කුල්දීප් යාදව් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන ඉන්දීය සංචිතය

විරාත් කෝලි  (නායක)

රෝහිත් ෂර්මා  

ෂිකාර් ධවාන්

මහේන්ද්‍ර සිං දෝනි  

ලෝකේෂ් රාහුල්  

දිනේෂ් කාර්තික්

කේදර් ජදාව්   

හාර්ඩික් පාණ්ඩ්‍යා  

රවීන්ද්‍ර ජඩේජා  

විජේ ශංකර්  

කුල්දීප් යාදව්   

බුවනේෂ්වර් කුමාර්

ජස්ප්‍රිට් බූම්රා  

යුස්වේන්ද්‍ර චහාල්

මොහොමඩ් ෂමී   

මෙවර ඉන්දියාවේ ලෝක කුසලාන ගමන

මෙවර තරගාවලියේ දක්නට ලැබෙන සමබරම කණ්ඩායමක් වන ඉන්දීය කණ්ඩායම සතුව කෝලි, රෝහිත්, සහ ධවාන් වැනි ප්‍රබල පිතිකරුවන් මෙන්ම බූම්රා, බුවනේෂ්වර්, සහ කුල්දීප් වැනි ප්‍රබල පන්දු යවන්නන්  කිහිපදෙනෙකු ද සිටිනවා. එමෙන්ම තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින හාර්ඩික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ සිටින ප්‍රබලම බලාපොරොත්තුවන් වන අතර, ඔහුගේ දස්කම් තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමේ ඉදිරි ගමනට ඉතාමත්ම වැදගත්. මෙවැනි ප්‍රබල තුරුම්පුවලින් සන්නද්ධ වී තරගාවලිය සඳහා අවතීර්ණ වන ඉන්දීය කණ්ඩායම සිය උපරිම ශක්තිය යොදමින් තරගාවලිය තුළ තරග වැදුණොත් ඔවුන්ගේ ලෝක කුසලාන ජයග්‍රහණය කිසිම කණ්ඩායමකට වැලැක්විය නොහැකියි.

කවරයේ ඉන්දීය කණ්ඩායම තරගයක් අතරතුර (thesportsrush.com)

Related Articles