Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාෆියා කල්ලියක් සමඟින් සබඳතා පැවැත්වූ සුපිරි පාපන්දු තරුව

සතියකට පවුම් 80 000 ක වැටුපක් ලැබූ ක්‍රීඩකයෙකු, නැතිනම් එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ බිහිවූ හොඳම ක්‍රීඩකයින් කිහිපදෙනා අතරට ඇතුලත් වීමට සියලුම දක්ෂතා වලින් පරිපූර්ණ වූ ක්‍රීඩකයෙකු, එසේත් නැතිනම් ලෝකයේ ජනප්‍රියම ජාතික පාපන්දු කණ්ඩායම වන බ්‍රසීල කණ්ඩායමට ක්‍රීඩා කිරීමට භාග්‍යය හිමිවූ ක්‍රීඩකයෙකු, ඉන් වසර කිහිපයකට පසු මාෆියා කල්ලියක් සමඟින් කිට්ටු සම්බන්ධතා පැවැත්වූවා යැයි කවුරුන් විසින් හෝ ප්‍රකාශ කළහොත් එය විශ්වාස කිරීමට පවා අපහසු කරුණකි. නමුත් එය එසේ සිදුවිය. “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද අපි විමසන්නේ ඒ පිළිබඳවයි. ඔබ බොහෝ දෙනෙකු දන්නා එම ක්‍රීඩකයාගේ විස්තර කිහිපයකින් ලිපිය ආරම්භ කරමු.

ඔහු නමින් අද්‍රියානෝය.1982 පෙබරවාරි මස 17 වැනි දින බ්‍රසීලයේ රියෝ ඩි ජැනෙයිරෝ අගනුවර උපත ලබා තිබෙන අද්‍රියානෝ ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙකි. උස අඩි 6′ 2” ක් වූ අද්‍රියානෝ තාක්ෂණයෙන් සහ ශරීර ශක්තියෙන් ඉහලම තලයේ සිටි ක්‍රීඩකයෙකි. මුල් කාලයේ දී  ඔහු හැඳින්වූයේ “මීළඟ රොනාල්ඩෝ” ලෙසයි. අද්‍රියානෝගේ ක්‍රීඩා ජීවිතයේ බොහෝ නැගීම් සහ පසුබැසීම් තිබෙන අතර ඔහු ඉතාලියේ ඉන්ටර් මිලාන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන විට එහි ක්‍රීඩා ලෝලීන් ඔහුව හැඳින්වූයේ “L’Imperatore” (The Emperor/අධිරාජ්‍යයා) යන නමින්ය. 2000 – 2010 වනතෙක් බ්‍රසීල කණ්ඩායම නියෝජනය කල අද්‍රියානෝ තරඟ 48 දී ගෝල 27 ක් රැස් කර තිබේ.

ක්‍රීඩා ජීවිතය

“අද්‍රියානෝ (වමේ), රොනාල්ඩීනියෝ, රොනාල්ඩෝ සහ කකා 2006 පාපන්දු ලෝක කුසලානයේ දී” (pinterest.co.uk)

1999 වසරේ පැවති 17 න් පහල ලෝක කුසලානය දිනූ බ්‍රසීල කණ්ඩායම නියෝජනය කල අද්‍රියානෝ බ්‍රසීලය විසින් ජයග්‍රහණය කල 2001 වසරේ දකුණු ඇමරිකානු යොවුන් ශූරතායේ දී වැඩිම ගෝල ලාභියා විය. එයට අමතරව 2001 වසරේ පැවති 20 න් පහල ලෝක කුසලානයේ දී දෙවැනි වැඩිම ගෝල ලාභියා බවට පත්වීමට ද අද්‍රියානෝට හැකිවිය.

2004 වසරේ පැවති කෝපා ඇමෙරිකා තරඟාවලියේ දී වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව සහ වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන ද හිමිකරගැනීමට අද්‍රියානෝට හැකිවිය. බ්‍රසීලය ශූරයින් ලෙසින් අබිසෙස් ලැබූ එම තරඟාවලියේ දී අද්‍රියානෝ විසින් ගෝල 7 ක් රැස් කල අතර එයට අවසන් පූර්ව තරඟයේ දී සහ අවසාන මහා තරඟයේ දී වාර්තා කල ගෝල දෙක ද ඇතුලත් වේ.

“අද්‍රියානෝ 2005 වසරේ ෆිෆා කන්ෆෙඩරේෂන්ස් කුසලානයේ රන් පාවහන සමඟින්” (sportbuzzer.de)

ඉන් නොනැවතුන අද්‍රියානෝ 2005 වසරේ පැවති කන්ෆෙඩරේෂන්ස් තරඟාවලියේදීත් තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව සහ වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන දිනා ගත්තේය. එම තරඟාවලිය ද බ්‍රසීලය විසින් ජයග්‍රහණය කල අතර අවසන් පූර්ව තරඟයේ දී ජර්මනියට එරෙහිව ගෝල දෙකක් ද අවසාන මහා තරඟයේ දී ආර්ජෙන්ටිනාවට එරෙහිව ගෝල දෙකක් ද රැස් කිරීමට මෙම විශිෂ්ට ක්‍රීඩකයාට හැකිවිය.

2006 සිය මංගල ලෝක කුසලානයට සහභාගී වෙමින් එහිදී ද ගෝල දෙකක් වාර්තා කිරීමට අද්‍රියානෝ සමත්විය. අද්‍රියානෝ සමඟින් ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ස්වීඩනයේ විශිෂ්ට ක්‍රීඩක ස්ලාතන් ඊබ්‍රහිමොවිච් පසුකලක දී අද්‍රියානෝ පිළිබඳව මෙසේ පවසන ලදී.

“ඔහුට හැකියාව තිබුනා ඕනෑම කෝණයකින් ප්‍රහාර එල්ල කරන්න. ඒ වගේම ඔහුගෙන් පන්දුව ලබාගන්නට ප්‍රතිවාදීන්ට බෑ. මට ඔහුත් සමඟින් ක්‍රීඩා කරන්නට වුවමනා වෙලා තිබුනා. නමුත් ඔහුට වැඩිකල් එසේ හොඳින් ක්‍රීඩා කිරීමට බැරිවුණා. මම සතුටු වෙනවා ඔහු සමඟ සහ ඔහුට එරෙහිව (ස්ලාතන් ඒසී මිලාන් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කලේය) ක්‍රීඩා කිරීමට හැකිවීම ගැන”

“අද්‍රියානෝ (වමේ) සහ ස්ලාතන් ඊබ්‍රහිමොවිච” (fedenerazzurra.net)

අද්‍රියානෝ 2001 වසරේ සිට 2016 වසර දක්වා ලෝකයේ විවිධ ක්‍රීඩා සමාජ 9 කට ක්‍රීඩා කර තිබේ. එහිදී ලීග් තරඟ 242 දී ගෝල 107 ක් ලබාගැනීමට අද්‍රියානෝට හැකිවී තිබේ. 2004 – 2009 දක්වා ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායම සමඟින් සිව් වතාවක් ඉතාලි සීරී ආ (Serie A) ලීගයද සිව් වතාවක් කෝපා ඉතාලියා ශූරතාවය ද තුන් වතාවක් ඉතාලි සුපර් කප් ශූරතාවය ද දිනා තිබේ. 2009 වසරේ දී බ්‍රසීලයේ ෆ්ලාමෙන්ගෝ කණ්ඩායම සමඟින් බ්‍රසීලයේ සීරී ඒ (Serie A) ලීගය අද්‍රියානෝ විසින් ජයග්‍රහණය කරන ලද්දේ ලීගයෙහි වැඩිම ගෝල ලාභියා බවට ද පත්වෙමිනි. එයට අමතරව 2011 වසරේ දී කොරින්තියන්ස් කණ්ඩායම සමඟින් ද බ්‍රසීලයේ සීරී ඒ ලීගය ජයගැනීමට අද්‍රියානෝට හැකිවී තිබේ.

මෙතරම් ජයග්‍රාහී ආරම්භයක් තිබූ ක්‍රීඩකයෙකු මාෆියා කල්ලියක් සමඟින් සබඳතා පැවැත්වීම අවාසනාවට කරුණකි. අද්‍රියානෝගේ විනය පිලිබඳ ගැටළු මතුවන්නේ 2006 සිට ය. 2006 වසරේ දී ඔහු දෙවරක් රාත්‍රී සමාජශාලා වල සාද පවත්වා ඇති අතර ඒ අනුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර තබන ලදී. එයටත් පෙර උදෑසන පුහුණුවීම් වලට පවා ඔහු බීමතින් යුතුව පැමිණි බව අද්‍රියානෝ විසින්ම ප්‍රකාශ කරන ලදී.

මාෆියා කණ්ඩායමක් සමඟින් සබඳතා පැවැත්වීම

dailystar.co.uk

ඉහලම තලයේ පාපන්දු ක්‍රීඩා කලද අද්‍රියානෝගේ වත්කම් ටිකෙන් ටික අවසන් වීමට එතරම් කාලයක් ගත වූයේ නැත. රියෝ ඩි ජැනෙයිරෝ අගනුවර අඩු ආදායම් ලාභී පවුල් ජීවත් වන ප්‍රදේශයක ඉක්මනින්ම පදිංචියට යෑමට අද්‍රියානෝට සිදුවිය. එහිදී විවිධාකාරයේ දුෂ්කරතා වලට මුහුණදීමට අද්‍රියානෝට සිදුවූ අතර රියෝ ඩි ජැනෙයිරෝ අගනුවර සිය ආධිපත්‍ය පතුරවාගෙන සිටින කොමාන්ඩෝ වාර්මේලියෝ (Comando Varmelho/ Red Command) නම් මාෆියා කල්ලිය සමඟත් විවිධ සබඳතා පැවැත්වීමට අද්‍රියානෝට සිදුවිය.

කොමාන්ඩෝ වාර්මේලියෝ මාෆියා කල්ලිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ අවි ආයුධ ව්‍යාපාරය ඇතුළු විවිධ නීති විරෝධී ජාවාරම් සිදුකරන කල්ලියකි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ආධිපත්‍ය වෙනුවෙන් දහස් ගණනින් මනුෂ්‍ය ඝාතන සිදුකරන කල්ලියකි. මෙම භයානක මාෆියා කල්ලිය සමඟින් අද්‍රියානෝ සබඳතා පැවැත්වීම බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ සිත්වලට කණගාටුවක් ගෙනදුන් කාරණයක් විය.

අද්‍රියානෝ විසින් 2008 වසරේ දී බ්‍රසීලයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකුට නවීන යතුරු පැදියක් මිලදී ගෙන දුන්නේ යැයි බ්‍රසීල පොලීසිය විසින් සැක කරනු ලබයි. එම නවීන යතුරු පැදිය ලියාපදිංචි කර තිබෙන්නේ එම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයාගේ මවගේ නමින් වන අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු විවිධ නීති විරෝධී ජාවාරම් සඳහා මෙම යතුරු පැදිය යොදාගෙන ඇති බවත් පසුව කොමාන්ඩෝ වාර්මේලියෝ කල්ලිය විසින් එම යතුරු පැදිය භාවිතා කර ඇති බව පොලීසිය පවසයි.

“අද්‍රියානෝ ගිනි අවියක් සමඟින් පලවූ ඡායාරූපය ” (sport.sky.it)

අද්‍රියානෝ 2010 වසරේ දී AK47 වර්ගයේ ගිනිඅවියක් අතින්ගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය වල පලවීම නිසා මුළුමහත් පාපන්දු ලොවම කැලඹුනි. මේ සියලුම කාරණා වලට අද්‍රියානෝට චෝදනා එල්ල කරමින් 2014 වසරේ දී බ්‍රසීල පොලීසිය විසින් අද්‍රියානෝව අත්අඩංගුවට ගත් අතර යම් හෙයකින් එම චෝදනා වලට ඔහු වැරදිකරු වූයේ නම් වසර 25 ක් වැනි කාලයකට සිර දඬුවම් විඳීමට ඔහුට සිදුවන බව වාර්තා විය. කෙසේවෙතත් එම සියලුම චෝදනා අද්‍රියානෝ විසින් ප්‍රතික්ෂේප කල අතර ඔහුට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට ද නොහැකි විය. තවත් විවිධ මූලාශ්‍ර වලින් කියැවුනේ අද්‍රියානෝ එම මාෆියා කල්ලියට යතුරු පැදිය දී තිබුනේ ඔහුගේ සහ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තකා බවයි.

අද්‍රියානෝට මෙසේ සිදුවූයේ ඇයි?

“ අද්‍රියානෝට කවදත් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය හිමිවිය” (medeirosdiadia.com.br)

ඉතා විශිෂ්ට හැකියාවන්ගෙන් යුක්ත වූ මෙම ක්‍රීඩකයාගේ ක්‍රීඩා ජීවිතය බොහෝ කලක් ඉහල මට්ටමෙන් පවත්වාගැනීමට නොහැකි වූ කාරණය වූයේ ඔහුගේ පියාගේ අභාවයයි. 2004 වසරේ දී අද්‍රියානෝගේ පියාගේ අභාවය සිදුවී ඇත. පියාගේ අභාවය සිදුවන අවස්ථාවේ දී අද්‍රියානෝ ඉතාලියේ සිට ඇති අතර ඒ පිළිබඳව දැනගත් අවස්ථාවේ දී අද්‍රියානෝ හඬා වැලපෙමින් ජංගම දුරකථනය ද පොළොවේ ගැසූ බව ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෝ පවසති. ශරීර ප්‍රමාණයෙන් විශාල වූවද අද්‍රියානෝ ඉතා මෘදු මොලොක් පුද්ගලයෙකි. පියාගේ අභාවයෙන් පසු අද්‍රියානෝ බීමට ඇබ්බැහි වූ අතර ඔහුගේ ක්‍රීඩා ජීවිතය ඉහල මට්ටමෙන් පවත්වාගෙන යාමට ඒ අනුව නොහැකි විය. සිය පියාගේ අභාවය පිලිබඳ අද්‍රියානෝ විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දේ R7 වෙබ් අඩවියටයි.

“මං විතරයි දන්නේ මගේ පියාගේ අභාවය හින්දා මං කොච්චර දුක් වින්දද කියලා. පියාගේ මරණයෙන් පස්සේ මට හැඟුනා මම තනිවෙලා වගේ කියලා. මම ගොඩක් දුකට පත්වුණා, ඒ හින්දා තමයි මං බීමට ඇබ්බැහි වුණේත්.”

අද්‍රියානෝගේ පියා විසින් ඔහුව ඉතා ආදරයෙන් රැකබලාගෙන තිබුණි. පියාගේ අභාවයෙන් පසුව අද්‍රියානෝව  සහෝදරයෙකු මෙන් රැකබලාගන්නට එවක ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් (ඉන්ටර් මිලාන්) කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම එවකට ඉන්ටර් මිලාන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලද ආර්ජෙන්ටිනාවේ හාවියර් සනෙත්ති සහ ඉන්ටර් මිලාන් කණ්ඩායමේ සභාපති මස්සිමෝ මොරාටි අද්‍රියානෝගේ සිත සනසන්නට උත්සාහ කර තිබුණි. ඉන්පසු අද්‍රියානෝ ගෝල වාර්තා කල පසු පියා වෙනුවෙන් ඒවා දායාද කලේය. නමුත් පියාගේ අභාවයෙන් පසු අද්‍රියානෝ කිසිදා නැවත ඔහු පෙර සිටි තත්වයට පත් වූයේ නැත.

නැවත පැමිණීම

“ආධාර පිණිස පැවති තරඟයේ දී ගෝලයක් වාර්තා කිරීමන් පසු අද්‍රියානෝ” (wsbuzz.com)

මේ වනවිට ආර්ථික ගැටලුවලින්ද යම් තරමකට මිදී සිටින අද්‍රියානෝඅද්‍රියානෝ, විවිධ පොදු වැඩ සඳහා ආධාර පිණිස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී බ්‍රසීලයේ පැවති පාපන්දු තරඟයකටද සහභාගී විය. එම තරඟයට අද්‍රියානෝට අමතරව බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයින් යුගලක් වූ සීකෝ සහ රොමාරියෝ ද නෙදර්ලන්තයේ හිටපු සුපිරි ක්‍රීඩක එඩ්ගාර් ඩේවිඩ්ස් ද සහභාගී විය. එම තරඟයේ දී අද්‍රියානෝ පිටියට පිවිසෙන විට මුළුමහත් ප්‍රේක්ෂකාගාරයම සතුටින් ඉපිලුණ අතර “අධිරාජ්‍යයා නැවත පැමිණියා” යැයි ඔවුන් විසින් එක හඬින් යුතුව පවසන ලදී.

එම තරඟයෙන් අද්‍රියානෝ ක්‍රීඩා කල කණ්ඩායමට ගෝල 7-4 ක් ලෙසින් ජය ලැබුණ අතර අද්‍රියානෝ විසින් ගෝලයක් ද වාර්තා කලේය. තරඟයේ විවේක කාලයේ දී අද්‍රියානෝ වටකරගත් මාධ්‍යවේදීන් හමුවේ ඔහු පැවසුවේ තමන්ට නැවතත් පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවයි. එම ප්‍රකාශයට ඉක්මන් පිළිතුරු සැපයූ බ්‍රසීලයේ ෆ්ලාමෙන්ගෝ කණ්ඩායම පැවසුවේ ඕනෑම මොහොතක අද්‍රියානෝට තම කණ්ඩායමේ ඉඩ තිබෙන බවය. එයට අමතරව බ්‍රසීලයේ ඕනෑම කණ්ඩායමක් අද්‍රියානෝ සිය කණ්ඩායමට එකතුකරගැනීමට ද කැමැත්තෙන් සිටියි. එසේනම් ලොවක් ආදරය කරන මෙම ක්‍රීඩකයා නැවතත් පාපන්දු ක්‍රීඩා කරනවා දැකීමට බොහෝ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට ආශාවෙන් දෑස් දල්වා බලාසිටී.

Cover Image: inter110.net

Related Articles