Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මීටර් 400 ඉසව්වෙන් ලොව ජයගත්- සුගත් තිලකරත්න

1973 වසරේ ජූලි මස 30 වන දා නෝටන්බ්‍රිජ් හි දී මෙලොව එළිය දුටු සුගත් තිලකරත්න, පසුකලෙක විදුලිපුර ධාවකයා ලෙස මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ප්‍රකට වූයේ මීටර් 400 ඉසව්ව තුළින් ශ්‍රී ලංකා නාමය ලෝක මට්ටම කරා ගෙන ගිය නිසා ය. ලෝක ශූරතා තරගාවලිය, ඔලිම්පික් තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය හා ආසියානු තරගාවලිය යන තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති සුගත් එහි දී ලක් මෑණියන්ට විශාල ගෞරවයක් අත්කර දී ඇත. සුගත් තිලකරත්න ගැන සිහිපත් කරන විට ඔහු 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරගයක දී එම ඉසව්වේ ශූරයා වූ මයිකල් ජොන්සන් පරාජය කිරීම ද එම වකවානුවේ විශාල වශයෙන් කතාබහට ලක්වූ සිදුවීමක් විය. එසේ නම් සුගත් ඉහත තරගාවලිවල දී ලක් මෑණියන් වෙනුවෙන් පෙන්වා ඇති දස්කම් පිළිබඳ ව අපි මෙම ලිපියෙන් කතා කරමු.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ඉතිහාසයේ සුගත්ගේ දස්කම්

1994 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය

1994 වසරේ කැනඩාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්ව   වෙනුවෙන් සුගත් තිලකරත්න සහභාගි වුව ද, එහි දී ඔහුට ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා තරග වැදීමට නොහැකි වීම ඔහුගේ ක්‍රීඩා දිවියේ ශෝකජනක අවස්ථාවක් විය.

1998 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය

1998 වසරේ මලයාසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සුගත්ගේ ක්‍රීඩා දිවියේ  අමතක නොවන තරගාවලියක් විය. එම තරගාවලියේ මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 5 වන තරගයට සහභාගි වූ සුගත්, එහි දී තත්පර 45.97ක කාලයකින් තරගය නිම කරමින් ප්‍රථම ස්ථානය ලබා ගත්තේ මූලික වටයේ දී තත්පර 46කට අඩු කාලයකින් ඉසව්ව නිම කර එක ම ක්‍රීඩකයා වෙමිනි. ඉන්පසු ව පැවති අර්ධ අවසන් පූර්ව වටයේ 4 වන තරගයට සහභාගි වූ සුගත් එහි දී තත්පර 45.55ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය. එම තරග වට 2න් පසු ව පැවති අවසන් පූර්ව තරග වටයේ පළමු තරගයට සහභාගි වූ සුගත්, එහි දී තත්පර 45.09ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගත්තේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගනිමිනි. ඉන් අනතුරුව පැවති අවසන් තරගයේ දී ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ සුගත්, තත්පර 44.64ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තේ ය. මෙම තරගයේ රන් පදක්කම දිනූ වේල්ස් ක්‍රීඩක ඉවාන් තෝමස්, තත්පර 44.52ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීම මෙහි දී විශේෂයෙන් ම සිහිපත් කළ යුතු ය.

අවසන් තරගයේ දී සුගත් තිලකරත්න ධාවනයේ යෙදෙමින් (gettyimages)

2002 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය

2002 වසරේ එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ මූලික වටයේ 3 වන තරගයට සහභාගි වූ සුගත් එහි දී තත්පර 46.80ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගත්තේ ය. ඉන් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ 4 වන තරගයට සහභාගි වූ සුගත් එහි දී තත්පර 46.48ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවත් 2 වන අවසන් පූර්ව තරගය සඳහා සහභාගි වූ සුගත්, එහි දී තත්පර 45.79ක කාලයකින් තරගය නිම කරමින් 6 වන ස්ථානයට පත්වීම නිසා ඔහුට අවසන් තරගය සඳහා සහභාගි වීමේ වරම අහිමි විය.

ආසියානු තරගාවලි ඉතිහාසයේ සුගත්ගේ දස්කම්

1974 වසරේ ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්ව තත්පර 46.21කින් නිම කරමින් විමලදාස ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම ලබා ගැනීමෙන් අනතුරුව, නැවත එම ඉසව්වෙන් ආසියානු ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකා නාමය බැබළ වූ ක්‍රීඩකයා බවට පත්වූයේ සුගත් තිලකරත්න ය.

1998 ආසියානු ක්‍රීඩා තරගාවලිය

1998 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 1 වන තරගයට සහභාගි වූ සුගත්, එහි දී තත්පර 46.88ක කාලයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානයට පත් විය. ඉන් අනතුරුව පැවති අවසන් පූර්ව වටයේ 2 වන තරගය තතපර 45.88ක කාලයකින් අවසන් කළ සුගත් එම තරගයේ ද ප්‍රථමයා බවට පත් විය. අවසන් තරගයේ දී සුගත්ගේ ප්‍රබල ම ප්‍රතිවාදියා වූ කටාර් දේශයේ ඊබ්‍රාහිම් ඉස්මයිල් 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ අවසන් තරගයේ 7 වන ස්ථානය, 1990 ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම හා 1994 වසරේ රන් පදක්කම දිනා ගෙන සිටි ප්‍රබල ම ක්‍රීඩකයෙකු විය. ඊට අමතර ව ඔහු 1991, 1993, හා 1995 ආසියානු මලල ක්‍රීඩා තරගාවලිවල දී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා සිටියේ ය. එම නිසා ම මොහුව අවසන් තරගයේ දී පරාජය කිරීම සුගත්ට දැඩි අභියෝගයක් විය. නමුත් අවසන් තරගයේ දී තත්පර 44.99ක කාලයක් වාර්තා කළ සුගත් කටාරයේ ඊබ්‍රාහිම් ඉස්මයිල් ව 2 වන ස්ථානයට ඇද දමමින් ශ්‍රී ලංකාවට වසර 24කට පසු ව මීටර් 400 ඉසව්වේ රන් පදක්කම උරුමකර දුන්නේ ය.

1998 ආසියානු ක්‍රීඩා  තරගාවලියේ සුගත් මීටර් 400 ඉසව්ව ජයගත් අවස්ථාව (gettyimages)

2002 ආසියානු ක්‍රීඩා තරගාවලිය

2002 වසරේ කොළඹ දී පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ මූලික වටයේ තෙවන තරගය තත්පර 46.73ක කාලයකින් නිම කරමින් එම තරගයේ ප්‍රථමයා වෙමින් සුගත්, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුව ද පළමු අවසන් පූර්ව තරගයේ දී තත්පර 47.28ක කාලයක් වාර්තා කළ සුගත්, තරගයේ 5 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලියෙන් ඉවතට විසි විය.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ සුගත්ගේ දස්කම්

1995 ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය

මුල්මවරට 1995 වසරේ ඉන්දුනීසියාවේ දී පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වූ සුගත්, එහි දී තත්පර 46.21ක කාලයකින් අවසන් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

1998 ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය

1998 වසරේ ජපානයේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 44.61කින් නිම කරමින් නව තරගාවලි වාර්තාවක් තබමින් ජය ගැනීමට සුගත් සමත් විය.

2002 ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය

2002 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 45.73කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සුගත් සමත් විය.

ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ සුගත්ගේ දස්කම්

1996 ඇට්ලන්ටා සහ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලි හි දී මිටර් 400 ඉසව්ව නියෝජනය කිරීමට සුගත්ට අවස්ථාව ලැබීම, ඔහුගේ ක්‍රීඩා ජිවිතයේ වටිනා අවස්ථාවක් විය.

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය

මෙම තරගාවලියේ මූලික වටයේ 5 වන තරගය සඳහා සහභාගි වූ සුගත් එහි දී තත්පර 45.79ක කාලයක් වාර්තා කරමින්, එම ඉසව්වේ ලෝක ශූරයා වූ ඇමරිකාවේ මයිකල් ජොන්සන් අභිබවමින් පළමු ස්ථානය දිනා ගත්තේ ය. නමුත් ඉන්පසු ව පැවති අර්ධ අවසන් පූර්ව වටයේ 3 වන තරගයට සහභාගි වූ සුගත්, එහි දී තත්පර 45.78ක කාලයක් වාර්තා කළ ද, සුගත්ට තරගය නිම කිරීමට හැකිවූයේ  7 වෙනියා ලෙසිනි.

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ මූලික වටයේ 8 වන තරගය තත්පර 45.48කින් නිම කරමින් 2 වන වටයට සුදුසුකම් ලැබූ සුගත් දෙවන වටයේ පළමු තරගය තත්පර 45.54කින් නිම කරමින් 6 වන ස්ථානයට පත්වීමත් සමග ම ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ සුගත්ගේ දස්කම්

1997, 1999, හා 2001 යන වසරවල පැවති ලෝක ශූරතා තරගාවලිවල මීටර් 400 ඉසව්ව යටතේ තරග කළ සුගත් එම අවස්ථාවන් 3 දී ම මූලික වටයෙන් ඉදිරියට ගිය ද කිසිදු විශේෂ ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් විය.

ජාතික වාර්තාව තවමත් ඔහු සතු ය

1998 වසරේ ජපානයේ දී පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 44.61 කින් නිම කළ සුගත්, එහි දී ඔහුගේ ම වාර්තාවක් අලුත් කරමින් මීටර් 400 ඉසව්ව වෙනුවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය. එදා ඔහු තැබූ වාර්තාව මේ දක්වා ම එනම්, වසර 20ක් ආරක්ෂා වී තිබෙන්නේ ඔහුගේ අඩුව අපට තවමත් පුරවා ගැනීමට නොහැකි වීම නිසා ය.

කවරයේ ඡායාරූපය:

1998 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 තරගයෙන් සුගත් ලෝකඩ පදක්කම දිනා ගත් මොහොත (gettyimages)

Related Articles