Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ලෝක කුසලාන ගමන් මඟ වෙනස් කිරීමට හැකි නවකයන් 7ක්!

8 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පසුගිය 16 වැනි දා ආරම්භ වුණා. තවමත් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ක්‍රියාත්මක යි. එම වටයෙන් අනතුරු ව නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් සුපිරි 12 වටය එළඹෙන 22 වැනිදා ආරම්භ වනවා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ටරයක්
මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ටරයක් – www.icccricket.com

මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වන ක්‍රීඩකයන් අතරින් වඩාත් ම සාර්ථක විය හැකි ක්‍රීඩකයන් රැසක් පිළිබඳ බොහෝ විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් තම අනාවැකි පළ කර සිටියා. මේ අතරට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් මෙන් ම නවක ක්‍රීඩකයන් ද අයත්. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පෙරළිකාරයන් වන බවට බොහෝ දෙනා විශ්වාස නොකළත් එවැනි හැකියාවක් සහිත නවක ක්‍රීඩකයන් 7 දෙනෙක් ගැනයි මෙම ලිපිය.

1. දිල්ශාන් මධුසංඛ (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ඉඩෝරයට මෑත කාලීන ව වැටුණ මල් වැස්ස දිල්ශාන් බව පැවසීම අතිශයොක්තියක් නොවේ. ඔහු ශ්‍රී ලංකාවේ පසුගිය දා පැවති ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දැක්වූ දක්ෂතාවන්ගෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වුණා. ඉන් අනතුරු ව පැවති ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට දිල්ශාන් දැක්වූ සහයෝගය මුළු මහත් ක්‍රිකට් ලෝකය ම ඇගයීමට ලක් කළා.

දිල්ශාන් මධුසංඛ පසුගිය ආසියානු කුසලානයේදී විරාට් කෝලිගේ කඩුල්ල ලබාගත් අවස්ථාව
දිල්ශාන් මධුසංඛ පසුගිය ආසියානු කුසලානයේදී විරාට් කෝලිගේ කඩුල්ල ලබා ගත් අවස්ථාව – www.espncricinfo.com

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ඇරඹීමට පෙර තවමත් විස්සයි විස්ස තරග 6ක් පමණක් ක්‍රීඩා කොට ඇති 22 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා එම තරග 6 දී කඩුලු 6ක් දවා ගෙන තිබෙනවා. ඔහුගේ ඉනිමක හොඳ ම පන්දු යැවීම වන්නේ ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙළීම යි. දිල්ශාන් මධුසංඛ ක්‍රීඩා කළ තරග 6ක දී පන්දු වාරයකට ලබා දුන් සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 7.8 ක අගයක් ගන්නවා.

ඕස්ට්‍රේලියාවේ පවතින වේග පන්දු යවන්නන්ට හිතකර තණ තීරුවල පන්දු යැවීමේ දී ඔහුගේ වමත් වේග පන්දුවට විශාල බලපෑමක් කිරීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ම දිල්ශාන් දකුණත් පිතිකරුවන්ගේ කඩුල්ල තුළට දෝලනය වන පන්දු යොමු කිරීමෙන් සාර්ථක වූ ආකාරය පසුගිය ආසියා කුසලානයේ දී දකින්නට ලැබුණා. ඔහුගේ සාර්ථක වීම මත මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට ගමන් කළ හැකි දුර වැඩි වීමේ සම්භාවිතාව ද ඉහළ යි.

2. නසීම් ෂා (පාකිස්තානය)

අතීතයේ සිට පාකිස්තානයෙන් බිහිවන අධිවේගී පන්දු යවන්නන් අතරට තම නම එක් කළ නවත ම ක්‍රීඩකයා වන්නේ නසීම් ෂා යි. පසුගිය ආසියා කුසලාන තරගාවලියේ දී මෙන් ම නිමාවූ පාකිස්තානය, නවසීලන්තය සහ බංග්ලාදේශය සහභාගී වූ තුන්කොන් තරගාවලියේ දී ද නසීම් ෂා තමන්ගේ වැදගත්කම පෙන්වා දුන්නා.

නසීම් ෂා (වමේ) පසුගිය ආසියානු කුසලානයේදී විශිෂ්ට දස්කම් දැක්වූවා
නසීම් ෂා (වමේ) පසුගිය ආසියා කුසලානයේදී විශිෂ්ට දස්කම් දැක්වූවා – www.espncricinfo.com

තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඔහු පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කොට තිබෙන විස්සයි විස්ස තරග සංඛ්‍යාව 9ක්. මෙම තරග 9 තුළ කඩුලු 11ක් දවා ගැනීමට ඔහු සමත් ව තිබෙනවා. පසුගිය ආසියා කුසලානයේ දී තරග 5ක් ක්‍රීඩා කරමින් කඩුලු 7ක් දවා ගෙන ඔහු සුපිරි දස්කම් දැක්වූවා. විශේෂයෙන් ම නසීම් ෂා ගේ දස්කම් පාකිස්තානයට අවසන් මහා තරගයට පිවිසීමට හේතුවක් ද වුණා.

දකුණතින් වේග පන්දු යැවීමේ නිරත වන නසීම් ෂා නව පන්දුවෙන් හොඳින් පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙක්. මේ නිසා ඕස්ට්‍රේලියාවේ ඇති වේගවත් තණතීරු මත ශහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා දෙපළගේ වමත් දකුණත් සුසංයෝගය පාකිස්තානයට දැඩි වාසි සහගත අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවට බලාපොරොත්තු විය හැකි යි. පවර්ප්ලේ අවස්ථාවේ දී පන්දු යවමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට හැකි වීම ද නසීම් ෂා සතු තවත් දක්ෂතාවක්. මෙම දක්ෂතා සියල්ල මෙවර ලෝක කුසලානයේ දී පාකිස්තානයට ඉතා වැදගත් වනු ඇති.

3. මයිකල් බ්‍රාස්වෙල් (නවසීලන්තය)

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන හෙයින් බොහෝ දුරට දඟ පන්දු යවන්නන්ට විශාල අවස්ථාවක් හිමි වන්නේ නෑ. නමුත් මෑත කාලීනව නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මයිකල් බ්‍රාස්වෙල් වේගවත් තණතීරුවල දක්වන දක්ෂතා නිසා ඔහුට යම් වෙනසක් කළ හැකි බවට බලාපොරොත්තු විය හැකි යි.

මයිකල් බ්‍රාස්වෙල් අවසන් වූ තුන්කොන් තරඟාවලියේ වීරයා බවට පත් වුණා
මයිකල් බ්‍රාස්වෙල් නිමා වූ කොදෙව් තරගාවලියේ ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 13ක් පමණක් තවමත්  ක්‍රීඩා කොට ඇති බ්‍රාස්වෙල් එහි දී කඩුලු 17ක් ලබා ගෙන තිබෙනවා. මීට අමතර ව ඔහු සාමාන්‍ය 30ක් සහ ප්‍රහාරක වේගය 183.67 ක තරම් විශාල අගයක් රඳවාගෙන පිත්තෙන් ද දස්කම් දක්වන ක්‍රීඩකයෙක්. තමන්ගේ පන්දුවාර 4 තුළ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් පන්දු යැවීම කෙරෙහි ඔහු මේ දිනවල ජාත්‍යන්තර පිටියේ නමක් දිනා ගෙන තිබෙනවා.

එයට හොඳ ම උදාහරණය වන්නේ අවසන් වූ නවසීලන්ත, පාකිස්තාන සහ බංග්ලාදේශ තුන් කොන් තරගාවලිය යි. මෙම තරගාවලියේ දී පන්දු යැවීමෙන් තරග 5 ක දී ඔහු බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 8ක්. එහි දී එම තරග 5 ඔහුගේ පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය 4.94 ක වැනි සුපිරි අගයක පැවතුණා. ඔහුගේ කඩුල්ලක සාමාන්‍ යද ලකුණු 10.5 ක අගයක් ගත්තා. මේ දස්කම් නිසා ලෝක කුසලානයට ප්‍රථම ව නවසීලන්තය සහභාගී වූ අවසන් විස්සයි විස්ස තරගාවලියේ වීරයා වශයෙන් ද මයිකල් බ්‍රාස්වෙල් නම් වුණා.

4. ටිම් ඩේවිඩ් (ඕස්ට්‍රේලියාව)

ඕස්ට්‍රේලියාව නියෝජනය කරනා 26 හැවිරිදි ටිම් ඩේවිඩ් වැඩි වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් නොමැති වූවත් ලීග් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් බවට හඳුන්වන්නට පුළුවන්. ඔහු මීට ප්‍රථම ව සිංගප්පූරුව නියෝජනය කොට ඉන් අනතුරු ව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණීම ද සුවිශේෂී කාරණයක්.

ටිම් ඩේවිඩ් නිමාවට පත් වූ ඕස්ට්‍රේලියා කොදෙව් තරඟාවලියේ ක්‍රීඩා කරමින්
ටිම් ඩේවිඩ් නිමාවට පත් වූ ඕස්ට්‍රේලියා කොදෙව් තරගාවලියේ ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

මේ වන විට විස්සයි විස්ස පිටියේ තරග 19ක් ක්‍රීඩා කොට ලකුණු 585 ක් රැස් කිරීමට ටිම් ඩේවිඩ් සමත් ව සිටිනවා. ජාත්‍යන්තර පිටියේ ඔහුගේ ප්‍රහාරක වේගය ද 159.84 ක ඉහළ අගයක් ගැනීම ද සඳහන් කළ යුතු ම කරුණක්. සාමාන්‍යයෙන් වෙනත් ක්‍රීඩකයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල මෙන් ම ඔහුට හිමි දිගු අතපය විහිදා ක්‍රීඩා කිරීමට හැකි වීම නිසා තරමක් ඈතින් වැටෙන පන්දු වලට ද ටිම් ඩේවිඩ් මැනවින් පහර දෙන ආකාරය දකින්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලැබීමෙන් අනතුරු ව ඉන්දියාවට එරෙහි ව පන්දු 27 ක දී පසුගියදා රැස් කළ ලකුණු 54 සහ එංගලන්තයට එරෙහි ව පන්දු 23 කින් රැස් කළ ලකුණු 40ක ඉනිම් ද්විත්වය තුළ තමන්ට කළ හැකි දේ පිළිබඳ ව ටිම් ඩේවිඩ් යම්කිසි ඉඟියක් පළ කොට සිටියා. මේ නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා මැද පෙළ වෙනුවෙන් ටිම් ඩේවිඩ් ගෙන් ලැබෙන සහාය පිළිබඳ ව බොහෝ දෙනා අවධානයෙන් පසු වනවා.

5. හැරී බෲක් (එංගලන්තය)

ඔයින් මෝගන් ගේ නික්ම යාමෙන් අනතුරු ව එංගලන්ත මැද පෙළ වෙනුවෙන් ලැබුණ අලුත් ම ත්‍යාගය වන්නේ හැරී බෲක් බවට එරට ප්‍රේක්ෂකයන් විශ්වාස කරනවා. මෑතකාලීන ව බෲක් ක්‍රීඩා කළ ඉනිම් එයට ප්‍රධාන හේතුව වූ බව සඳහන් කළ හැකි යි.

තරඟ 7 කින් සමන්විත වූ විස්සයි විස්ස තරඟාවලියේ වීරයා බවට පත්වුණ හැරී බෲක්
තරඟ 7 කින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලියේ වීරයා බවට පත්වුණ හැරී බෲක්- www.espncricinfo.com

තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 14 ක ඉනිම් 12ක් තුළ ලබා ගෙන සිටිනා ලකුණු සංඛ්‍යාව 316ක්. ඉනිමක සාමාන්‍ය 35.11 ක් හා ප්‍රහාරක වේගය 149.06 ක අගයක රඳවා ගැනීමටත් ඔහු සමත් ව තිබෙනවා. අර්ධ ශතක 1ක් හිමි ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ හොඳ ම ඉනිම වන්නේ ලකුණු 81ක්.

පසුගියදා නිමාව දුටු තරග 7 කින් සමන්විත වූ පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ ඉනිම 6ක් තුළ ඉනිමක පිතිකරණ සාමාන්‍ය 79.33 ක අගයක් රඳවා ගෙන හැරී බෲක් ලකුණු 238ක් වාර්තා කළා. ඔහුගේ මෙම සාර්ථකත්වය නිසා ම එංගලන්තය තරගාවලිය 4-3 ක් ලෙස ජයග්‍රහණය කිරීමටද සමත් වුණා.  මේ තරගාවලියේ වීරයා බවට හැරී බෲක් නම් කිරීමට ද කටයුතු කළා. මේ නිසා එළඹෙන ලෝක කුසලානයේ දී හැරී බෲක් මත එංගලන්තය විශාල බලාපොරොත්තු ගොන්නක් තබාගෙන සිටිනවා.

6. ට්‍රිස්ටන් ස්ටබ්ස් (දකුණු අප්‍රිකාව)

තවමත් 22 හැවිරිදි වියේ පසු වන දකුණු අප්‍රිකානු ජාතික ට්‍රිස්ටන් ස්ටබ්ස් යනු එරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලත ම අනාගත බලාපොරොත්තුවක්. පෙර සඳහන් කළ ටිම් ඩේවිඩ් මෙන් ම මොහු ද දිගු අතපය විහිදා ක්‍රීඩා කිරීමට හැකි ක්‍රීඩකයෙක්. මේ නිසා ට්‍රිස්ටන් ස්ටබ්ස්ට පන්දු යැවීමේ දී පන්දු යවන්නාට අතිරේක පීඩනයක් සෑම විටක ම එල්ල වනවා.

නවතම දකුණු අප්‍රිකානු බලාපොරොත්තුව බවට පත්ව සිටින ස්ටබ්ස්
නවතම දකුණු අප්‍රිකානු බලාපොරොත්තුව බවට පත්ව සිටින ස්ටබ්ස් – www.espncricinfo.com

තමන්ගේ හැකියාව පිළිබඳ ව මුලින් ම ලොවට පෙන්වූ ස්ටබ්ස් පසුගිය දා නිමාව දුටු එංගලන්ත සංචාරයේ දී දස්කම් අතරට පිවිසියා. කෙසේ වුවත් මීට ප්‍රථමයෙන් 19 න් පහළ ලෝක කුසලානයේ දී දැක්වූ දක්ෂතා නිසා ඔහු IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක් කර ගැනීමට කටයුතු යෙදුණා. ඔහු එතැන් පටන් ම විස්සයි විස්ස පිටියේ සුවිශේෂී තරුවක් වීමට හැකි ක්‍රීඩකයෙක් යන නමින් හැඳින්වුණා.

මේ වන විට ජාත්‍යන්තර පිටියේ විස්සයි විස්ස තරග 9 ක ඉනිම 6ක් ක්‍රීඩා කොට තිබෙන ස්ටබ්ස් එහි දී ලකුණු 142ක් වාර්තා කොට තිබෙනවා. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 28.4 ක අගයක් මෙන් ම අතිශය ඉහළ ප්‍රහාරක වේගයක් සටහන් කර තිබෙන ස්ටබ්ස් ගේ එම වාර්තාව වන්නේ 191.89ක්. මෙම දත්ත මෙන් ම ඔහුට කළ හැකි දෑ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඩේවිඩ් මිලර් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ගේ සාර්ථකත්වය යනු දකුණු අප්‍රිකාවට බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි අවස්ථාවක් වනවා.

7. අර්ශදීප් සිං (ඉන්දියාව)

ආසියානු කුසලාන තරගාවලියේ දී බොහොමයක් ඉන්දියානුවන්ගේ දෝෂාරෝපණය ලක් වූ ක්‍රීඩකයෙක් වුවත් ඔහු අවසන් පන්දුවාර (Death Overs) තුළ පන්දු යැවීමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ක්‍රීඩකයෙක්. විශේෂයෙන් ම ආසියානු කුසලානයේ දී ඉන්දියාව පරාජයට පත් වූ පාකිස්තාන සහ ශ්‍රී ලංකා තරග ද්විත්වයේ දී ම අර්ශදීප් අඩු ලකුණු සංඛ්‍යාවක් වෙනුවෙන් අවසන් පන්දු වාරයේ දී හොඳ සටනක් ලබා දීමට ඔහු සමත් වුණා.

අර්ෂදීප් සිං පිට මෙවර ලෝක කුසලානයේදී විශාල වගකීමක් පැටවී තිබෙනවා
අර්ශදීප් සිං පිට මෙවර ලෝක කුසලානයේ දී විශාල වගකීමක් පැටවී තිබෙනවා – www.espncricinfo.com

තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඔහු IPL තරගාවලියේ දී මෙන් ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද අවස්ථා කිහිපයක දී ම තමන්ගේ වටිනාකම පෙන්වූවා. තවමත් විස්සයි විස්ස පිටියේ තරග 13ක් පමණක් ක්‍රීඩා කොට තිබෙන අර්ශදීප් එහි දී ලබා ගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 19ක්. ලකුණු 12 කට කඩුලු 3ක් දවා ගැනීම ඔහුගේ හොඳ ම පන්දු යැවීම යි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යැවීමේ අංශයේ සිටිනා වඩාත් වැදගත් ම සාධකය වන ජැස්ප්‍රිට් බුම්රා සහභාගී වන්නේ නෑ. ඒ ආබාධ තත්ත්වයක් නිසා යි. මේ හේතුවෙන් අවසන් පන්දුවාරවල පන්දු යැවීමේ දී ඉන්දීය පන්දු යවන්නන් අනිවාර්යයෙන් ම අතිරේක පීඩනයකට ගොදුරු වනවා. මේ වන විටත් ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නන් අතරින් අවසන් පන්දුවාරවල පන්දු යැවීමට වැඩි වගකීමක් නවක අර්ශදීප් සිං මත පැටවෙන බව ප්‍රකාශ කිරීම නිවැරැදි යි.

කවරයේ ඡායාරූපය - වමේ සිට හැරී බෲක්, දිල්ශාන් මධුසංඛ හා අර්ෂදීප් සිං - www.espncricinfo.com
මූලාශ්‍ර :

www.espncricinfo.com

www.wisdencricket.com

www.icccricket.com

Related Articles