Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 7- අමල් සිල්වා

1983-1988 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අමල් සිල්වා, ආරම්භක පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කළා. එක්දින තරගවලට වඩා ටෙස්ට් තරගවල දී වැඩි දස්කම් දැක්වූ මෙම පිතිකරුවා, සිය ටෙස්ට් දිවිය තුළ ලබාගත් ශතක දෙක ගැන අදටත් ක්‍රිකට් රසිකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා. එසේම, කඩුලු රකින්නෙකු ලෙස ද කැපීපෙනෙන දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා 1985 ඉන්දීය සංචාරයේ දී දැක්වූ දස්කම් අමතක කරන්නට බැහැ. එම නිසාම අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ 7 වැනි ලිපිය තුළින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අමල් සිල්වා නම් ක්‍රීඩකයා පිළිබඳව යි.

අමල් සිල්වාගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 9ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අමල් සිල්වා ඉනිම් 16ක් තුළ ලකුණු 353ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ශතක 2ක් ලබාගත් අමල්, කිසිදු අර්ධ ශතකයක් ලබාගෙන නොතිබීම සුවිශේෂී සිදුවීමක් වනවා. 

මංගල ටෙස්ට් තරගයේ දී අමල් අසාර්ථක වෙයි 

1983 වසරේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ දී අමල් සිල්වා, ටෙස්ට් වරම් දිනාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 23 වැනි ක්‍රීඩකයා ලෙසින්. නමුත්, එම තරගයේ දී දස්කම් අතරට පිවිසීමට අසමත් වුණු අමල් තරගය පුරාවටම ලබාගත්තේ ලකුණු 8ක් පමණ යි. 

අමල් පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

අමල් සිල්වා ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම් 16 අතුරින් කැපී පෙනෙන ඉනිම් දෙක ලෙසින් සටහන් වුණේ ඔහු ලබාගත් ශතක 2 යි. ඒ හැරුණු කොට ඔහුගේ පිත්තෙන් සුවිශේෂී ටෙස්ට් ඉනිම් කිසිවක් වාර්තා වුණේ නැහැ.

ලෝඩ්ස් පිටියේ දී ලබාගත් මංගල ටෙස්ට් ශතකය 

1984 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම වරට ලෝඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගයකට සහභාගි වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 491ක් ලබාගත්තේ සිදත් සහ දුලිප් ලබාගත් ශතක නිසා යි. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඇලන් ලෑම්බ් ලබාගත් ශතකය නිසා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 370ක් ලබාගත්තා. ප්‍රබල එංගලන්ත පිලට වඩා ලකුණු 121ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මනරම් ඉනිමක් ක්‍රීඩා කළ අමල් සිල්වා, නොදැවී ලකුණු 102ක් ලබාගත්තේ සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කරමින්. පන්දු 255ක් තුළ වාර්තා වුණු එම ඉනිම සඳහා හතරේ පහර 12ක් අන්තර්ගත වුණු බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

අමල්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මංගල ටෙස්ට් ජයග්‍රහණයට මග පෙන්වූ අමල්ගේ හොඳම ටෙස්ට් ඉනිම 

1985 ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය කොළඹ පී සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගය ශ්‍රී ලංකාවට අමතක නොවන තරගයක් වුණේ මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට හැකි වුණු නිසා යි. එදා ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වුණු අමල් සිල්වා, අගනා ලකුණු 111ක් ලබාගත්තේ සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්.

අමල් ටෙස්ට් තරගවල දී කඩුලු රැකීමෙන් දැක්වූ දස්කම් 

අමල් සිල්වා සිය ටෙස්ට් දිවිය තුළ දී උඩපන්දු 33ක් සහ ස්ටම්ප් කිරීම් එකක් ලබාගෙන තිබෙනවා. අමල් සිල්වාගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු රැකීමෙන් සුපිරි දස්කම් දැක්වූයේ 1985 ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දී යි. එහි දී අමල්, උඩපන්දු 21ක් සහ ස්ටම්ප් කිරීම් එකක් ලබාගත්තේ තරගාවලි ජයග්‍රහණය සඳහා පිත්තෙන් මෙන්ම කඩුලු රැකීමෙන් ද සහාය වෙමින්. එම තරගාවලිය යටතේ පී සරා ඕවල් පිටියේ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී අමල් උඩපන්දු 9ක් රැකගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම ඔහු ටෙස්ට් තරගයක දී ලබාගත් වැඩිම උඩපන්දු ප්‍රමාණය ලෙසත්, එය වාර්තා අතරට එක් වුණා. ඊට අමතරව ඔහු සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය පළමු ඉනිමේ දී උඩපන්දු 6ක් ලබාගත්තා. එය අදටත් ශ්‍රී ලංකා කඩුලු රකින්නෙකු ටෙස්ට් ඉනිමක රැකගත් වැඩිම උඩපන්දු ප්‍රමාණය ලෙසින් සටහන් වනවා. 

අමල් සිල්වාගේ එක්දින ක්‍රිකට් දිවියේ මතක සටහන් 

එක්දින තරග 20ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අමල්, ඉනිම් 20ක් තුළ ලකුණු 441ක් ලබාගෙන තිබෙනවා. එහි දී අර්ධ ශතක 3ක් වාර්තා කළ මෙම පිතිකරුවා එම ඉනිම් 3ම වාර්තා කරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියානු බිමේ දී යි.

අමල් 1984 වසරේ දී මුල්ම එක්දින තරගයට සහභාගි වුණා 

අමල් සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළේ 1984 වසරේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළත්, අමල්ට එතරම් සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එදා පන්දු 34කින් ලකුණු 21ක් ලබාගත් අමල්, චැට්ෆීල්ඩ්ගේ පන්දුවක් හමුවේ බොක්ට උඩපන්දුවක් ලබා දී දැවීගියා. 

අමල් පිත්තෙන් දස්කම් දැක්වූ එක්දින තරග

අමල් සිල්වා, සිය එක්දින දිවියේ ලබාගත් අර්ධ ශතක තුනම වාර්තා කළේ 1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ දී යි. එදා අමල්, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන ප්‍රබල කණ්ඩායම් හමුවේ එම ඉනිම් දියත් කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

කැංගරුවන්ට එරෙහිව ලබාගත් මංගල එක්දින තරගය 

අමල් සිල්වා එක්දින තරගයක පන්දුවට පහරදෙමින් (gettyimages)

1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අමල්, පන්දු 109කින් ලකුණු 68ක් ලබාගත්තේ හතරේ පහර 7ක් එල්ල කරමින්. 

කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම 

1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ 14 වැනි තරගය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පර්ත් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 310ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණු අවස්ථාවේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අමල්, පන්දු 96කින් ලකුණු 85ක් ලබාගත්තේ සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්.

කැංගරුවන්ට එරෙහිව ලබාගත් ඉවසිලිවන්ත අර්ධ ශතකය 

1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ 15 වැනි තරගයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරග වැදුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 26කට දැවීගිය අවස්ථාවේ පන්දු 86කින් ලකුණු 51ක් ලබාගත් අමල්, සිය කණ්ඩායමට සවියක් වුණා.

කවරයේ ඡායාරූපය- අමල් සිල්වා (gettyimages)

Related Articles