Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන පාකිස්ථානු කණ්ඩායම

අවසන් වරට එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් අවසන් තරගය දක්වා පැමිණි පාකිස්ථානුවන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ එතරම් දස්කම් අතර සිටිමින් නොවේ. නමුත් මීට වසර 2කට පමණ පෙර එංගලන්ත බිමේ දී පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට  පාකිස්ථානුවන් සමත් වුණු නිසාම ඔවුන්ව අවතක්සේරු කළ නොහැකියි. එම නිසාම මෙවර තරගාවලිය තුළ පෙරළියක් කිරීමට ඉඩ ඇති කණ්ඩායමක් ලෙසින් පාකිස්ථානු කණ්ඩායම නම් කිරීමට පුළුවන්.

පාකිස්ථානය ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු පාකිස්ථානු   කණ්ඩායම 1987 සහ 1996 ලෝක කුසලාන තරගාවලිවල දී සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1975 සිට මේ දක්වා පැවති තරගාවලි 11 තුළ තරග 71කට මුහුණදුන් පාකිස්ථානු කණ්ඩායම ඉන් තරග 40ක් ජයග්‍රහණය කරනවිට 29ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

පාකිස්ථානු කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය වන්නේ 1992 වසරේ පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගැනීම යි. ඊට අමතරව ඔවුන් 1999 වසරේ දී එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන් බවට පත්වුණා..

1992 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ජාවෙඩ් මියැන්ඩාඩ් විසිනුයි. 1975-1996 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 30ක දී ශතක 1ක් සහ අර්ධ ශතක 8ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 1083ක්. එහි දී 43.32ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් මියැන්ඩාඩ්, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩාකළේ 1987 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 103ක් ලබාගනිමින්.

මියැන්ඩාඩ්  ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 103ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වසීම් අක්‍රම් 1987-2003 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 55ක්. එහිදී 2003 තරගාවලියේ නැම්බියාවට එරෙහිව ලකුණු 28කට කඩුලු 5ක් දවාගනිමින් අක්‍රම් තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

අක්‍රම් නැම්බියාවට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා පාකිස්ථානය එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ සිට මේ දක්වා පාකිස්ථානු  කණ්ඩායම එක්දින තරග 33කට සහභාගි වී, ඉන් තරග 10ක්

ජයග්‍රහණය කරන විට, තරග 21ක් පරාජය වුණා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය පමණක් 5-0ක් ලෙසින් ජයග්‍රහණය කළ පාකිස්ථානු කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුවේ 5-0 ලෙසිනුත්, එංගලන්තය හමුවේ 4-0ක් ලෙසිනුත් එක්දින තරගාවලි පරාජයට පත්වුණා. එම තරගාවලිවලට අමතරව ආසියානු කුසලාන තරගාවලිය පරාජය වුණු පාකිස්ථානුවන් අප්‍රිකානු බිමේ දී 3-2ක් ලෙසින් එක්දින තරගාවලිය පරාජයට පත්වුණා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු පාකිස්ථානු පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී  ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, සහ බාබර් අසාම් පාකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තිබෙනවා.

සමාන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 210ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු පාකිස්ථානු  පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී පාකිස්ථානය වෙනුවෙන් ෂඩාබ් ඛාන්, ෂහීන් අෆ්රිඩි, සහ හසන් අලී  වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

ෂඩාබ් ඛාන් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන පාකිස්ථානු සංචිතය

සෆ්රාස් අහමඩ් (නායක)

ෆකාර් සමාන්

ඉමාම් උල් හක්

මොහොමඩ් හෆීස්

බාබර් අසාම්

ෂොයිබ් මලික්

හැරිස් සොහේල්

අසීෆ් අලී

ඉමාඩ් වසීම්

ෂඩාබ් ඛාන්

මොහොමඩ් අමීර්

වහාබ් රියාස්

හසන් අලී

ෂහීන් අෆ්රිඩි

මොහොමඩ් හස්නේයින්  

මෙවර පාකිස්ථානයේ ලෝක කුසලාන ගමන

පසුගිය කාල සමය තුළ එක්දින පිටියේ එතරම් දස්කම් නොදැක්වූ පාකිස්ථානුවන්ට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ප්‍රබල තරග රටාවක නිරත වීමට සිදුවනු ඇති. යම් හෙයකින් ඔවුන් තරගාවලිය තුළ සාර්ථක ආරම්භයක් ලබාගතහොත් ඔවුන්ව නැවැත්වීමට අනිත් කණ්ඩායම්වලට පහසු නොවන බවට ඉතිහාසයේ යම් සිදුවීම් සාක්ෂ්‍ය දරනවා. 1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා නැති පාකිස්ථානුවන් මෙවර තරගාවලියේ දී සිය උපරිම ශක්තිය පෙන්වීමට උත්සහ කරනු ඇති.

කවරයේ ඡායාරූපය- පාකිස්ථානු කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (icc cricket)  

Related Articles