එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 300ක් හඹා ගිය අවස්ථා

මීට දශකයකට පමණ පෙර එක්දින තරගයක ලකුණු 300ක් හඹා යාම තරමක් අසීරු කාර්යයක් වුවත්, 20/20 ක්‍රිකට් තරග ප්‍රචලිත වීමත් සමග ම ලකුණු 300ක ඉලක්කයක් පහසුවෙන් හඹා යාම දැන් බොහෝ කණ්ඩායම්වලට එතරම් ම අභියෝගයක් නොවේ. නමුත්, සාමාන්‍ය එක්දින තරගවල එලෙස ලකුණු 300ක් පහසුවෙන් හඹා ගියත්, එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය පිරික්සා බැලීමේ දී අපට හමුවන්නේ එවැනි හඹායාම්  7ක් පමණයි. එසේනම් මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන්නේ එක්දින ලෝක කුසලාන තරගවල ලකුණු 300ක් හඹා ගිය තරග 7 පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

එංගලන්තයට එරෙහිව ලකුණු 328ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය

කෙවින් ඕ බ්‍රයන් ශතකය ලබා ගත් අවස්ථාව (daily mail uk )

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගය බැංගලෝර් නුවර M චින්නස්වාමී ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොනතන් ට්‍රොට් සහ ඉයන් බෙල් පිළිවෙලින් ලබාගත් ලකුණු 92 සහ 84 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී එංගලන්ත ඉනිම නිමා වූයේ 327/8ක් ලෙස යි. ඉන්පසුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 5ම ලකුණු 111ක් තුළ දැවී ගියත් ඉන් නොසැලුණු කෙවින් ඕ බ්‍රයන් පන්දු 63ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමගින් ලබාගත් ලකුණු 113 නිසා අයර්ලන්ත කණ්ඩායම ලකුණු කඩුලු 7ක් දැවී තිබිය දී තරගය ජයග්‍රහණය කළේ 50 වන පන්දුවාරයේ පළමු පන්දුවේ දී යි. එදා පන්දු 50කින් සිය ශතකය ලබා ගත් කෙවින් ඕ බ්‍රයන් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ගත් වේගවත්ම ශතකයේ හිමිකරු යි.

තරගය ජයග්‍රහණය කළ මොහොත   (gettyimages)

ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 319ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශය

2015 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති බංගලාදේශ-ස්කොට්ලන්ත තරගය නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් පිටියේ දී පැවැත් වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කයිල් කොට්සර් පන්දු 134කින් හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් සමගින් ලබා ගත් ලකුණු 156 නිසා නියමිත පන්දුවාර 50 තුළ ස්කොට්ලන්ත කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 318ක් ලබා ගත්තේ බංගලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

කයිල් කොට්සර්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටමීම් ඉක්බාල් ලබා ගත් ලකුණු 95ට අමතරව මහමදුල්ලාහ්, මුෂ්ෆිකර් රහීම්, සහ ශකීබ් ලබා ගත් අර්ධ ශතක නිසා බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 48.1ක් තුළ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී තිබිය දී යි.

ලකුණු 95ක් රැස් කළ ටමීම්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සිම්බාබ්වේට එරෙහිව ලකුණු 313ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව

අතුල සමරසේකර පන්දුවට පහරදෙමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය පැවතියේ නිව් ප්ලයිමවුත් හී දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් මංගල එක්දින තරගයට සහභාගි වුණු ඇන්ඩි ෆ්ලවර් පන්දු 152ක දී නොදැවී ලබා ගත් ලකුණු 115ත් ඇන්ඩි වොලර් පන්දු 45ක දී නොදැවී ලබා ගත් වේගවත් ලකුණු 83ත් නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී සිම්බාබ්වේ ඉනිම සටහන් වූයේ 312/4ක් ලෙස යි. අනතුරුව ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වුණු අතුල සමරසේකර, සහ රොෂාන් මහානාම ලකුණු 128ක සාර්ථක ආරම්භයක් ලබා දුන්නත් පන්දු 61කින් ලකුණු 75ක් ලබා සිටි අතුලගේ දැවී යාමත් සමග ඉක්මනින්ම කඩුලු කිහිපයක් බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 167ක් බවට පත් වුණා. නමුත්, එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම වටා ගොඩනැගුණු පීඩනය තුට්ටුවකට මායිම් නොකළ අර්ජුණ රණතුංග පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් ලබා ගත්තේ පන්දුවාර 49.2ක දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය ජයග්‍රහණයක් වන්නේ එක්දින තරගයක යම් කණ්ඩායමක් ලකුණු 300ක් හඹා ගිය මුල්ම අවස්ථාව එය වීම යි.

අර්ජුණගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

එංගලන්තයට එරෙහිව ලකුණු 310ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව

සංගක්කාර ශතකය ලබා ගත් අවස්ථාව (gettyimages)

2015 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර, තරගය පැවැත්වුණේ වෙලිංටන් නුවර වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ජෝ රූට් ලබා ගත් ලකුණු 121 නිසා නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 309ක් ලබා ගත්තා. ඉන්පසුව, ලකුණු 310ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.2ක දී කඩුලු 1ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සංගක්කාර සහ තිරිමාන්න දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 212ක නොබිඳුණු සබඳතාවය නිසා යි. එහි දී තිරිමාන්න පන්දු 143කින් නොදැවී ලකුණු 139ක් ලබා ගන්නා විට සංගක්කාර පන්දු 86කින් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා.

තිරිමාන්න පන්දුවට පහරදෙමින් (gettyimages)

නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 307ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය

2011 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 306ක් ලබාගත්තා. ඉන්පසුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පෝල් ස්ටර්ලිං පන්දු 72කින් ලබා ගත් ලකුණු 101 නිසා පන්දුවාර 47.4ක දී කඩුලු 4ක් පමණක් දැවී ඔවුන් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පෝල් ස්ටර්ලිං පන්දුවට පහරදෙමින් (gettyimages)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 305 ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය

2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ සැක්ස්ටන් ඕවල් පිටියේ දී පැවති කොදෙව්-අයර්ලන්ත තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 87ක් තුළ දැවී ගියත් ලෙන්ඩල් සිමන්ස් ලබා ගත් ලකුණු 102 නිසා ඔවුන්ගේ ඉනිම නිමා වුණේ 304/7ක් ලෙස යි. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය වෙනුවෙන් ස්ටර්ලිං ලකුණු 92ක් ලබා ගන්නා විට, ජොයිස් සහ නයල් ඕ බ්‍රයන් පිළිවෙලින් ලකුණු 84ක් සහ 79ක් ලබා ගත් නිසා අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45.5ක දී කඩුලු 6ක් දැවී තිබිය දී තරගය ජයග්‍රහණය කළා.

එඩ් ජොයිස් පන්දුවට පහරදෙමින් (gettyimages)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 301 ඉලක්කයක් හඹා ගිය එංගලන්තය

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක් බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් පිටියේ දී පැවැත්වුණේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 49.5ක් තුළ සියලුදෙනා ම දැවී ලකුණු 300ක් ලබා ගත්තා. ඉන්පසුව, ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කෙවින් පීටර්සන් ලබා ගත් ලකුණු 100 නිසා පන්දුවාර 49.5ක දී කඩුලු 9ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඔවුන්ට හැකි වුණා.

පීටර්සන්ගේ සුපිරි ඉනිමේ එක් පහරක් (gettyimages)

කවරයේ ඡායාරූපය: එංගලන්තයට එරෙහිව ලකුණු 212ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගූ සංගක්කාර සහ තිරිමාන්න. (gettyimages)

Related Articles