Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස පරාජය වුණු ටෙස්ට් තරග 4ක්

ශ්‍රී ලංකාව 1982 වසරේ දී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මේ දක්වා ටෙස්ට් තරග 285කට සහභාගි වී තිබෙනවා. එම තරග අතුරින් තරග 91ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වන විට, තරග 108ක ජයග්‍රහණය හිමි වුණේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට යි. එලෙස ශ්‍රී ලංකාව පරාජය වුණු ටෙස්ට් තරග අතුරින් ඇතැම් තරග පරාජයට පත් වුණේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින්. එම නිසාම මෙම ලිපිය ලිවීමේ අරමුණ ශ්‍රී ලංකාව අනපේක්ෂිත ආකාරයට පරාජයට පත් වුණු ටෙස්ට් තරග 5ක තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි.

1982 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය 

1982 වසරේ දී ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණා. කොළඹ පී සරා ඕවල් පිටියේ දී පැවැත්වුණු එම තරගයේ දී මුණගැසුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම යි. එදා කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර, මුලින්ම පන්දුවට පහරදීම තෝරාගනු ලැබුවා. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 81.5ක් තුළ සියලු දෙනාම දැවී ලකුණු 218ක් ලබාගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ අර්ජුන සහ මඩුගල්ලේ අර්ධ ශතක වාර්තා කළා. එලෙස ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීම සඳහා පන්දුවෙන් දස්කම් දැක්වූ ඩෙරෙක් අන්ඩර්වුඩ් ලකුණු 28කට කඩුලු 5ක් දවාගත්තා.

රංජන් මඩුගල්ලේ පන්දුවට පහර දෙමින් (gettyimages)

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන්ටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් බුරුලක් ලැබුණේ නැහැ. එම නිසාම එදා එංගලන්ත ඉනිම ලකුණු 223කට සීමා වුණේ අසන්තා ද මෙල් සහ සෝමචන්ද්‍ර ද සිල්වා පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා යි. එහි දී එංගලන්ත ඉනිමේ නැංගුරම වුණු ඩේවිඩ් ගවර් ලබාගත් අගනා ලකුණු 89 එංගලන්ත ලකුණු පුවරුව 223 දක්වා ඉහළ යාමට විශාල සවියක් වුණා.

ඩේවිඩ් ගවර් පන්දුවට පහර දෙමින් (gettyimages)

පළමු ඉනිම අවසානයේ දී ලකුණු 5ක් පමණක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අරමුණ වුණේ, එංගලන්ත කණ්ඩායමට සිව්වන ඉනිමේ හඹා යාම සඳහා අභියෝගාත්මක ඉලක්කයක් ලබාදීම යි. එම අරමුණ සිතේ තබාගෙන සාර්ථකව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ තෙවන දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 152ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසු වුණා. ඉන් අනතුරුව ආරම්භ වුණු සිව්වන දිනයේ දී හොඳින් පන්දුවට පහරදුන් දුලිප් සහ මඩුගල්ලේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 167/3 දක්වා රැගෙන ගියා. නමුත්, එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 8ම ලකුණු 7ක් තුළ දවාගත්තා. එහි දී ලකුණු 33කට කඩුලු 6ක් දවාගත් ජෝන් එම්බියුරි ශ්‍රී ලංකා පරාජයේ නියමුවා වුණා. එලෙස ශ්‍රී ලංකා ඉනිම ලකුණු 175කට සීමා වීමෙන් අනතුරුව එංගලන්තයට ලැබුණේ ලකුණු 171ක පහසු ඉලක්කයක්. එහි දී ක්‍රිස් ටැවාරේ ලබාගත් ලකුණු 85 නිසා එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එදා ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගය ජයග්‍රහණය කිරීමට විශාල හැකියාවක් තිබුණා. නමුත්, අනපේක්ෂිත මොහොතක සිදුවුණු කඩුලු බිඳවැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහී ගියා. ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකාව අනපේක්ෂිත ආකාරයට පරාජය වුණු ටෙස්ට් තරග අතරට එකතු වනවා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 218/10 (81.5), (මඩුගල්ලේ- 65, අර්ජුන- 54, අන්ඩර්වුඩ්- 28/5, බොතම්- 28/3)

එංගලන්ත පළමු ඉනිම- 223/10 (86.5), (ගවර්- 89, ෆ්ලෙචර්- 45, මෙල්- 70/4, සෝමචන්ද්‍ර- 54/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 175/10 (83.5), (රෝයි- 77, වර්ණපුර- 38, එම්බියුරි- 33/6, අන්ඩර්වුඩ්- 67/3)

එංගලන්ත දෙවන ඉනිම- 171/3 (58.1), (ටැවාරේ- 85, ගවර්- 42*, අජිත් ද සිල්වා- 46/2)

එංගලන්තයට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- ජෝන් එම්බියුරි  

1984 ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගය 

1984 වසරේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය විනෝදන් ජෝන් විසින් ලකුණු 86කට කඩුලු 5ක් දවාගෙන සිදුකළ මනරම් පන්දු යැවීම හමුවේ ලකුණු 276කට දැවීගියා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215කට දැවීගියේ රිචඩ් හැඩ්ලිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වුණු නිසා යි. එලෙස පළමු ඉනිම අවසන් වන විට ලකුණු 61ක් ඉදිරියෙන් සිටි නවසීලන්තය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 201ක් ලබාගෙන ඉනිම අත්හිටවනු ලැබුවා. ඒ අනුව තරගයේ අවසන් දිනයේ දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 263ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එම කාලය තුළ එතරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අපහසු වුණු බැවින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වනු ඇතැ යි බොහෝ දෙනෙකු අනුමාන කළා. නමුත්, එදා රිචඩ් හැඩ්ලි සහ ස්ටීවන් බොක් විසින් සිදුකළ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 18ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ වුණු අවස්ථාවේ අර්ජුන රණතුංග ලකුණු 51ක් ලබා ගනිමින් සටන්කාමී පිතිහරඹයක නිරත වුවත්, ඔහු දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 97කට සීමා වුණා. එදා පැහැදිලිවම ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට තිබුණු තරගය ලකුණු 165කින් පරාජය වීම නිසා කෝපයට පත් වුණු ප්‍රේක්ෂකයන්, කණ්ඩායමට ගල් මුල් ප්‍රහාර පවා එල්ල කිරීම කණගාටුදායක සිදුවීමක් වුණා.

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම- 276/10 (100.1), (හොවාර්ත්- 62, රයිට්- 45, ජෝන්- 86/5, අර්ජුන- 17/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 215/10 (79.5), (ජයන්ත අමරසිංහ- 34, මඩුගල්ලේ- 33, හැඩ්ලි- 35/4)

නවසීලන්ත දෙවන ඉනිම- 201/8 (54.5), (හොවාර්ත්- 60, ස්මිත්- 31*, සෝමචන්ද්‍ර- 59/3, ජෝන්- 73/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 97/10 (27.3), (අර්ජුන- 51, බොක්- 28/5, හැඩ්ලි- 8/4)

නවසීලන්තයට ලකුණු 165ක ජයක් 

1992 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය 

1992 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වුණා. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 256ක් ලබාගත්තේ ඉයන් හීලි නොදැවී ලබාගත් ලකුණු 66 නිසා යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 547ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 547 එම අවදියේ ඔවුන් ටෙස්ට් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය බවටත් පත් වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් දැවැන්ත ලකුණු ප්‍රමාණය සඳහා අර්ජුන, ගුරුසිංහ සහ කළුවිතාරණ ශතකවලින් දායකත්වය ලබාදුන්නා. එහි දී සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණු රොමේෂ් කළුවිතාරණ නොදැවී ලබාගත් ලකුණු 132ක කැපීපෙණුනු ඉනිමක් බවට පත් වුණා.

අර්ජුන රණතුංග (gettyimages)

පළමු ඉනිම අවසන් වන විට ලකුණු 291ක් පසුපසින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 471ක් දක්වා ඉහළ ගියේ බූන්, ජෝන්ස්, මාක් වෝ, සහ මැතිව්ස් ලබාගත් අර්ධ ශතක නිසා යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ අවසන් දිනයේ ජයග්‍රහණය සඳහා ලකුණු 181ක ඉලක්කයක් ලැබුණා. එම ඉලක්කයක් ආරම්භයේ සිටම කිසිදු අපහසුවකින් තොරව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 127ක් ලබා සිටියා. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අබියසටම පැමිණ සිටියා. නමුත්, ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ලකුණු 10ක් තුළ කඩුලු 4ක් දවාගැනීමත් සමගම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා. එදා කිසිදු පිතිකරුවෙකුට සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට නොහැකි වුණු නිසාම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 164කට සීමා වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට තිබුණු තරගයක් ලකුණු 16කින් පරාජයට පත් වුණේ අනපේක්ෂිත අයුරින්.

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 256/10 (84), (හීලි- 66*, ටේලර්- 42 හතුරුසිංහ- 66/4 රාමනායක- 51/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 547/8 (170), (ගුරුසිංහ- 137, කළුවිතාරණ- 132*, අර්ජුන- 127, මැතිව්ස්- 93/3)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 471/10 (132), (බූන්-68 , මැතිව්ස්- 64, අනුරසිරි- 127/4, රාමනායක- 113/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 164/10 (51.1), (මහානාම- 39, අරවින්ද- 37, මැතිව්ස්- 76/4, වෝන්- 11/3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 16ක ජයක් 

තරගයේ වීරයා- ග්‍රේග් මැතිව්ස් 

2006 ශ්‍රී ලංකා-පාකිස්ථානු දෙවන ටෙස්ට් තරගය 

2006 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ මහනුවර අස්ගිරිය පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 279ක් ලබාගත්තේ සංගක්කාර සහ සමරවීර ලබාගත් අර්ධ ශතක නිසා යි. ඉන්පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 170කට දැවීගියේ, මුත්තයියා මුරලිදරන් ලකුණු 39කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි.

මුත්තයියා මුරලිදරන් (gettyimages)

ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 109ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පැමිණියේ පාකිස්ථානු කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමේ අරමුණෙන්. නමුත්, එම අවස්ථාවේ මනරම් පන්දු යැවීමක නිරත වුණු මොහොමඩ් අසීෆ් සහ අබ්දුල් රසාක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 73ක් තුළ දවාගනු ලැබුවා. එහි දී අසීෆ් ලකුණු 27කට කඩුලු 5ක් ලබාගන්නා විට රසාක් ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තා. එසේම එම ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ආබාධයකට ලක්ව සිටීම නිසා පන්දුවට පහරදීමට නොපැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා.

මොහොමඩ් අසීෆ් (gettyimages)

එලෙස අනපේක්ෂිත අයුරින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 73කට සීමා වීමෙන් පසුව පාකිස්ථානයට ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා. කිසිදු අපහසුවකින් තොරව එම ඉලක්කය හඹා ගිය පාකිස්ථානු පිතිකරුවන් කඩුලු 2ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 279/10 (91.2, (සංගක්කාර- 79, සමරවීර- 65, අසීෆ්- 44/6, කනේරියා- 53/4)

පාකිස්ථානු පළමු ඉනිම- 170/10 (52.4), (යුනිස් ඛාන්- 35, කම්රන්- 33, මුරලිදරන්- 39/5)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 73/9 (24.5), (සංගක්කර- 16, අසීෆ්- 27/5, රසාක්- 20/4)

පාකිස්ථානු දෙවන ඉනිම- 183/2 (43.2), (යුනිස් ඛාන්- 73*, ෆර්හාට් – 65, මාලිංග- 33/1)

පාකිස්ථානයට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- මොහොමඩ් අසීෆ් 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගයේ අවස්ථාවක් (gettyimages)

Related Articles