Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාවහන් රහිතව ඔලිම්පික් රන් පදක්කම දිනූ ඉතියෝපියානුවා – අබිබේ බිකිලා

1960 රෝම ඔලිම්පික් උළෙලේ දී පළමු වරට පාවහන් නොමැති ව ඔලිම්පික් මැරතන් තරගයට සහභාගී වූ ඉතියෝපියානුවෙක් තම රට රනින් සැරසීමට සමත් වෙනවා. ඒ ඔලිම්පික් වාර්තාවක් හා නව ලෝක වාර්තාවක් පිහිටුවමින්.

මුළු මහත් අප්‍රිකානු කල්ලන්ට විශාල ගෞරවයක් එකතු කළ කළු කෙසඟ ධාවකයා වෙන කිසිවෙකුත් නොව ඉතියෝපියානු අබිබේ බිකිලා යි. මැරතන් තරග ඉසව්වෙන් පළමුවරට ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හිමිකරගැනීමට සමත් වූ ඔහු පිළිබඳ ව යි අද ලිපිය.

ආදේශක ක්‍රීඩකයෙක් ලෙස රෝම ඔලිම්පික් ගම්මානයට

අබිබේ බිකිලා (Famous People)

1960 ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන්නේ ඉතාලියේ රෝමයේ යි. ඒ සඳහා සහභාගී වෙන ඉතියෝපියානු ක්‍රීඩක කණ්ඩායම ඉතාලියට පැමිණෙන අතර මැරතන් ධාවන ඉසව්ව සඳහා ඉතියෝපියාවෙන් සුදුසුකම් ලබා සිටි වමි බිරාටු නම් ධාවකයා හදීසි අබාධයකට ගොදුරුවෙනවා. මේ හේතුවෙන් ඉතියෝපියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියේ දුෂ්කර ම ඉසව්ව වන මැරතන් ධාවන සඳහා අබිබේ බිකිලාට සහභාගී වීමට අවස්ථාව හිමිවෙනවා.

නව තරග වාර්තාවක් තබමින් ඉතියෝපියාව රනින් බැබළවීමට මේ කෙසඟ මිනිසාට හැකියාව ලැබෙනු ඇතැ යි එම මොහොතේ කිසිදු ප්‍රේක්ෂකයෙක් නොසිතන්න ඇති.

ක්‍රීඩා පාවහන් නොමැතිව තරග බිමට

පාවහන් රහිත ව තරගය නිමා කරන අබිබේ (Wikipedia)

රෝමයේ පැවති ඔලිම්පික් තරගාවලියේ මැරතන් ඉසව්ව සඳහා සහභාගී වීමට සුදානම් වූවත් අබිබේ බිකිලාට පාවහන් යුවලක් නොතිබිණි. සියලු ක්‍රීඩකයන්ට අඩිඩාස් සමාගමෙන් අවශ්‍ය ක්‍රීඩා පාවහන් ලැබී තිබුණු නමුත්, අබිබේගේ පාදවල මිනුම්වලට සරිලන පාවහන් යුවලක් ලැබෙන්නේ නෑ.

මේ හේතුවෙන් පාවහන් නොමැති ව තරග බිමට පැමිණෙන අබිබේ එවකට එළිමහනේ පැවති සැතපුම් 26කට වඩා දුරින් යුත් මැරතන් ඉසව්ව නිම කරන්නේ දහස් ගණනක ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේ යි. තරගය නිම කිරීමේ දී නව ඔලිම්පික් වාර්තාවක් මෙන්ම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් වෙනවා.

දුර දිවීමට කල්ලන් තුළ ඇති අපූරු දක්ෂතාවය ලොවට ගෙන හැර පෑම මෙහි දී අබිබේ විසින් ලොවට පෙන්වා දුන් අතර, ඉන්පසු ව මේ දක්වා ඔලිම්පික් මැරතන් තරග ඉසව්වල මුල් ස්ථාන දිනාගැනීමට ඉතියෝපියානු කළු ජාතිකයන්ට හැකියාව ලැබෙනවා.

ඉතියෝපියාවට දිනා දුන් ගෞරවය හේතුවෙන් අබිබේට එරටින් ඉතා ඉහළ අන්දමේ සත්කාර හා සම්මාන හිමිවෙන අතර ඉතියෝපියානු අධිරාජයා විසින් අබිබේ බිකිලාගේ දරිද්‍රතාවයෙන් යුත් පෞද්ගලික ජීවිතය නගා සිටුවීමට පෞද්ගලික ව මැදිහත් වෙනවා.

දෙවන වරටත් ඉතියෝපියාව රන් පදක්කමෙන් සැරසීම

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී (The Japan Times)

දැඩි කැපවීම මධ්‍යයේ තම පුහුණුවීම් තවදුරටත් සිදුකරගෙන යන අබිබේ 1964 ජපානයේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වන්නේ දහස් සංඛ්‍යාත ඉතියෝපියානුවන්ගේ බලාපොරොත්තුව බවට පත් වෙමින්.

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට දින 40කට ප්‍රථම අනුබද්ධ ප්‍රදාහය (appendectomy) ශල්‍යකර්මයකට මුහුණදීමට ඔහුට  සිදුවෙනවා. මේ හේතුවෙන් මෙවර ඔලිම්පික් තරගය මඟහැරී යාමට ඉඩ තිබුණු නමුත් දැඩි ආත්ම විශ්වාසයකින් හෙබි අබිබේ ඒ සඳහා අනිවාර්යෙන් තමන් සහභාගී වන බව ප්‍රකාශ කරනවා.

ටෝකියෝ ඔලිම්පික් තරගයේ මැරතන් ඉසව්වට අනුග්‍රාහක පාවහන් යුගලක් ද පැළඳ සහභාගී වෙන අබිබේ මෙවර ද රන් පදක්කම තමා සතු කරගැනීමට කටයුතු කරනවා. ඔහු තරගය නිමකිරීමෙන් පසු එහි රැස් වී සිටි 75,000කට අධික ප්‍රේක්ෂක පිරිසකගේ උණුසුම් පිළිගැනීමට ලක්වෙනවා. ඒ සමග ම ඔලිම්පික් මැරතන් ඉසව්වේ පිට පිට දෙවතාවක් රන් පදක්කම් හිමිකරගත් ප්‍රථමයා ලෙස ඔහු වාර්තාවක් තබනවා.

මෙම ජයග්‍රහණයෙන් ඉතියෝපියාව ඇළලී යන අතර මෙතෙක් කලක් ආරක්ෂක භටයෙක් ලෙස ඉතියෝපියානු අධිරාජයා යටතේ සේවය කළ අබිබේ ව කපිතාන්වරයෙකු දක්වා උසස් කිරීමට රජු තීරණය කරනවා.

අහිමිව ගිය මෙක්සිකෝ ඔලිම්පික් රන් පදක්කම

1964 දී රන් පදක්කම දිනා ගනිමින් (Athletics Weekly)

1968 දී මෙක්සිකෝවේ පැවති ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් තරගයට මේ අසහාය කළු ජාතික ධාවකයා සහභාගී වෙන්නේ තෙවැනි ඔලිම්පික් රන් පදක්කමත් සිය නම ඉදිරියෙන් ලියවා ගැනීමේ අරමුණෙන්.

තරගය ආරම්භ වී සැතපුම් 10ක පමණ දුරක් දිවයන අබිබේගේ එක් පාදයක ඇති වූ දරුණු අබාධයක් හේතුවෙන් ඔහුට මැරතන් තරගයෙන් ඉවත් වීමට සිදුවෙනවා. ඒ හේතුවෙන් තෙවන රන් පදක්කමේ සිහිනය බොඳ ව යනවා. නමුත් ඔහු සමග තරගයට සහභාගී වූ සහෝදර ඉතියෝපියානු ක්‍රීඩක මමෝ වොල්ඩ් එවර රන් පදක්කම දිනාගැනීම හේතුවෙන් තමා ඉතා සතුටට පත් වූ බව ඔහු ප්‍රකාශ කරනවා.

රිය අනතුර හේතුවෙන් රෝද පුටුවකට සීමා වූ අබිබේ

රෝද පුටුවකට සීමා වූ අබිබේ (Facebook)

1969 මාර්තු මාසයේ එක් රාත්‍රියක ලෝක පූජිත ධාවකයා තම මෝටර් රථයේ ගමන් කරමින් සිටිය දී දරුණු රිය අනතුරකට මුහුණ දෙනවා. ඉතා අසාධ්‍ය ව සිටි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා එංගලන්තය බලා යැවීමට තීරණය වෙනවා. එංගලන්තයේ රෝහලක මාස අටකට අධික කාලයක් ගත කිරීමට ඔහුට සිදුවෙනවා. මෙම කාලසීමාව තුළ ඔහුට සුවය පතා දහස් ගණන් පැතුම්පත් ලැබුණු අතර දෙවන එලිසබෙත් රැජින පවා සුවදුක් බැලීමට රෝහල වෙත පැමිණෙනවා.

රිය අනතුර හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වූවත් ලෝක වාර්තා අලුත් කළ මෙම ධාවකයාගේ ජීවිතය ඉන්පසු ව රෝද පුටුවකට සීමා වෙනවා. තවදුරටත් මැරතන් ධාවන තරගවලට සහභාගී වීමට නොහැකි වූවත් අසීමිත ධෛර්යයකින් හෙබි අබිබේ රෝද පුටුවේ සිට මේස පන්දු ක්‍රීඩා කිරීමටත්, දුන්නෙන් ඉලක්කයට විදීමටත් පුරුදු පුහුණු වෙනවා.

ඔහුට අත් වූ ඉරණම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් බොහෝ දුකට පත්වෙන අතර, 1972 මියුනිච් ඔලිම්පික් උළෙලට ආරාධිතයෙක් ලෙස ඔහු සහභාගී වෙන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ කදුළු මැද යි.

1973 ඔක්තෝම්බර් 25 වන දා 41 වියැති අබිබේ අකල් මරණයකට ගොදුරු වෙනවා. ඒ රිය අනතුර හේතුවෙන් මොළයේ ඇති වූ සංකූලතාවයක් හේතුවෙන්.

1932 වසරේ දුප්පත් පවුලක ඉපැදී අසීමිත කැපවීමෙන් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් තම රටට දිනා දුන් මේ කළු, කෙසඟ මිනිසාගේ වියෝව හේතුවෙන් ඉතියෝපියව ම කම්පා වුණු අතර අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරවය මැද සිදුකෙරෙනවා. පසු ව ඉබිබේ බිකිලා යන නාමය ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වෙනවා.

කවරයේ පින්තූරය: Wikipedia

මූලාශ්‍රයයන්:

thefamouspeople.com

britannica.com/biography/Abebe-Bikila

youtube.com

olympic.org/news/abebe-bikila

 

Related Articles