Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැවැන්තයන්ගේ ලොව ජයගත් පුංචි මිනිසා ඩැනියෙල් බ්‍රයන්

රෙස්ලින් රසිකයෙකු වීම ගැන ඔබ ආඩම්බර වෙනවාදැයි රෙස්ලින් රසිකයෙකුගෙන් විමසුවහොත් ඔහු ඔව් යැයි පිළිතුරු දේවි. රෙස්ලින්වල ඔය තරම් බලන්නට තියෙන්නේ මොනවාදැයි විමසුවොත් උදාහරණයක් විදියට බොහෝදෙනෙක් අපූරු කතාවක් කියාවි. ඒ පුංචි මිනිසෙකුගේ කතාවක්. සාර්ථකම ඩබ්.ඩබ්.ඊ. ශූරයෙකුගේ කතාවක්.

මේ පුංචි මිනිසා ඩබ්.ඩබ්.ඊ.හි රෙස්ලින් ශූරයෙක් ලෙස සාර්ථක වෙයි කියා කිසිවෙකු අනුමාන නොකළ කාලයක් තිබුණා. ඩබ්.ඩබ්.ඊ. කියන්නේ දැවැන්තයන්ගේ බිමක්. අන්ඩර්ටේකර්, ද රොක්, ස්ටෝන් කෝල්ඩ්, ජෝන් සීනා, අන්ඩ්‍රේ ද ජයන්ට්, හල්ක් හෝගන් වැනි ඩබ්.ඩබ්.ඊ. ආයතනයේ සාර්ථකත්වය ලැබූ තරු සියල්ලම පාහේ අඩි හයක්, හතක් ඉක්මවූ දැවැන්තයන්. ඩැනියෙල් බ්‍රයන් කියන්නේ අඩි පහයි දහයක පුංචි මිනිසෙක්.

රෙස්ලින් තරඟවල පිටපත් ලියන්නේ ආයතනයේ හිමිකරුවාට වුවමනා විදියට. ප්‍රේක්ෂකයන් කරන්නේ ඒ දෙස බලාසිට තමන් කැමති අයට සහයෝගය දීමත්, අකැමති අයට විරෝධය පළකිරීමත් විතරයි. ඉතින්, ඩබ්.ඩබ්.ඊ. ආයතනයේ හිමිකරු වින්සන්ට් කෙනඩි මික්මෑන් කැමති වුණේ සිරුරෙන් දැවැන්තයන්ව රෙස්ලින් ශූරයන් කිරීමටයි. එහෙත් මික්මෑන්ට එක පුංචි මිනිසෙක් ඉදිරියේ පරාජය බාරගන්නට සිදුවුණා. ඒ පුංචි මිනිසා පසුපස සමස්ථ රෙස්ලින් ප්‍රේක්ෂක ප්‍රජාව සිටගත් නිසා. ඒ මිනිසාගේ නම ඩැනියෙල් බ්‍රයන්. උපන් නාමය බ්‍රයන් ඩැනියෙල්සන්.

අතීතයෙන්

f4wonline.com

බ්‍රයන් ලොයිඩ් ඩැනියෙල්සන් උපත ලබන්නේ 1981 දී ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ ඇබර්ඩීන් නගරයේ. ඔහු වයස අවුරුදු 18 දී උසස් අධ්‍යාපනය අවසන් කොට රෙස්ලින් පුහුණුවට යොමුවෙනවා. මුලින්ම ඩීන් මලෙන්කෝ යටතේ පුහුණුව ලබන ඔහු ෂෝන් මයිකල් ළඟ පුහුණුවට යනවා. ඒ අතර කාලයේදී ඔහු ටෙක්සාස් රෙස්ලින් ඇකඩමි හෙවත් ටී.ඩබ්ලිව්.ඒ. ආයතනයේ රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස පළමු තරඟයට යොමුවෙනවා. ඉන් පසුව රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස රට​ පුරා ගමන් කරන්නට පටන්ගන්නවා. ස්වාධීන රෙස්ලින් ආයතන ලෙස හඳුන්වන පුංචි රෙස්ලින් වේදිකාවල ඔහු ජනප්‍රිය තරුවක් බවට පත්වෙනවා. මේවායේ රෙස්ලින් තරඟ නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය ඉතා අඩුයි. විටෙක සියයටත් අඩුයි. වසර ගණනාවක් පුංචි ආයතනවල තරඟ කරන ඔහු දැඩි රෙස්ලින් රසිකයන්ගේ ගෞරවයට පත් වූ තරුවක් බවට පත්වුණා. ඒ සාර්ථකත්වය නිසාම 2009 දී ඩබ්.ඩබ්.ඊ. ආයතනය බ්‍රයන් ඩැනියෙල්සන්ව බඳවාගන්නවා. ඒ ඩැනියෙල් බ්‍රයන් කියන නමින්.

ඩැනියෙල් බ්‍රයන්ව ඩබ්.ඩබ්.ඊ. ආයතනය පාවිච්චි කරන්නේ දෙවැනි පෙළ තරුවක් ලෙස. ඔහුව දැවැන්ත තරුවක් කරන්නට කිසිම වුවමනාවක් ආයතනයට තිබුණේ නැහැ. ඒ නිසා බ්‍රයන් නිතර තරඟ පරාජය වෙනවා. ඔහුගේ චරිතය දුර්වල ලෙස රචනා කරනවා. එහෙත් ඩැනියෙල් බ්‍රයන්ගේ චරිතය එතරම් දුර්වල ලෙස රචනා කිරීම පිළිබඳ ප්‍රේක්ෂකයන් දැඩි විරෝධය පළකරනවා. ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බ්‍රයන්ට ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය ලැබෙනවා. ඩැනියෙල් බ්‍රයන් පසුපස ප්‍රේක්ෂකයන් සිටගන්නවා.

යස් මූමන්ට්

යස් මූමන්ට් ලෙසින් හඳුන්වන්නේ ඩැනියෙල් බ්‍රයන්ට සහයෝගය ලබාදීමට රෙස්ලින් රසිකයන් එක්වූ සහයෝගීතා ව්‍යාපාරයක්. හුරුපුරුදු භාෂාවෙන් සරලවම කීවොත් ‘රැල්ලක්’. රසිකයන් එය එකතුවී අත් ඉහළ පහළ යවමින් ‘යස් යස් යස්’ යැයි කියමින් සහ ‘ඩැනියෙල් බ්‍රයන්’ යැයි කියමින් තරඟ මධ්‍යයේ ප්‍රේක්ෂකයන් සාමූහිකව ඔල්වරසන් නැඟීම යස් මූමන්ට් ලෙසින් හඳුන්වනවා. මෙය 2013 පමණ කාලයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ රැල්ලක්. එයට ඩබ්.ඩබ්.ඊ. පරිපාලනය ඇහුම්කන් නොදුන් නිසා 2014 වෙද්දී එය උච්චතම අඩියකට පත්වුණා.

wwe.com

ඩැනියෙල් බ්‍රයන්ට ඩබ්.ඩබ්.ඊ. ශූරතාවය ලබාදිය යුතු බව ‘යස් මූමන්ට්’ සමඟ සිටි සමස්ථ ප්‍රේක්ෂකයන්ගේ අදහස වුණා. එහෙත් 2014 ජනවාරි මාසයේ පැමිණී රෝයල් රම්බල් තරඟාවලියේදීද බ්‍රයන්ට ශූරතාවයට ළංවෙන්නට අවස්ථාවක් හිමිවුණේ නැහැ. එදින රාත්‍රියේ ප්‍රධාන තරඟවල ප්‍රධාන මුහුණු ලෙස සිටියේ බැටිස්ටා, ඕටන්, සහ සීනා ඇතුළු ඩබ්.ඩබ්.ඊ. ආයතනය ඊට පෙර දශකයකට වැඩි කාලයක් තිස්සේ නිෂ්පාදනය කළ දැවැන්තම තරු තුන. ඊට අමතරව ඩීන් ඇම්බ්‍රෝස්, සෙත් රෝලින්ස්, රෝමන් රෙන්ස් කියන ආයතනයේ නව තරු තුනද මේ තරඟවල ඉන්නවා.  එහෙත් ප්‍රේක්ෂකයන් ඒ තිදෙනාවම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සහභාගී වූ තරඟ මැද්දේ සියල්ලන් එක්ව ඩැනියෙල්ගේ නම හඬනඟනවා.

සියළුදෙනාටම අවශ්‍ය වුණේ තවත් දැවැන්ත සිරුරක් ඇති මිනිසෙක් ශූරතාවය දිනාගන්නවා දැකීම නෙවෙයි. තමන් වැනිම පුංචි සිරුරක් ඇති සාමාන්‍ය මිනිසෙක් ශූරතාවය ජයග්‍රහණය කරනවා දැකීමයි. ඒ හැර කිසිදු විකල්පයක් ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී සංවිධානය වූ ප්‍රේක්ෂකයන් ඉදිරියේ පරාජය බාරගන්නට ආයතනයට සිද්ධවුණා. ඉතින්, 2014 පැවති තිස්වැනි රෙස්ල්මේනියා උළෙලේදී රැන්ඩි ඕටන් සහ බැටිස්ටා අතර තිබුණු ඩබ්.ඩබ්.ඊ. ශූරතාවය වෙනුවෙන් පැවති තරඟයට ඩැනියෙල් බ්‍රයන්ව පසුව එකතුකරන්නට ඩබ්.ඩබ්.ඊ. ආයතනයට සිදුවුණා. බැටිස්ටා දිනාගන්නට නියමිතව තිබුණු ශුරතාවය බ්‍රයන් ජයග්‍රහණය කරන ආකාරයට පිටපත යළි සැකසෙනවා. බ්‍රයන් ශූරතාවය දිනාගන්නවා.

සමුගැනීම

මෙසේ ශූරතාවය දිනාගත් ඩැනියෙල් බ්‍රයන්ට ටික කලෙකින් ශූරතාවය අත්හරින්නට සිදුවෙනවා. ඔහු තාවකාලිකව වළල්ලෙන් සමුගන්නවා. ඒ ඔහු ආබාධයට ලක්වීම නිසා. එසේ ටික කාලයක් වළල්ලෙන් පිට සිටින ඔහු 2015 දී නැවත පැමිණ මෙතෙක් ඔහු දිනා නොතිබූ ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාවය දිනාගන්නවා. එය සුන්දර නැවත පැමිණීමේ කතාවක්.

wwe.com

එයින් වසරක්වත් ගත වෙන්නට කලින් ඩැනියෙල් බ්‍රයන්ට පිටියෙන් සදාකාලිකවම සමුගන්නට සිදුවෙන බව වෛද්‍යවරුන් කියනවා. ඔහුගේ හිසෙහි බරපතල ආබාධයක් ඇති බව ඩබ්.ඩබ්.ඊ. ආයතනයේ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. ඔහු පිටියෙන් සදාකාලයටම සමුගන්නේ 2016 පෙබරවාරි 06 වැනිදා. ඔහු සමුගත් මොහොත රෙස්ලින් ප්‍රේක්ෂකයන්ගේ දෑස්වලට කඳුළු එක් කළ මොහොතක්. එහෙත් මේ හිසරදය පිටියෙන් ඉවත්වීම ගැන ඩබ්.ඩබ්.ඊ. ආයතනය නම් සතුටුවෙන්නට ඇති.

නැවත පැමිණීම

එසේ සමුගන්නා ඔහු ටික කාලයක් නිහඬව ඉන්නවා. ස්මැක්ඩවුන් වැඩසටහනේ කළමණාකරු ලෙස ඔහුව 2017 දී ආයතනයට ගෙන්වන්නේ ඔහුගේ ජනප්‍රියත්වය මුදල් බවට හැරවිය හැකි නිසා. එහෙත් ඔහු ඒ ජීවිතයට ආදරය කරන්නේ නැහැ. නැවත වළල්ලේ තරඟ කරන්නට ඔහුට ඕනෑ වෙනවා.අමෙරිකාවේ හොඳම වෛද්‍යවරුන්ව සොයායන්නට ඔහු පටන්ගන්නේ ප්‍රතිකාර ලබා නැවතත් වළල්ලට පැමිණෙන්නට. ඔහුගේ ජීවිතයේ වැදගත්ම කොටසක් රෝහල්වල ගෙවන්නට පටන්ගන්නවා. ඔහුට ඒ වෙද්දී ඇති තරම් ධනය තිබුණා. නැවත අවදානමක් රැගෙන ගුටිකන්නට කිසිදු අවශ්‍යතාවයක් ඔහුට තිබුණේ නැහැ. එහෙත් ඔහු තමන්ට හැකි උපරිම උත්සාහය ගත්තේ නැවත වළල්ල තුළ සටන්කරුවෙක් වීම සඳහා. එය ඔහුගේ සිහිනය වුණා. ඒ නිසාම තමන් සතු ධනය ඔහු ප්‍රතිකාර වෙනුවෙන් වැය කළා.

එහෙත් ඩබ්.ඩබ්.ඊ. ආයතනය ඔහුව පිළිනොගන්නා බව සියල්ලන්ගේ මතය වුණා. බ්‍රයන් මෙවර නම් අසාර්ථක වනු ඇති. එහෙත් බ්‍රයන් ඉඟි පළ කළේ ඩබ්.ඩබ්.ඊ. ආයතනය තමන්ව ප්‍රතික්ෂේප කළොත් තමන් නැවත ස්වාධින රෙස්ලින් වේදිකාවලට යන බවයි. ඔහු තමන් රෙස්ලින් වලට සුදුසු බවට ලොවපුරා හොඳම වෛද්‍යවරුන්ගෙන් සහතික ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන්නට පටන්ගත්තා. සියළු ප්‍රේක්ෂකයන්ට බ්‍රයන් නැවත පැමිණීම දකින්නට අවැසි වුණා. බ්‍රයන් වෙනත් සමාගමකට ගියොත් එය ඩබ්.ඩබ්.ඊ. ආයතනයට විශාල පරාජයක් වනු ඇති. එය ඩබ්.ඩබ්.ඊ. සතු ආධිපත්‍යය බිඳදමන්නට තරම් ශක්තිමත් වෙන්නට පවා ඉඩ තියෙනවා. ඒ නිසා අවසානයේදී ඩැනියෙල්ට නැවත තරඟ කිරීමට අවස්ථාව ලබාදෙන්නට ආයතනයට සිදුවුණා.

වසර දෙකක් තිස්සේ තමන්ගේ අවස්ථාව වෙනුවෙන් සටන් කළ ඔහුට 2018 මාර්තුවේදී ඩබ්.ඩබ්.ඊ. රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම් අත්සන් කරන්නට අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දී රෙස්ලින් වේදිකාවේ ජනප්‍රියම මාතෘකාව ඔහුගේ නැවත පැමිණීමයි. අන්ඩර්ටේකර් නැවත පැමිණීම, රොන්ඩා රවුසි රෙස්ලින් වළල්ලට පැමිණිම, බ්රොක් ලෙස්නර් නැවත ආයතනය සමඟ අත්සන් කිරීම, බොබි ලෑෂ්ලි පැමීණිම ඇතුළු සියළු මාතෘකා ඩැනියෙල් බ්‍රයන් මාතෘකාවට වඩා පසුපසට ගොස් තියෙනවා. හැමෝම ඔහු ගැන කතාකරන්නට පටන් අරන්.

සුන්දරම ආදරවන්තිය

සෑම සාර්ථක මිනිසෙක්ම පසුපස සාර්ථක කාන්තාවක් සිටින බව කියනවා. ඩැනියෙල් බ්‍රයන්ගේ ආදර කතාවද ඔහු පිළිබඳ අනෙක් සියළු දේ මෙන්ම සුන්දරයි.

ඩබ්.ඩබ්.ඊ. ආයතනයේ රෙස්ලින් තරු ලෙස සිටි, දැනටත් ඩබ්.ඩබ්.ඊ. ආයතනය වෙනුවෙන් ගිවිසුම්ගතව සිටින නිවුන් සොයුරියන් දෙදෙනෙක් තමයි බෙලා සොයුරියන් දෙපල. එක් සොයුරියක් ජෝන් සීනාගේ හිටපු පෙම්වතිය නිකී බෙලා. අනෙක් සොයුරිය ඩැනියෙල් බ්‍රයන්ගේ බිරිඳ බ්‍රී බෙලා.

ඔහු ඇයට ආදරය කරන තරම වැටහෙන්නේ 2018 මාර්තුවේදී ඩැනියෙල් බ්‍රයන් නැවත පැමිණි මොහොතේ ඔහු ස්මැක්ඩවුන් වැඩසටහනේදී කළ කතාව දකින මොහොතේදීයි. ඇය ගැන කතාකරන්නට පටන්ගනිද්දී ඔහුගේ කටහඬ හැඟීම්බරව වෙව්ලන්නට පටන්ගන්නවා. ඔහුගේ දෑසින් කඳුළු නැගෙනවා. තමන් පිටියෙන් සමුගත් පසුව නැවත පිටියට එන ලෙස ඇය ඔහුව දිරිමත් කළ හැටි ඔහු කියනවා.

‘’මම සමුගත්තාට පස්සෙ උත්සාහ කළේ හැකිතරම් ස්තූතිවන්ත වෙන්න. මම ස්තූතිවන්ත වෙන්න දේවල් ගොඩක් තිබුණා. මට හොඳම රසිකයන් හිටියා. හොඳම පවුලක් ලැබුණා. හොඳම ජීවිතයක් ලැබුණා. හොඳම බිරිඳක් ලැබුණා. එහෙත් ඇය මට කිව්වා ‘ඔයා ස්තූතිවන්ත වෙලා මදි. ඔයා සටන්කරන්න ඕනෙ. ඔයා ඔයාගෙ හීන වෙනුවෙන් සටන් කරන්න ඕනෙ.’ කියලා.’’

‘’ඔයා හීන වෙනුවෙන් සටන්කරන්න ඕනෙ. මොකද ඔයා හීන වෙනුවෙන් සටන් කරන්න ගත්තොත් ඔයාගේ හීන ඔයා වෙනුවෙන් සටන් කරන්න පටන්ගන්නවා.’’ බ්‍රී බෙලා තමන්ට කී වටිනා කතාව ඩැනියෙල් බ්‍රයන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ කී මොහොත ඉතාම සංවේදී්‍යි.

ඩබ්.ඩබ්.ඊ. ආයතනය වෙනදාට ප්‍රේක්ෂකයන්ව මෙහෙයවූවා. එහෙත් බ්‍රයන් පැමිණ ප්‍රේක්ෂකයන් සමඟ එක්ව ආයතනයත් එහි හිමිකරුවන්වත් මෙහෙයවූවා. ඔහුගේ කතාව සැබෑ ආදර්ශ කතාවක්. රෙස්ලින් ප්‍රතික්ෂේප කරන්නෙකුට ඔහුගේ කතාව ගැන සොයාබැලීම වටිනවා.

Cover – usatoday.com

Related Articles