Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා විසින් එම ගෝල රැස් කල ආකාරය

පාපන්දු ක්‍රීඩාවේ ගෝලයක වටිනාකම මෙතෙකැයි කිව නොහැක. පාපන්දු ක්‍රීඩාවේ දී ගෝලයක් එතරම්ම වටී. එසේනම් ලෝක කුසලාන තරඟාවලියක දී ලබාගන්නා ගෝලයක වටිනාකම? එය සිතාගැනීමට ද නොහැකි දෙයකි. “Roar සිංහල සමඟින් 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් අද අපි කරුණු ගෙන එන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වන මිරෝස්ලව් ක්ලෝස විසින් පාපන්දු ලෝක කුසලාන වලදී වාර්තා කල ගෝල පිලිබඳ විස්තරයි. ඔහු පාපන්දු ලෝක කුසලාන 4 කට සහභාගී වී ගෝල 16 ක් වාර්තා කර තිබේ.

මිරෝස්ලව් යොසෙෆ් ක්ලෝස 1978 ජූනි මස 8 වැනිදා පෝලන්තයේ දී උපත ලැබුවේය. ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන ක්ලෝස පෝලන්තයේ උපත ලැබුවද 8 වැනි වියේදී ඔහුගේ පවුල ජර්මනියට පැමිණි බැවින් ක්ලෝස ජර්මනිය වෙනුවෙන් ක්‍රීඩා කළේය. “මිරෝ” යන කෙටි නාමයෙන් ක්ලෝසගේ මිතුරන් විසින් ඔහුව අමතන අතර ක්ලෝස ජර්මනියේ බයර්න් මියුනික් සහ ඉතාලියේ ලාසියෝ වැනි ක්‍රීඩා සමාජ ද නියෝජනය කර තිබේ. 2001 වසරේ මාර්තු 24 වැනි දින සිය පළමු ජාත්‍යන්තර​ තරඟයට ක්‍රීඩා කරන ලද්දේ ඇල්බේනියාවට එරෙහිවයි. එසේනම් ක්ලෝස විසින් ලෝක කුසලාන වලදී රැස් කල ගෝල එකිනෙක පිලිබඳ විමසා බලමු.

2002 ලෝක කුසලානයේ දී ලබාගත් ගෝල

1,2 සහ 3 වැනි ගෝල

“ක්ලෝස විසින් සෞදි අරාබියට එරෙහිව සිය දෙවැනි ගෝලය වාර්තා කරමින්” (Bildrechte/Getty Images)

2002 ලෝක කුසලානය පැවැත්වුනේ 2002 වසරේ මැයි 31 වැනි දින සිට ජූනි 30 වැනි දින දක්වා ජපානය සහ දකුණු කොරියාවෙහි සම සත්කාරකත්වයෙනි. එහිදී මූලික වටයේ දී ජර්මනිය E කාණ්ඩය යටතේ ක්‍රීඩා කල අතර සවුදි අරාබිය, අයර්ලන්තය සහ කැමරූනය ද E කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ලදී.

මූලික වටයේ ජර්මනිය මුහුණදුන් පළමු තරඟයට ක්‍රීඩා කලේ සවුදි අරාබිය සමඟින් ය. එය ක්ලෝසගේ පළමු ලෝක කුසලාන තරඟය වූ අතර එම තරඟය ක්ලෝසටත් ජර්මානු ක්‍රීඩා ලෝලීන්ටත් විශේෂ තරඟයක් විය. තරඟය ජර්මනිය විසින් ජයගනු ලැබුවේ 8-0 ක් ලෙසිනි. 1982 ලෝක කුසලානයෙන් පසුව මේ දක්වා ලෝක කුසලාන තරඟයක දී එක් කණ්ඩායමක් විසින් රැස් කල වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසින් ජර්මානු කණ්ඩායම විසින් රැස් කල මෙම ගෝල 8 ඉතිහාසයට එක්වීය.

මෙම තරඟයේ දී ක්ලෝස විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරන ලදී. ඒ තරඟයේ 20, 25 සහ 70 යන මිනිත්තු වලදීය. ක්ලෝස විසින් මෙම ගෝල ත්‍රිත්වයම වාර්තා කරන ලද්දේ සිය හිස උපයෝගී කරගෙනය. මෙම තරඟයේ දී ක්ලෝස ට අමතරව මයිකල් බැලැක් (40′), කාර්ස්ටන් යැන්කර් (45+1’), තෝමස් ලින්ක (73’), ඔලිවර් බියර්හොෆ් (84’) සහ බර්න්ඩ් ශ්නයිඩර් (90+1) ගෝල වාර්තා කරන ලදී. සිය දෙවැනි ගෝලය රැස් කිරීමෙන් අනතුරුව ක්ලෝස පනින ලද පිම්ම බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ගත දෙයක් විය.

4 වැනි ගෝලය

“ක්ලෝස සහ මයිකල් බැලැක්” (Las Baron/Getty Images)

මූලික වටයේ දෙවැනි තරඟයට ජර්මනිය මුහුණ දුන්නේ අයර්ලන්ත කණ්ඩායම සමඟිනි. එහිදී ක්ලෝස විසින් ජර්මනිය වෙනුවෙන් තරඟයේ 19 වැනි මිනිත්තුවේ දී හිස උපයෝගී කරගෙන ගෝලයක් වාර්තා කලේය. ඒ සඳහා ක්ලෝසට පන්දුව යොමු කරන ලද්දේ මයිකල් බැලැක් විසිනි. කෙසේනමුත් තරඟයේ 90+2 වැනි මිනිත්තුවේ දී අයර්ලන්ත කණ්ඩායමේ රොබී කීන් විසින් ගෝලයක් වාර්තා කරමින් තරඟය 1-1 ක් ලෙසින් සම තත්වයෙන් නිමා කලේය.

5 වැනි ගෝලය

“ක්ලෝස විසින් කැමරූනයට එරෙහිව ලබාගත් ගෝලය” (Pinterest)

මූලික වටයේ දී ජර්මනිය සහභාගී වූ අවසන් තරඟයේ දී කැමරූනයට එරෙහිව නැවතත් හිස ආධාරයෙන් ගෝලයක් ලබාගැනීමට ක්ලෝසට හැකිවිය. ඒ 79 වැනි මිනිත්තුවේ දීය. ඒ අනුව ලෝක කුසලාන තරඟාවලියකදී හිස ආධාරයෙන් ගෝල 5 ක් රැස් කල පළමු ක්‍රීඩකයා බවට ක්ලෝස පත්විය. ජර්මනිය වෙනුවෙන් මාර්කෝ බෝඩ විසින් ද ගෝලයක් වාර්තා කල අතර ජර්මනිය 2-0 ක් ලෙසින් තරඟය ජයග්‍රහණය කරන ලදී. කාණ්ඩයේ ප්‍රමුඛයා වෙමින් ජර්මනියට ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවිය.

2002 ලෝක කුසලානයේ දී ජර්මනිය අවසාන මහා තරඟය දක්වාම පැමිණි අතර අවසාන මහා තරඟයේ දී බ්‍රසීලයේ හමුවේ 2-0ක් ලෙසින් පරාජය විය. තරඟාවලිය පුරා ගෝල 5 ක් වාර්තා කරමින් බ්‍රසීලයේ රිවාල්ඩෝ සමඟින් තරඟාවලියේ දෙවැනි වැඩිම ගෝල ලාභියා බවට පත්විය.

2006 ලෝක කුසලානයේ දී ලබාගත් ගෝල

2006 ලෝක කුසලානය පැවැත්වුනේ 2006 ජූනි 9 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා ජර්මනියේ දීය. සත්කාරක ජර්මනිය ක්‍රීඩා කලේ A කාණ්ඩයෙනි. කොස්ටාරිකාව, පෝලන්තය සහ ඉක්වදෝරය ද A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ලදී.

6 සහ 7 වැනි ගෝල

“ක්ලෝස විසින් කොස්ටරිකාවට එරෙහිව ලබාගත් දෙවැනි ගෝලය” (Icon Sport/Getty Images)

2006 ලෝක කුසලානයේ ආරම්භක තරඟයේ දී ම ක්‍රියාත්මක වූ ක්ලෝස එහිදී කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත් වූයේය. ඒ 17 සහ 61 මිනිත්තු වලදීය. ජර්මනිය වෙනුවෙන් පිලිප් ලාම් (5’) සහ ටෝස්ටන් ෆ්‍රින්ග්ස් (87’) ද ගෝල වාර්තා කරන ලදී. නමුත් කොස්ටරිකා කණ්ඩායම ද හොඳ සටනක් ලබාදුන් අතර කොස්ටරිකා කණ්ඩායම වෙනුවෙන් පාඕලෝ වන්චොපේ විසින් ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත්විය. ඒ අනුව තරඟය 4-2 ක් ලෙසින් ජයගෙන තරඟාවලිය සඳහා හොඳ ආරම්භයක් ලබාගැනීමට සත්කාරක ජර්මනියට හැකිවිය.

8 සහ 9 වැනි ගෝල

“3 වැනි මිනිත්තුවේ දී ක්ලෝස විසින් වාර්තා කල ගෝලය” (firstpost.com)

මූලික වටයේ අවසන් තරඟයේ දී ඉක්වදෝරයට එරෙහිව පැවතී තරඟය ගෝල 3-0 ක් ලෙසින් ජයගැනීමට ජර්මනියට හැකිවිය. එහිදී තවත් ගෝල ද්විත්වයයක් වාර්තා කිරීමට ක්ලෝස ට හැකිවිය. තරඟයේ පළමු භාගයේ 4 සහ 44 වැනි මිනිත්තු වලදී ක්ලෝස විසින් ගෝල වාර්තා කරන ලදී. ක්ලෝස ට අමතරව එම තරඟාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා බවට පත් වූ ලූකස් පොඩොල්ස්කි ද 57 වැනි මිනිත්තුවේ දී ජර්මනිය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූයේය. ඒ අනුව ජර්මනිය කාණ්ඩයේ ප්‍රමුඛයා බවට පත් වූයේය.

10 වැනි ගෝලය

“සිය රටෙහි ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ආර්ජෙන්ටිනාවට එරෙහිව ලබාගත් ගෝලය” (dailymail.co.uk)

මෙම ගෝලය ක්ලෝස විසින් වාර්තා කරනු ලැබුවේ ජර්මනියට ඉතාමත් අවශ්‍යම අවස්තාවකදීය. ඒ අර්ධ අවසන් පූර්ව තරඟයේ දී ආර්ජෙන්ටිනා කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක් ලෙසින් ජර්මනිය පිටුපසින් සිටි අවස්ථාවේ දීය. එහිදී ආර්ජෙන්ටිනාවේ රොබර්ටෝ අයාලා විසින් 49 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කල අතර ඊට පිළිතුරු වශයෙන් ක්ලෝස විසින් 80 වැනි මිනිත්තුවේ දී හිස ආධාරයෙන් ගෝලයක් වාර්තා කරන ලදී. ඒ අසූදහසකට ආසන්න ජර්මානු ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ය. තරඟයේ නියමිත කාලය සහ අතිරේක කාලය නිමාවන විටද තරඟය 1-1 ක් ලෙසින් සමවී තිබූ අතර ඒ අනුව දඬුවම් පහර මඟින් තරගයේ ජය තීරණය කෙරුණි. එහිදී දඬුවම් පහර 4-2 ක් ලෙසින් ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටය වෙත ප්‍රවිෂ්ඨ වීමට ජර්මානු කණ්ඩායමට හැකිවිය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉතාලිය හමුවේ ජර්මනිය 2-0 ක් ලෙසින් පරාජයට පත්විය. තරඟාවලිය පුරා ගෝල 5 ක් වාර්තා කරමින් තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වූ ක්ලෝස රන් පාවහන දිනාගැනීමට සමත්විය.

2010 ලෝක කුසලානයේ දී ලබාගත් ගෝල

2010 ලෝක කුසලානය පැවැත්වුනේ 2010 ජූනි මස 11 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දීය. ජර්මනිය, ඝානාව, ඔස්ට්‍රේලියාව සහ සර්බියාව D කාණ්ඩය යටතේ මූලික වටයේ දී තරඟ වැදුණි.

11 වැනි ගෝලය

“ක්ලෝස සහ තෝමස් මුලර්” (headbandsandheartbreak.wordpress.com)

2010 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ දී ජර්මනිය තරඟ වැදුනේ D කාණ්ඩයෙන්ය. මූලික වටයේ ජර්මනිය මුහුණදුන් පළමු තරඟයේ දී ම ගෝලයක් වාර්තා කරන්නට ක්ලෝසට හැකිවිය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. තරඟයේ 26 වැනි මිනිත්තුවේදී වාර්තා කල එම ගෝලය ද ක්ලෝස හිස ආධාරයෙන් වාර්තා කල ගෝලයකි. එම තරඟයේ ජය 4-0 ක් ලෙසින් ජර්මනියට හිමි වූ අතර ජර්මනිය වෙනුවෙන් ගෝල වාර්තා කල අනෙකුත් ක්‍රීඩකයින් වූයේ ලූකස් පොඩොල්ස්කි (8′), තෝමස් මුලර් (68) සහ කැකෑවූ (70) ය.

12 වැනි ගෝලය

“එංගලන්තයට එරෙහිව රැස් කල පළමු ගෝලය” (Reuters)

අවසාන 16 දෙනාගේ වටයේ දී ජර්මනියේ ප්‍රතිවාදී කණ්ඩායම වූයේ එංගලන්තයයි. එහිදී තරඟයේ පළමු ගෝලය 20 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට ක්ලෝස ට හැකිවිය. ජර්මනියේ ලූකස් පොඩොල්ස්කි ද 32 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කරමින් තරඟය 2-0 ක් කරන ලදී. ඉන්පසු එංගලන්තයේ මැතිව් අප්සන් විසින් 37 වැනි මිනිත්තුවේ දී එංගලන්තය වෙනුවෙන් ගෝලයක් රැස් කලේය.

තරඟයේ පළමු භාගය නිමාවීමට පෙර එංගලන්තයේ ෆ්‍රෑන්ක් ලැම්පාර්ඩ් විසින් වාර්තා කරන ලද ගෝලය, ගෝලයක් ලෙසින් නම් නොකිරීම (විනිසුරුවන් එය සීමා ඉරෙන් ඔබ්බට නොගිය එකක් යැයි පවසන ලදී) ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි අවධානයට පාත්‍ර වූ සිද්ධියක් විය. මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී රූපවාහිනී තිරයෙහි ආධාරයෙන් විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමය යොදාගන්නා අතර ඉහත සිද්ධිය ද මෙම ක්‍රමය යොදාගැනීමට ප්‍රබල සාධකයක් විය.

“විනිසුරුවන් විසින් ගෝලයක් ලෙසින් හැඳින් නොවූ ලැම්පාර්ඩ් ගේ ගෝලය” (sporttechie.com)

දෙවැනි භාගයේ දී තරඟයේ පාලනය සියතට ගත් ජර්මානු ක්‍රීඩකයෝ තවත් ගෝල දෙකක් වාර්තා කරමින් (තෝමස් මුලර් 67’, 70’) තරඟය 4-1 ක් ලෙසින් ජයගෙන අර්ධ අවසාන පූර්ව වටයට යාමට වරම් හිමිකරගත්හ.

13 සහ 14 වැනි ගෝල

“ආර්ජෙන්ටිනාවට එරෙහිව තරඟයේ 68 වැනි මිනිත්තුවේ දී ක්ලෝස විසින් වාර්තා කල ගෝලය” (worldcupnews2014inbrazil.blogspot.com)

අර්ධ අවසාන පූර්ව වටයේ දී ද ප්‍රබල ආර්ජෙන්ටිනාවට එරෙහිව තවත් ඉතා වැදගත් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට ක්ලෝසට හැකිවිය. තරඟයේ 3 වැනි මිනිත්තුවේ දී ජර්මනිය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට තෝමස් මුලර් ට හැකිවිය. ඉන්පසු තරඟයේ දෙවැනි භාගයේ 68 සහ 89 වැනි මිනිත්තු වලදී ගෝල දෙකක් ලබාගැනීමට ක්ලෝසට හැකිවිය. සිය දෙවැනි ගෝලයෙන් අනතුරුව ඔහුගේ සුපුරුදු පිම්ම පැනීමට ද ක්ලෝස අමතක නොකලේය. ජර්මනිය වෙනුවෙන් ආරනේ ෆ්‍රීඩ්රික් ද ගෝලයක් වාර්තා කල අතර ඒ අනුව තරඟය 4-0 ක් ලෙසින් ජයගෙන අවසන් පූර්ව වටයට ප්‍රවිෂ්ට වීමට තරුණ කණ්ඩායමකින් සැදුම්ලත් ජර්මානු පිලට හැකිවිය.

අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ 1-0 ක් ලෙසින් පරාජය වී තරඟාවලියෙන් ඉවත් වීමට ජර්මනියට සිදුවිය. 2010 ලෝක කුසලානයේ දී ක්ලෝස විසින් ගෝල 4 ක් වාර්තා කල අතර ලෝක කුසලාන පාපන්දු තරඟාවලි 3 කදී ගෝල 4 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර තිබෙන එකම ක්‍රීඩකයා ලෙසින් ක්ලෝසගේ නම වාර්තා පොත්වල ලියැවී තිබේ.

2014 පාපන්දු ලෝක කුසලානයේ දී වාර්තා කල ගෝල

2014 පාපන්දු ලෝක කුසලානය පැවැත්වුනේ බ්‍රසීලයේ ය. ඒ 2014 ජූනි මස 12 වැනිදා සිට ජූලි මස 13 වැනිදා දක්වාය. මෙහිදී ජර්මනිය G කාණ්ඩයෙන් තරඟ වැදුනේ පෘතුගාලය, ඇ.එ.ජ. සහ ඝානාව සමඟින්ය.

2014 පාපන්දු ලෝක කුසලානය වනවිට මිරෝස්ලව් ක්ලෝස විසින් ලෝක කුසලාන වල දී වාර්තා කර තිබූ ගෝල සංඛ්‍යාව 14 කි. ඒ වනවිට ලෝක කුසලාන තරඟාවලි වලදී වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසින් වාර්තාව හිමිකරගෙන තිබුනේ බ්‍රසීලයේ රොනාල්ඩෝ ය. ඒ ගෝල 15 ක් වාර්තා කරමිනි. 2014 වනවිට ක්ලෝස 36 වැනි වියෙහි පසු වූ අතර එය ඔහුගේ අවසාන ලෝක කුසලානය ද විය. ඒ අනුව ලෝක කුසලාන වලදී වැඩිම ගෝල ලාභියා වීමට 2014 පාපන්දු ලෝක කුසලානයේ දී ක්ලෝසට තවත් ගෝල දෙකක් අවැසි විය.

15 වැනි ගෝලය

“ඝානාව සමඟ පවතී තරඟයේ දී වාර්තා කල ගෝලය” (Eddie Keogh/Reuters)

සිය 15 වැනි ලෝක කුසලාන ගෝලය ක්ලෝස විසින් වාර්තා කරන ලද්දේ මූලික වටයේ දී ඝානා කණ්ඩායමට එරෙහිවයි. මෙම තරඟය 2-2 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ජර්මනිය වෙනුවෙන් මාරියෝ ගොට්සේ (51’) සහ ක්ලෝස (71’) මිනිත්තු වලදී ද ඝානාව වෙනුවෙන් අන්ද්‍රේ අයූ (54′)  සහ අසෑමෝආ ජියැන් (63′) ගෝල වාර්තා කරන ලදී. ඒ අනුව ක්ලෝස විසින් රොනාල්ඩෝ ගේ වාර්තාව සම කලේය. මෙහිදී ද ක්ලෝස විසින් සිය සුපුරුදු පිම්ම පැනීමට අමතක නොකලේය.

16 වැනි ගෝලය

“වාර්තාව සිය නමට සතු කරගත් ගෝලය” (Getty Images)

ක්ලෝස විසින් වාර්තාව සමා සතු කරගත්තේ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවන තරඟයක් වන අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය සහ ජර්මනිය අතර පැවති තරගයේ දීය. මෙහිදී සිය රටෙහි ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ සත්කාරක බ්‍රසීලය 7-1 ක් ලෙසින් පරාජය කරන්නට ජර්මනියට හැකිවිය. මෙහිදී තරඟයේ 11 වැනි මිනිත්තුවේ දීම ගෝලයක් වාර්තා කරමින් සත්කාරක බ්‍රසීලයට දැඩි පීඩනයක් එල්ල කිරීමට තෝමස් මුලර් ට හැකිවිය.

ඉන්පසු තරඟයේ 23 වැනි මිනිත්තුවේදී ක්ලෝස විසින් ගෝලයක් වාර්තා කරමින් මෙම විශිෂ්ට වාර්තාව තමා සතු කරගැනීමට සමත් වූයේ එහි පෙර හිමිකරු රොනාල්ඩෝ ප්‍රේක්ෂකාගාරයේ සිටියදීමය. ක්ලෝසගේ මෙම ගෝලයත් සමඟින් දිගින් දිගටම ගෝල වාර්තා කිරීමට ජර්මනියට හැකිවූ අතර එම අවස්ථාවේ දී එය සිහිනයක් බඳු විය. ක්‍රීඩා ලෝලීන් සහ විස්තර විචාරකයින් පවා එම අවස්ථාවේ දී අන්ද මන්ද තත්වයට පත්විය. මෙයට පෙර කිසිඳු කණ්ඩායමක් අවසාන පූර්ව වටයේ තරඟයක දී ගෝල 7 ක් වාර්තා කර නොතිබූ අතර ජර්මනිය විසින් එම වාර්තාවද හිමිකරගන්නා ලදී. ජර්මනිය වෙනුවෙන් ගෝල වාර්තා කරන ලද සෙසු ක්‍රීඩකයෝ වූයේ ටෝනි ක්‍රෝස් (24′, 26′), කදීරා (29), සහ අන්ද්‍රේ ෂ’ල (69′,79′) ය. බ්‍රසීලය වෙනුවෙන් 90 වැනි මිනිත්තුවේ දී ඔස්කාර් විසින් ගෝලයක් රැස් කරන ලදී.

තරඟයෙන් අනතුරුව රොනාල්ඩෝ විසින් ක්ලෝසට සුභ පැතුම් එක් කරන ලදී. ක්ලෝසද එයට පිළිතුරු ලෙසින් පැවසුවේ “මා මෙතෙක් දුටු පරිපූර්ණම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ” බවයි.

“ක්‍රීඩා ලෝලීන් ප්‍රිය කරන ක්ලෝසගේ පිම්ම” (kicker.de)

2014 පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේ දී 1-0 ක් ලෙසින් ප්‍රබල ආර්ජෙන්ටිනාව පරදා ලෝක පාපන්දු කිරුළ හිමිකරගැනීමට ජර්මනියට හැකිවිය. 2002 වසරේ සිට ක්ලෝස විසින් පාපන්දු ලෝක කුසලාන 4 කට ක්‍රීඩා කල අතර එම ලෝක කුසලාන සියල්ලෙහිම ජර්මනිය ඉතා සාර්ථක වීමට බලපෑ ප්‍රධානම හේතුවක් වූයේ මිරෝස්ලව් ක්ලෝස ගේ විශිෂ්ට දක්ෂතාය. 2014 වසරේ අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර​ පාපන්දුවෙන් සමුගත් ක්ලෝස 2016 වසරේ දී ක්‍රීඩා සමාජ මට්ටමෙන්ද සමුගත්තේය.

“ක්ලෝස සිය බිරිඳ වන සිල්වියා සහ ඔවුන් දෙදෙනාගේ නිවුන් දරුවන් සමඟින්” (Pinterest)

ජර්මානු ජාතික කණ්ඩායම වෙනුවෙන්ද වැඩිම ගෝල වාර්තා කර තිබෙන ක්ලෝස ජර්මනිය වෙනුවෙන් ජාත්‍යන්තර​ තරඟ 137 කදී ගෝල 71 ක් වාර්තා කිරීමට සමත් වී තිබේ. කෙසේනමුත් තවමත් 28 හැවිරිදි ජර්මනියේ තෝමස් මුලර් ද මේ වනවිට ලෝක කුසලාන දෙකකදී ගෝල 10 ක් වාර්තා කර තිබෙන අතර ක්ලෝසගේ වාර්තාව බිඳ හෙලීමට මුලර්ට ද බොහෝ අවස්තා තිබෙන බව ක්‍රීඩා ලෝලීන්ගේ අදහසයි.

Cover – Cover.adelaidenow.com.au

Related Articles