Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසය තුළ බංගලාදේශයේ ගමන් මඟ

2020 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පසුගිය ඉරිදා සෙන්වෙස් පාක් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කළ බංගලාදේශය, මුල්මවරට යොවුන් ලෝක කුසලානයක් හිමිකර ගත්තේ සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කරමින්. එලෙස බංගලාදේශ කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුළ පෙන්වූ ඉහළම දක්ෂතාවය ලෙස සටහන් වීම සුවිශේෂී සිදුවීමක් වුණා. වර්තමානය වන විට ඉහළ දස්කම් දක්වන බංගලාදේශ යොවුන් කණ්ඩායම මුල්මවරට  යොවුන් ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණේ, 1998 වසරේ දී යි. එදා සිට වර්තමානය දක්වා අසීරු ගමනක යෙදුණු බංගලාදේශ යොවුන් ක්‍රීඩකයෝ අවසානයේ දී සිය ඉලක්කය වෙත ගමන් කළා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ යොවුන් ලෝක කුසලාන ඉතිහාසය තුළ බංගලාදේශ යොවුන් ක්‍රීඩකයන් මෙතෙක් පැමිණි ගමන පිළිබඳව සිහිපත් කිරීමට යි.

1998 වසරේ දී මුල්ම යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙයි 

1998 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී බංගලාදේශය තරග වැදුණේ සෝබර්ස් කාණ්ඩය යටතේ යි. මූලික වටයේ තරගවල දී එංගලන්තය, නවසීලන්තය, සහ නැම්බියාව සමග තරග වැදුණු බංගලාදේශය, එංගලන්තය සහ නැම්බියාව හමුවේ ජයග්‍රහණ වාර්තා කළා. නමුත් මූලික වටය අවසන් වන විට එංගලන්තය, නවසීලන්තය, සහ බංගලාදේශය යන රටවල් 3ම තරග 2ක බැගින් ජයග්‍රහණය කර තිබුණු නිසා සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවේ ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් තිබුණු රටවල් 2 යි. එහි දී එංගලන්තය සහ නවසීලන්තය වැඩි දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගෙන සිටි නිසා බංගලාදේශයට සුපිරි 8 වටයට එක් වීමට නොහැකි වුණා. එදා බංගලාදේශය අබිබවා තරගාවලියේ ඉදිරියට ගිය එංගලන්තය සහ නවසීලන්තය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා. එහි දී බංගලාදේශය අතින් මූලික වටයේ දී පරාජය වුණු එංගලන්තය තරගාවලියේ ශූරතාවය දිනාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එංගලන්තය 1998 යොවුන් ලෝක කුසලානය දිනාගත් අවස්ථාව (gettyimages)

සුපිරි අට වටයේ තරගවල ඉරණම එසේ විසඳෙන විට පළඟ ශූරතාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට බංගලාදේශය සමත් වුණා. එදා ක්‍රිස් ගේල්, රාම්නරේෂ් සර්වාන්, මාලන් සැමුවෙල්ස් වැනි ක්‍රීඩකයන් නියෝජනය කළ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගයේ දී ගේල් නොදැවී ලබාගත් ලකුණු 141 නිසා කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 243ක් ලබාගත්තා. ඉන් අනතුරුව එම ඉලක්කය හඹාගිය බංගලාදේශය, කඩුලු 4ක් දැවී තිබිය දී ජයග්‍රහණය හිමිකර ගත්තේ පළඟ ශූරතාවය දිනා ගනිමින්. එහි දී බංගලාදේශය යොවුන් ලෝක කුසලාන ඉතිහාසය තුළ පළඟ ශූරතාවය දිනූ මුල්ම කණ්ඩායම ලෙසින් වාර්තා අතරට එක් වුණා. 

2000 තරගාවලියේ දී පළඟ අනුශූරතාවය දිනාගනියි 

2000 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළඟ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට බංගලාදේශය සමත් වුණා. එදා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව අස්ගිරිය පිටියේ දී පැවති අවසන් තරගයේ දී ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ ක්‍රීඩකයන් සියලු දෙනාම දැවී ලකුණු 133ක් ලබාගත්තේ, පිට පිටම දෙවන වරටත් පළඟ ශූරතාවය දිනාගැනීමට තිබුණු අවස්ථාව අහිමි කර ගනිමින්.

2002 තරගාවලියේ දී ඉන්දියාව පරදා ලබාගත් සුපිරි ජයග්‍රහණය

2002 වසරේ දී නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී ඉන්දියාව සහ බංගලාදේශය තරග වැදුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 77කට දැවීගියේ බංගලාදේශ වේගපන්දු යවන්නන්ගේ දස්කම් නිසා යි. ඉන් අනතුරුව ලකුණු 78ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංගලාදේශය, පන්දුවාර 32.2ක් අවසානයේ දී කඩුලු 8ක් දැවී තිබිය දී ජයග්‍රහණය ලබාගත්තේ තියුණු තරගයකින් පසුව යි.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 77/10 (32.4), (ස්ටුවර්ට් බිනී- 17, අෂිකුර් රහමන්- 17/3, ෂෆාක් සබීර්- 21/2, අෂ්‍රෆුල්- 3/1)

බංග්ලාදේශය- 78/8 (32.2), (අෆ්ටාබ් අහමඩ්- 19, අර්මන්- 12* තිරිවේඩි- 24/3, බිස්ලා- 13/2, අට්‍රම්- 24/2)

2004 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණු, එනමුල් හක් 

2004 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙසින් කටයුතු කළේ බංගලාදේශය යි. එම තරගාවලියේ පළඟ ශූරතාවය දිනාගත් බංගලාදේශ කණ්ඩායම අවසන් තරගයේ දී තරග වැදුණේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග යි. එහි දී ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවන්, ලකුණු 249කට දැවීගියේ එනමුල් හක් ලකුණු 31කට දවාගත් කඩුලු 5 නිසා යි. එලෙස දෙවන වරටත් බංගලාදේශය පළඟ ශූරතාවය දිනාගත් අවස්ථාවේ විශාල මෙහෙවරක් කළ එනමුල් හක්, තරගාවලිය තුළ කඩුලු 22ක් දවාගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින්.

එනමුල් හක් (gettyimages)

2006 තරගාවලියේ දී මුල්මවරට සුපිරි 8 වටයට සුදුසුකම් ලබයි 

2006 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු බංගලාදේශ කණ්ඩායමට ටමීම්, ශකීබ්, සහ මුෂ්ෆිකර් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත් වුණා. එම නිසාම මූලික වටයේ දී නවසීලන්තය, පාකිස්ථානය, සහ උගන්ඩාව යන ප්‍රබල කණ්ඩායම් පරාජය කළ බංගලාදේශය තරගාවලි ඉතිහාසයේ මුල්මවරට සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලැබුවා. නමුත්, අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය හමුවේ පරාජය වීමත් සමගින් තරගාවලියෙන් ඉවතට විසි වුණු බංගලියන්, ඉන්පසුව කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව පරාජය කරමින් තරගාවලියේ 5 වැනි ස්ථානය දිනාගත්තා.

තරගාවලි 4ක දී දස්කම් දක්වයි 

2008 සහ 2012 යොවුන් ලෝක කුසලානවල දී සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලැබූ බංගලාදේශ ක්‍රීඩකයන් අවසානයේ දී දිනාගත්තේ 7 වැනි ස්ථානය යි. එසේම, 2010 සහ 2014 තරගාවලිවල දී සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට අසමත් වුණු බංගලාදේශය පළඟ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. එම පළඟ ශූරතා අවසන් තරගවල දී බංගලාදේශය හමුවේ පරාජය වුණේ අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් දෙක යි.

2014 තරගාවලියේ දී පළඟ ශූරතාවය දිනූ බංගලියන් (gettyimages)

පිට පිටම තරගාවලි 2ක දී වැඩිම ලකුණු ලාභියා බංගලාදේශයෙන් 

2012 සහ 2014 යොවුන් ලෝක කුසලාන තරගාවලිවල දී බංගලාදේශ පිතිකරුවන් දෙදෙනෙක් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ලකුණු 365ක් ලබාගත් අනමුල් හක්, 2012 තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන විට ලකුණු 406ක් ලබාගත් ෂඩ්මන් ඉස්ලාම් 2014 තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණා.

අනමුල් හක් (gettyimages)

2016 තරගාවලියේ දී මුල්මවරට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි 

2016 යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ බංග්ලාදේශය යි. මූලික වටයේ සිටම ප්‍රබල තරග රටාවක් ප්‍රදර්ශනය කළ බංගලාදේශ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසින්. නමුත්, අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල කොදෙව් කණ්ඩායම හමුවේ කඩුලු 3ක පරාජයක් ලැබූ බංගලියන් තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 3ක ජයක් ලබමින්. එදා බංගලාදේශයට අවසන් තරගයට පිවිසීමේ වරම අහිමි වුණත්, තරගාවලිය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ බංගලාදේශ නායක මෙහෙදි හසන් මිරාස් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තා. එය බංගලාදේශ ක්‍රීඩකයෙකු එම සම්මානය හිමිකර ගත් මුල්ම සහ එකම අවස්ථාව ලෙසින්  ඉතිහාසයයට එක් වුණා.

මෙහෙදි හසන් මිරාස් (gettyimages)

2020 තරගාවලියේ දී මුල්මවරට යොවුන් ලෝක කුසලානය දිනාගනියි 

2020 යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට බොහෝ දෙනෙකු  ප්‍රකාශ කළේ ඉන්දියානුවන් ලෝක කුසලානය දිනාගන්නා බව යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලියේ පළමු වටයේ තරගවල දී බංගලාදේශය සිය කාණ්ඩයේ පෙරමුණ ගත්තේ පාකිස්ථානය සමග පැවති තරගය තීරණයක් රහිතව අවසන් වුණු නිසා යි. ඉන් අනතුරුව දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් පරාජය කළ බංගලාදේශය මුල්මවරට යොවුන් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබුවා. එහි දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් තරගයේ දී බංගලාදේශ පන්දු යවන්නන් ප්‍රතිවාදී පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළා. නමුත්, තරගාවලියේ ඉන්දීය සුපිරි තරුව වුණු ජයිස්වාල්ගේ පිති හරඹය නිසා ඉන්දීය ලකුණු පුවරුව 156/3 ලෙසින් දිස් වුණේ ඉන්දියානුවන්ට වැඩි වාසි හිමිකර දෙමින්.

යෂස්වි ජයිස්වාල් (gettyimages)

එලෙස තරගය ඉන්දීය කණ්ඩායම දෙසට දෝලනය වෙමින් තිබුණු අවස්ථාවේ ජයිස්වාල් ලකුණු 88කට දැවීයාමත් සමගම කඩාවැටුණු ඉන්දීය ඉනිම ලකුණු 177කට සීමා වුණේ බංගලාදේශයට ලකුණු 178ක ඉලක්කයක් හිමිකර දෙමින්. ඉන්පසුව, එම ඉලක්කය හඹාගිය බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 143කට දැවීගියේ තරගය දෙපිලටම විවෘත කරමින්. නමුත්, එම තීරණාත්මක මොහොතේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අක්බර් අලී, නොදැවී ලකුණු 43ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එලෙස ලබාගත් ජයග්‍රහණය බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු ඉහළම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. බංගලාදේශය එලෙස ලබාගත් ජයග්‍රහණය පිටුපස සිටි පුහුණුකරුවා වුණේ නවීඩ් නවාස් නම් ශ්‍රී ලාංකිකයා යි. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටත් ආඩම්බර විය හැකි කරුණක් වනවා.

නවීඩ් නවාස් (gettyimages)

අතීතයේ දී ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් බවට පත්ව සිටි බංගලියන් අද ක්‍රිකට් පිටියේ ගලිවරයන් වීමට උත්සාහ කරමින් සිටී. එම නිසාම මෙවර ලෝක කුසලානය දිනූ බංගලි යොවුන් ක්‍රීඩකයන් ඉදිරියේ දී ජාතික පිලට එකතු වී ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කිරීමට උත්සාහ දරනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- ලෝක කුසලානය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම (gettyimages)

Related Articles