Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම යුගයේ දැවැන්තයන් වුණු බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් වරට ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ 1983 වසරේ දී යි. එදා ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වය යටතේ තරග කළ කොදෙව්වන් එංගලන්ත බිමේ දී පිට පිටම ලෝක කුසලාන අවසන් තරග 3ක් ක්‍රීඩා කළා. නමුත් ලොයිඩ්ගේ නික්ම යාමත් සමග බිඳ වැටීම ආරම්භ වුණු කොදෙව් ක්‍රිකට් අධිරාජ්‍යය, පසුගිය කාල සමය වන විට විශාල කඩා වැටීමකට ලක්වුණා. නමුත් දිනෙන් දින වැරදි සකසා ගනිමින් තරුණයන් පිරිසක් සමග නැගිටින කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියේ දී පෙරළියක් සිදු කිරීමට ඉඩ ඇති කණ්ඩායමක් ලෙසින් හැඳින්වීමට පුළුවන්. එම නිසාම සමස්ත ක්‍රිකට් ලෝකයම ඔවුන් පිළිබඳව පසුවන්නේ විශාල අවධානයකින්.

බටහිර ඉන්දීය කොදෙව්වන්  ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2007 ලෝක කුසලාන තරගාවලියේ දී  සත්කාරක රට ලෙසින් කටයුතු කළා. 1975 සිට මේ දක්වා පැවති තරගාවලි 11 තුළ තරග 71කට මුහුණදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, ඉන් තරග 41ක් ජයග්‍රහණය කරන විට 29ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය වන්නේ 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලිවල දී ශූරතාවය දිනාගැනීම යි. ඊට අමතරව ඔවුන් 1983 වසරේ දී ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන්  බවට පත්වුණා.

1979 වසරේ ලෝක කුසලානය දිනාගත් කොදෙව් කණ්ඩායම (gettyimages)

තරගාවලි ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ බ්‍රයන් ලාරා විසිනුයි. 1992-2007 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 33ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 1225ක්. 42.24ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් ලාරා, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩාකළේ 2003 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 116ක් ලබාගනිමින්.

ලාරා අප්‍රිකානුවන්ට එරෙහිව ලකුණු 116ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ කොදෙව්වන් වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කොදෙව්වන් වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් කට්නි වොල්ෂ් 1987, 1996, සහ 1999 ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 27ක්. 1999 තරගාවලියේ දී බංගලාදේශයට එරෙහිව ලකුණු 25කට කඩුලු 4ක් දවාගනිමින් වොල්ෂ්  තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

වොල්ෂ් 1999 තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා කොදෙව්වන් එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ සිට මේ දක්වා එක්දින තරග 28ක් ක්‍රීඩාකළ කොදෙව්වන් ඉන් තරග 12ක් ජයග්‍රහණය කරන විට 14ක් පරාජයට පත්වුණා. එහි දී කිසිදු එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට අසමත් වුණු කොදෙව්වන් බංගලිදේශය හමුවේ එක්දින තරගාවලි 2ක්, සහ ඉන්දියානුවන් හමුවේ එක්දින තරගාවලියක් පරාජයට පත්වුණා. එලෙස තරගාවලි කිහිපයක් පරාජය වුණු කොදෙව්වන් එංගලන්ත හමුවේ එක්දින තරගාවලිය 2-2ක් ලෙසින් අවසන් කළ අතර, ඔවුන් අයර්ලන්ත තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේ දී බංගලිදේශය හමුවේ පරාජයට පත්වුණා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු කොදෙව්  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී ෂයි හෝප්, ෂිම්රන් හෙට්මායර්, සහ ක්‍රිස් ගේල් කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තිබෙනවා.

හෝප් අයර්ලන්තය හමුවේ ලකුණු 170ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (Cricket Australia)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු කොදෙව් පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී කොදෙව්වන් වෙනුවෙන් ජේසන් හෝල්ඩර්, ඈෂ්ලි නර්ස්, සහ කිමා රෝච්  වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

ජේසන් හෝල්ඩර් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව්  සංචිතය

ජේසන් හෝල්ඩර් (නායක)

ක්‍රිස් ගේල්

ඩැරන් බ්‍රාවෝ

ෂයි හෝප්

ෂිම්රන් හෙට්මායර්

එවින් ලුවිස්

නිකලස් පූරන්

ඇන්ඩ්‍රේ රසල්

කාලෝස් බැරැත්වේට්

ඈෂ්ලි නර්ස්

ෆැබියන් ඇලන්

කිමා රෝච්

ඔෂේන් තෝමස්

ෂැනොන් ගේබ්‍රියල්

ෂෙල්ඩන් කොට්‍රල්

මෙවර කොදෙව්වන්ගේ  ලෝක කුසලාන ගමන

මෙවර තරගාවලිය සඳහා තරුණයන් රැසක් සමගින් අවතීර්ණ වන කොදෙව් කණ්ඩායම සතුව සිටින ප්‍රබලම අවි 2ක ලෙස ක්‍රිස් ගේල් සහ ඇන්ඩ්‍රේ රසල්ව හඳුන්වන්න පුළුවන්. මෙම තරගාවලිය තුළ කොදෙව්වන් යන දුර තීරණය වන්නේ ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය මත යි. ඔවුන් දෙදෙනාට අමතරව යොවුන් ක්‍රීඩකයන් දෙපලක් වන ෂයි හෝප් සහ ෂිම්රන් හෙට්මායර් කොදෙව්වන් සතුව සිටින භයානකම පිතිකරු යුගලයක් ලෙසින් හැදින්වීය හැකියි. පසුගිය කාල සමයේ කොදෙව් පන්දු යවන්නන් එතරම් දස්කම් නොදැක්වුවත්, ඔවුන් සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන කිමා රෝච් මෙන්ම නායක ජේසන් හෝල්ඩර් හොඳින් පන්දු යැවුවහොත් ප්‍රතිවාදී කණ්ඩායම්වලට යම් පීඩනයක් එල්ල කිරීමට ඔවුන්ට හැකිවනු ඇත.

කවරයේ ඡායාරූපය- කොදෙව් කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (Cricket Australia)

Related Articles