Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IPL ඉතිහාසයේ ඉහළ ම වටිනාකමක් ලද ක්‍රිකට් තරු 7ක්

2022 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය බැංගලෝර් නුවර දී පෙබරවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිත යි. එම වෙන්දේසිය සඳහා රටවල් 14කින් ක්‍රීඩකයන් 590ක් ඇතුළත් කර තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23ක් ද අයත්. 

ඊට අමතර ව ඉන්දීය ක්‍රීඩකයන් 385ක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 47ක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 34ක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 33ක්,එංගලන්ත ක්‍රීඩකයන් 24ක්, නවසීලන්ත ක්‍රීඩකයන් 24ක්, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් 17ක්, බංග්ලාදේශ ක්‍රීඩකයන් 5ක් මෙම වෙන්දේසිය සඳහා ඇතුළත් කර තිබෙනවා. ඒ වාගේම නැමීබියාව, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, නේපාලය, සහ අමෙරිකාව යන රටවල්වලින් ක්‍රීඩකයන් 8 දෙනකු IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. 

එක් එක් ක්‍රීඩකයාට මූලික ලංසුවක්

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී එක් එක් ක්‍රීඩකයා වෙනුවෙන් මූලික ලංසුවක් තබනවා. එම ලංසුවේ වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 20 සිට ඉන්දියානු රුපියල් ලක්ෂ 200 දක්වා වෙනස් වෙනවා. ඒ අනුව මෙවර වෙන්දේසියේ දී වැඩිම මූලික ලංසුවක් හිමිවුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වුණේ වනිඳු හසරංග යි. ඔහුට ලැබුණු මූලික ලංසුව ඉන්දියානු රුපියල් ලක්ෂ 100ක් ලෙස සටහන් වුණා. 

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී එක් එක් කණ්ඩායම්වල හිමිකරුවන් මූලික ලංසුවට වඩා වැඩි මුදලකට ක්‍රීඩකයන් මිල දී ගැනීම සිදු කරනවා. එහි දී සමහර ක්‍රීඩකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 1500කට වඩා වැඩි මිලකට අලෙවි වෙනවා. IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ එවැනි මිලකට අලෙවි වුණු ක්‍රිකට් තරු රැසක් සිටිනවා. ඒ අතුරින් ඉහළම මිලකට වෙන්දේසි වුණු ක්‍රිකට් තරු 7 පිළිබඳ කරුණු මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

7). ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව) – ඉන්දියානු රුපියල් ලක්ෂ 1425

ග්ලේන් මැක්ස්වෙල් 2020 IPL තරගාවලියේ දී කිංග්ස් Xi පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කළා. නමුත් එවර තරගවාරයේ දී ඔහුට පිත්තෙන් දස්කම් දැක්වීමට හැකිවුණේ නැහැ. එහි දී ඔහු ඉනිම් 11ක් තුළ ලබා ගත්තේ ලකුණු 108ක් පමණ යි. 2020 IPL තරගාවලිය නිමාවට පත්ව මාස 4ක් පමණ ගෙවී යද්දී 2021 IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණා.

එම මාස 4ක කාලය ඇතුළත ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 20/20 තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ දී මැක්ස්වෙල් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  2021 IPL ක්‍රීඩක වෙන්දේසිය  ඇරඹෙද්දී මැක්ස්වෙල්ගේ වටිනාකම ඉහළ ගොස් තිබුණා.

මැක්ස්වෙල් 2020 ඉන්දු-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ දී – gettyimages.com

 

2021 පෙබරවාරි 18 වැනි දින පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේ දී මැක්ස්වෙල් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 200ක මූලික ලංසුවක් තබා තිබුණා. ඉන් අනතුරුව  කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් මැක්ස්වෙල් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 440 වන තුරු ලංසු තැබුවා. ඒ මොහොතේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මැක්ස්වෙල් වෙනුවෙන් ලංසු තැබීම අත්හැර දැමුවා. 

2021 IPL ක්‍රීඩක වෙන්දේසිය – dnaindia.com

 

ඒ සමඟ ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මැක්ස්වෙල් වෙනුවෙන් ලංසු තබන්නට පටන් ගත්තා. එදා බැංගලෝර් සහ චෙන්නායි කණ්ඩායම් මැක්ස්වෙල් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 1400 දක්වා ලංසු තැබුවා. අවසානයේ දී ඉන්දියානු රුපියල් ලක්ෂ 1425ක මුදලකට ඔහු මිල දී ගැනීමට බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ අයුරින් බැංගලෝර් කණ්ඩායමට එකතු වුණු මැක්ස්වෙල් 2021 IPL තරගාවලියේ දී ඉනිම් 14ක් ඇතුළත ලකුණු 513ක් ලබා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා.

මැක්ස්වෙල් 2021 IPL තරගාවලියේ දී – cricketaddicor.com

 

6). බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1450

2017 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 20 වැනිදා පැවැත්වුණා. එම වෙන්දේසියේ දී එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 200ක මූලික ලංසුවක් තබා තිබුණා.

ඉන් අනතුරුව බෙන් ස්ටෝක්ස් මිල දී ගැනීම සඳහා මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි ඩෙයාඩෙවිල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර ප්‍රබල තරගයක් පැවතුණා. එහි දී ලංසුව ඉන්දියානු රුපියල් ලක්ෂ 400 සීමාව පසුකළ විට බැංගලෝර් කණ්ඩායම සටනින් ඉවත් වුණා. 

බෙන් ස්ටෝක්ස් – crictracker.com

 

එදා මුම්බායි සහ දිල්ලි කණ්ඩායම දිගින් දිගට ම බෙන් ස්ටෝක්ස් වෙනුවෙන් ලංසු තැබුවා. ලංසුව ඉන්දියානු රුපියල් ලක්ෂ 1000 සීමාවට පැමිණි අවස්ථාවේ දිල්ලි කණ්ඩායම සටනින් ඉවත් වුණා. ඉන් පසුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1100ක ලංසුවක් තැබීමත් සමඟින් මුම්බායි කණ්ඩායම ද පසු බැස්සා.

ඒ සමඟ ම සටනට පිවිසි රයිසිං පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම, හයිද්‍රාබාද් කණ්ඩායම සමඟින් කරට කර ලංසු ඉදිරිපත් කළා. අවසානයේ දී සටන ජයග්‍රහණය කළ පූනේ කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1450කට ස්ටෝක්ස් මිල දී ගත්තා.

ස්ටෝක්ස් පූනේ කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින් – iplt20.com

 

ඒ අයුරින් පූනේ කණ්ඩායමට එක් වුණු ස්ටෝක්ස් එවර IPL තරගාවලියේ දී ශතකයක් සමඟින් ලකුණු 316ක් ලබා ගත්තා. එදා ස්ටෝක්ස් සිය පිත්තෙන් දැක් වූ සුපිරි දස්කම් හේතුවෙන් පූනේ කණ්ඩායමට තරගාවලියේ අනු ශූරතාවය දිනාගැනීමට හැකිවුණු බව මෙහි දී විශේෂයෙන් ම කිව යුතුයි.

5). ගෞතම් ගම්භීර් (ඉන්දියාව)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1490

ඉන්දියාවෙන් බිහිවුණු දක්ෂ ආරම්භක පිතිකරුවකු වන ගෞතම් ගම්භීර් 2010 IPL තරගාවලියේ දී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 10කදී ලකුණු 277ක් ලබා ගත්තා. එම යුගයේ දී ගම්භීර් පිත්තෙන් පෑ හපන්කම් නිසා 2011 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහු මිල දී ගැනීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස්, කෝචි ටස්කර්ස්, පූනේ වොරියර්ස් යන කණ්ඩායම් ප්‍රබල උත්සාහයක නිරත වුණා. අවසානයේ දී එම සටනින් ජයගත් කොල්කටා කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1490කට ගම්භිර් මිල දී ගත්තා. 

ගෞතම් ගම්භීර්  – crictracker.com

 

කොල්කටා කණ්ඩායමට එලෙස එක් වුණු ගම්භීර් 2011 IPL තරගාවලියේ දී එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් ලකුණු 378ක් ලබා ගත්තා.  කොල්කටා කණ්ඩායම තරගාවලියේ අවසන් වටය දක්වා රැගෙන යාමටත් ඔහුට හැකි වුණා. එය කොල්කටා කණ්ඩායම IPL තරගාවලි ඉතිහාසයේ අවසන් වටය දක්වා පැමිණි මුල් ම අවස්ථාව ලෙස සටහන් වුණා.

ඉන් නොනැවතුණු ගාම්භීර් 2012 සහ 2014 වසරවල දී කොල්කටා කණ්ඩායමට IPL ශූරතාව උරුම කර දීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ගම්භීර් 2012 IPL ශූරතා කුසලානය සමඟ – crictracker.com

 

4). කයිල් ජේමිසන් (නවසීලන්තය)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1500 

2020 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි නවසීලන්තයේ කයිල් ජේමිසන් දක්ෂ වේගපන්දු යවන්නකු ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා. ඔහුට වේගයෙන් පන්දුවට පහරදීමට හැකියාවක් ද තිබුණා. එනිසා 2021 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ජේමිසන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුවක් ලැබුණා.

ඉන් අනතුරුව රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් ජේමිසන් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 800 දක්වා ලංසු තැබුවා. නමුත් ඔහු වෙනුවෙන් එතනින් එහාට ලංසු තැබීමට දිල්ලි කණ්ඩායම ඉදිරිපත් වුණේ නැහැ. 

කයිල් ජේමිසන් – gettyimages.com

 

එම අවස්ථාවේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම බැංගලෝර් කණ්ඩායමට එරෙහි ව සටනට පිවිසියා. එම කණ්ඩායම් දෙක ජේමිසන් වෙනුවෙන් කරට කර ලංසු තැබුවා. අවසානයේ දී බැංගලෝර් කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1500කට ජේමිසන් මිල දී ගත්තා.

එලෙස  බැංගලෝර් කණ්ඩායමට එක් වුණු ජේමිසන් 2021 IPL තරගාවලියේ දී දවාගත්තේ කඩුලු 9ක් පමණ යි. ඒ අනුව  ඔහු මිල දී ගැනීම සඳහා බැංගලෝර් කණ්ඩායම වියදම් කළ මුදලෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු බව කිව යුතු යි.

ජේමිසන් 2021 IPL තරගාවලියේ දී – widen.com

 

3). පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1550 

ඉන්දීය බිමේ දී ඉන්දු-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියක් 2019 මාර්තු මාසයේ පැවැත්වුණා. එම තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. එහි දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා බවට පත්වුණු පැට් කමින්ස් තරග 5කදී කඩුලු 14ක් බිඳ දැමුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  2020 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 200ක මූලික ලංසුවක් තැබුණා. ඉන් අනතුරුව රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් කමින්ස් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 1475ක් දක්වා ලංසු ඉදිරිපත් කළා.

කමින්ස් 2019 ඉන්දු-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ දී  – gettyimages.com

 

බැංගලෝර් කණ්ඩායම කමින්ස් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 1475ක ලංසුවක් ඉදිරිපත් කිරීමත් සමඟින් දිල්ලි කණ්ඩායම පසු බැස්සා. ඒ මොහොතේ සටනට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කමින්ස් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 1500ක ලංසුවක් තැබුවා. ඒ මොහොතේ බැංගලෝර් කණ්ඩායම කමින්ස්  මිල දී ගැනීම සඳහා තවදුරටත් සටන් කළා.

අවසානයේ දී ඉන්දියානු රුපියල් ලක්ෂ 1550ක මිලකට කමින්ස් මිල දී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම යි. ඒ අයුරින් කොල්කටා කණ්ඩායමට එකතු වුණු කමින්ස් එවර IPL තරගාවලියේ දී තරග 14කදී බිඳ දැමුවේ කඩුලු 12ක් පමණක් වීම කනගාටුවට කරුණක්.

කමින්ස් 2020 IPL තරගාවලිය අතරතුර – circleofcricket.com

 

2). යුව්රාජ් සිං (ඉන්දියාව)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1600

ඉන්දියාවෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන යුව්රාජ් සිං 2014 IPL තරගාවලියේ දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් තරග 14කදී ලකුණු 376ක් ලබා ගත්තා.

එනිසා  2015 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී යුව්රාජ් වෙනුවෙන්  ඉන්දියානු රුපියල් ලක්ෂ 200ක මූලික ලංසුවක් තැබුණා. ඉන් අනතුරුව ඔහු  මිල දී ගැනීම සඳහා දිල්ලි ඩෙයාඩෙවිල්ස්, රාජස්තාන් රෝයල්ස් සහ කිංග්ස් Xi පන්ජාබ් යන කණ්ඩායම් ඉන්දියානු රුපියල් ලක්ෂ 500ක් වන තුරු ලංසු තැබුවා.  

යුව්රාජ් සිං- timesnownews.com

 

ඒ මොහොතේ රාජ්ස්තාන් සහ පංජාබ් යන කණ්ඩායම් සටනින් ඉවත් වුණා. ඒ සමඟ ම රෝයල් චැලේංජර්ස් බැංගලෝර් කණ්ඩායම යුව්රාජ් මිල දී ගැනීමේ සටනට ඉදිරිපත් වුණා.  දිල්ලි සහ බැංගලෝර් කණ්ඩායම් යුව්රාජ් වෙනුවෙන් එහිදී කරට කර ලංසු ඉදිරිපත් කළා. අවසානයේ දී ඉන්දියානු රුපියල් ලක්ෂ 1600ක මිලකට ඔහු මිල දී ගත්තේ දිල්ලි කණ්ඩායම යි.

එලෙස දිල්ලි කණ්ඩායමට එකතු වුණු යුව්රාජ්ට එවර IPL තරගාවලියේ දී ඉනිම් 14ක් තුළ ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 248ක් පමණ යි. ඒ අනුව  ඔහු මිල දී ගැනීම සඳහා දිල්ලි  කණ්ඩායම වියදම් කළ මුදලෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

යුව්රාජ්  2015 IPL තරගාවලිය අතරතුර – crickettimes.com

 

1). ක්‍රිස් මොරිස් (දකුණු අප්‍රිකාව)- ඉන්දියානු රුපියල් ලක්ෂ 1625

දකුණු අප්‍රිකාවෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ක්‍රිස් මොරිස් 2021 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් වුණා. එහි දී ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුවක් තැබුණා. ඉන් අනතුරුව මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් මොරිස් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 1000 දක්වා ලංසු තැබුවා.

ඒ මොහොතේ බැංගලෝර් කණ්ඩායම පසුබැස යද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මොරිස් මිල දී ගැනීමේ සටනට පිවිසියා. එම අවස්ථාවේ රාජස්තාන් සහ මුම්බායි කණ්ඩායම් ඉන්දියානු රුපියල් ලක්ෂ 1325ක් වන තුරු මොරිස් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළා.

ක්‍රිස් මොරිස් – espncricinfo.com

 

මුම්බායි කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1325ට වැඩි ලංසුවක් ඉදිරිපත් කළේ නැහැ. ඒ මොහොතේ රාජ්ස්තාන් කණ්ඩායමට එරෙහි ව සටනට පිවිසි කිංග්ස් පන්ජාබ් කණ්ඩායම මොරිස් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 1350ක ලංසුවක් තැබුවා.

එදා රාජස්තාන් සහ පන්ජාබ් යන කණ්ඩායම් අතර පැවති සටනින් ජයගත් රාජස්තාන් කණ්ඩායම ඉන්දියානු රුපියල් ලක්ෂ 1625ක මුදලකට මොරිස් මිල දී ගත්තා. එදා දැවැන්ත මුදලකට රාජස්තාන් කණ්ඩායම සමඟින් එකතු වුණු මොරිස් 2021 IPL තරගාවලියේ දී තරග 11ක් තුළ කඩුලු 15ක් බිඳ දමමින් සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා.  

මොරිස්  2021 IPL තරගාවලිය අතරතුර- cricketaddictor.com

කවරයේ ඡායාරූපය- 2021 දී මොරිස්ට ඉහළම මිල ලැබුණු අවස්ථාව - onmanorama.com

මූලාශ්‍ර:

newsable.asianetnews.com

amazonaws.com

business-standard.com

cricbuzz.com

espncricinfo.com

howstat.com

Related Articles