Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-පාකිස්ථාන් තරගයේ පෙර විමසුම

ඇෆ්ගනිස්ථානය හමුවේ පැවති තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන 11වන තරගයේ දී පාකිස්ථානු කණ්ඩායම සමග බ්‍රිස්ටල්හි දී තරග වදිනවා. කණ්ඩායම් 2ම ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වන මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම ඉතාමත් වැදගත්. එම නිසාම ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැ යි සැලකෙන මෙම තරගය පිළිබඳව පෙර විමසුම මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-පාකිස්ථානු ගැටුම්

මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අවස්ථාව 7ක දී එකිනෙකා හමුවී තිබෙනවා. නමුත් එම තරග 7 දීම ජයග්‍රහණය හිමිවුණේ පාකිස්ථානු කණ්ඩායමට යි. එම නිසාම මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ වන්නේ එක්දින ලෝක කුසලාන තරගයක දී පාකිස්ථානු කණ්ඩායම මුල්ම වරට  පරාජය කිරීමේ අභිප්‍රාය ඇතිව යි.

1975 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් 2ක හමුවුණු අවස්ථාවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් උරුම වුණේ පාකිස්ථානු පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය නිසා යි. එහිදී සහීර් අබ්බාස් ලකුණු 97ක් සහ මජිඩ් ඛාන් ලකුණු 84ක් ලබාගත්තා.

පාකිස්ථානය – 330/6 (60)

ශ්‍රී ලංකාව – 138/10 (50.1)

පාකිස්ථානයට ලකුණු 192ක ජයක්

සහීර් අබ්බාස් පන්දුවට පහරදෙමින් (gettyimages)

නැවතත් 1983 තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක මූලික වටයේ තරගවල දී දෙවරක් තරග වැදුණා. ඉන් පළමු තරගයේ දී පාකිස්ථානු කණ්ඩායම ලකුණු 338ක් ලබාගත්තේ එම අවදියේ එක්දින තරගයක කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. මෙම කණ්ඩායම් 2ක අතර පැවති ඉතිරි තරගයේ දී අසන්තා ද මෙල් ලබාගත් කඩුලු 5 නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයක පසුවුණා. නමුත් පාකිස්ථානු පා දඟ පන්දු යවන්නෙකු වුණු  අබ්දුල් ඛදීර් ලකුණු 44ක ට දවාගත් කඩුලු 5 නිසා අවසානයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.

පාකිස්ථානය – 338/5 (60)

ශ්‍රී ලංකාව – 288/9 (60)

පාකිස්ථානයට ලකුණු 50ක ජයක්

පාකිස්ථානය – 235/7 (60)

ශ්‍රී ලංකාව – 224/10 (58.3)

පාකිස්ථානයට ලකුණු 11ක ජයක්

අබ්දුල් ඛදීර් පන්දු යවමින් (gettyimages)

1987 තරගාවලියේ දී පාකිස්ථානු කණ්ඩායම හමුවේ නැවතත් තරග 2ක් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. එම තරග 2දී පාකිස්ථානය වෙනුවෙන් ජාවෙඩ් මියැන්ඩාඩ් සහ සලීම් මලික් ශතක ලබාගත්තා. එලෙස ඔවුන් දෙදෙනා පාකිස්ථානය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් රොෂාන් මහානාම ලබාගත් ලකුණු 89ත් අමතක කරන්න බැහැ. එදා මහානාම ලබාගත් ලකුණු 89 එක්දින ලෝක කුසලාන තරගයක දී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය යි.

පාකිස්ථානය – 267/6 (50)

ශ්‍රී ලංකාව – 252/10 (49.2)

පාකිස්ථානයට ලකුණු 15ක ජයක්

පාකිස්ථානය – 297/7 (50)

ශ්‍රී ලංකාව – 184/8 (50)

පාකිස්ථානයට ලකුණු 113ක ජයක්

ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දුවට පහරදෙමින් (gettyimages)

නැවතත් 1992 තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක හමුවුණු අවස්ථාවේ ශ්‍රී ලංකාවට පරාජය උරුම වුණේ ජාවෙඩ් මියැන්ඩාඩ්ගේ දක්ෂ පිතිහරඹය නිසා යි.

ශ්‍රී ලංකාව – 212/6 (50)

පාකිස්ථානය – 216/6 (49.1)

පාකිස්ථානයට කඩුලු 4ක ජයක්

1992 තරගාවලියේ ශ්‍රී ලංකා-පාකිස්ථානු තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට 2011 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය වෙතින් පරාජයට පත්වුණේ ෂයිඩ් අෆ්රිඩි ලකුණු 34කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි.

පාකිස්ථානය – 277/7 (50)

ශ්‍රී ලංකාව – 266/9 (50)

පාකිස්ථානයට ලකුණු 11ක ජයක්

2011 තරගාවලියේ ශ්‍රී ලංකා-පාකිස්ථානු තරගයේ අවස්ථාවක් (gettyimages)

බ්‍රිස්ටල් පිටිය පිළිබඳව දත්තයන්

අවසන් වසර 10 තුළ බ්‍රිස්ටල් පිටියේ දී පවත්වා ඇත්තේ දිවා තරග 5ක් පමණ යි. ඉන් අවසන් වරට පැවති තරගයේ දී සහ පුහුණු තරගයේ දී මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය එකක් වුණා. නමුත් මිට වසර කිහිපයකට පෙර මෙම පිටිය පන්දු යවන්නන්ට හිතකර එකක් වුණු නිසා ඉහත සඳහන් කළ තරග 5 දී මුලින්ම පන්දුවට කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 215ක් වුණා. එලෙසම මෙම තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩ වැඩියි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ පැවති අවසන් දිවා තරග 5දී කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම ජයගෙන තිබෙන්නේ එක් තරගයකින් පමණ යි. එමනිසා මෙම පිටියේ දී  කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් නොවනු ඇත.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වසර 10 තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 5න් අවස්ථාවන් 4ක දීම කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් තණ තීරුවේ විශේෂ වෙනස්කමක් සිදු නොවුණොත් එලෙසම කාසියේ වාසිය දිනාගත් නායකයා කටයුතු කිරීමට ඇති ඉඩ වැඩියි.

බ්‍රිස්ටල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

බ්‍රිස්ටල් පිටියේ පැවති පළමු තරගය 1983 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය යි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වුණේ කඩුලු 5ක පරාජයක්. පාකිස්ථානු කණ්ඩායම මෙම පිටියේ  සහභාගි වුණු එකම දිවා තරගයේ දී කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 27ක ජයග්‍රහණයක් ලැබුවේ 1999 ලෝක කුසලාන තරගාවලියේ දී යි. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති පුහුණු තරගයක දී පාකිස්ථානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ මෙම පිටියේ දී පරාජය වීමත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

1999 ලෝක කුසලානය  යටතේ පැවති කොදෙව්-පාකිස්ථානු තරගයේ අවස්ථාවක්(gettyimages)

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්ථානු තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක එක්දින තරගාවලියක දී එකිනෙකා හමුවුණේ 2017 වසරේ දී යි. එම  තරගාවලිය පාකිස්ථානු කණ්ඩායම 5-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. නමුත් එවර කණ්ඩායමේ නොසිටි ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. කණ්ඩායම් 2ම ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට අවතීර්ණ වුණත් පාකිස්ථානු කණ්ඩායම සිටින්නේ තරමක් ඉදිරියෙන්. නමුත්  ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිමයෙන් මෙම තරගය ක්‍රීඩා කළොත් ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානයට එරෙහිව ලබාගන්නා මුල්ම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇත.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles