Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ හමුවන උද්වේගකර තරග කිහිපයක නිර්මාණකරුවන් ලෙසින් දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය හැඳින්වීමට පුළුවන්. සාමාන්‍යයෙන් එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් දෙකක් වන පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලිය තුළ යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එම නිසාම මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගය එතරම් තීරණාත්මක එකක් නොවනු ඇති. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රේක්ෂක ඔබ මෙම තරගය පිළිබඳව උනන්දුවක් දක්වන නිසාම තරගයේ පෙර විමසුම මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානු-දකුණු අප්‍රිකා ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 4 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණ 3ක් ලබාගන්නා විට පාකිස්ථානුවන්ට ජයග්‍රහණය කිරීමට ලැබුණේ එක් අවස්ථාවක දී පමණ යි.

1992 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක මුල්ම වරට හමුවුණා. එම තරගයේ දී  මුලින්ම පහරදුන් දකුණු අප්‍රිකානුවන් කඩුලු 7ක් දැවී ලකුණු 211ක් ලබාගත්තා. නමුත් පසුව එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පාකිස්ථානුවන්ට පන්දුවාර 36ක දී ලකුණු 194ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණු නිසාම උරුම වුණේ ලකුණු 20ක පරාජයක්. එහිදී පාකිස්ථානුවන් එම ඉලක්කය හඹා යාමේ දී ජොන්ටි රෝඩ්ස් විසින් ඉන්සාමාම්ව දුවද්දී දවාගැනීමට හසුකරගත් අවස්ථාව එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සිදුවුණු අමතක නොවන සිදුවීමක්

දකුණු අප්‍රිකාව – 211/7 (50)

පාකිස්ථානය – 173/8 (36)

දකුණු අප්‍රිකාවට ලකුණු 20ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

ජොන්ටි රෝඩ්ස් විසින් ඉන්සාමාම් ව දුවද්දී දැවීයාමකට හසුකරගත් අවස්ථාව (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. එහිදී පාකිස්ථානය වෙනුවෙන් ආමිර් සොහේල් ලකුණු 111ක් ලබාගත්තත් තරගයේ ජය හිමිවුණේ දකුණු අප්‍රිකානුවන්ට යි.

පාකිස්ථානය – 242/6 (50)

දකුණු අප්‍රිකාව – 243/5 (44.2)

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

1996 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටයේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු තීරණාත්මක තරගයේ ජය දකුණු අප්‍රිකානුවන්ට හිමිවුණේ ලාන්ස් ක්ලූස්නර් තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම්  නිසා යි.

පාකිස්ථානය – 220/7 (50)

දකුණු අප්‍රිකාව – 221/7 (49)

දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමුවුණේ 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී යි. එහිදී ලකුණු 223ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන් 102/6ක් ලෙස අසීරු අඩියකට වැටී සිටියා. නමුත් අවස්ථාවේ ක්‍රියාත්මක වුණු බෙන්ජමින් ද විලියර්ස් පන්දු 58කි න් ලකුණු 77ක් ලබාගත්තත් ජයග්‍රහණය හිමිවුණේ පාකිස්ථානු කණ්ඩායමට යි.

පාකිස්ථානය – 222/10 (46.4)

දකුණු අප්‍රිකාව – 202/10 (33.3)

පාකිස්ථානයට ලකුණු 20ක ජයක්

2015 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර  ලෝඩ්ස් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 5 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 6ක්. එහිදී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 6 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 277ක්.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 6 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා එක්දින තරග හයෙන් 4ක දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග හයෙන් 4ක් ජයග්‍රහණය කර ඇත්තේ  මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසා පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ලෝඩ්ස්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වසර 10 තුළ මෙම පිටියේ දී දිවා එක්දින තරග 2කට සහභාගි වී තිබෙනවා. 2017 වසරේ දී අවසන් වරට සහභාගි වුණු තරගය දකුණු අප්‍රිකානුවන් එංගලන්තය හමුවේ ජයග්‍රහණය කළේ කගීසෝ රබාඩා ලකුණු 39කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. පාකිස්ථානය අවසන් වසර 10 තුළ මෙම පිටියේ දී තරග කළේ එක් දිවා තරගයක් පමණ යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු දෙකකට දැවීගොස් තිබුණු අවස්ථාවේ සෆ්රාස් අහමඩ් ලබාගත් ලකුණු 105ක් ලබාගත්තත් අවසානයේ දී තරගයේ ජය හිමිවුණේ එංගලන්ත කණ්ඩායමට යි.

ලෝඩ්ස් පිටියේ දී රබාඩා පන්දු යවමින් (gettyimages)

අද පැවැත්වෙන පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එක්දින තරගාවලියක දී හමුවුණේ 2019 වසරේ දී යි. එම තරගාවලිය 3-2ක් ලෙසින් ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් ඉවත්ව සිටියත් පාකිස්ථානුවන්ට ඉතිරි තරග සියල්ලම ජයග්‍රහණය කළොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් තිබෙනවා. එම නිසා පාකිස්ථානු කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීම සඳහා උපරිම උත්සාහය දරාවි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles