Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1996 ලෝක කුසලාන තරගාවලියේ අරවින්දගේ සුපිරි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය ජයග්‍රහණය ලෙස තවමත් අපගේ ක්‍රිකට් රසිකයන් මෙනෙහි කරන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය යි. එදා ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබල කණ්ඩායම් අභිබවා යමින් කිසිවෙකු නොසිතූ ලෙස ලබාගත් එම ජයග්‍රහණයේ මිහිරි සුවය අදටත් අප ක්‍රිකට් රසිකයන් අත්විඳියි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එම ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වුණු ක්‍රීඩකයන් අතුරින් අරවින්ද ද සිල්වාට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ තරගාවලිය පුරාවටම ඔහුගේ පිත්ත ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටුණු අවස්ථාවල දී පිහිටට පැමිණි නිසා යි. එම නිසා ම මෙම ලිපිය වෙන් වන්නේ අරවින්ද 1996 ලෝක කුසලාන තරගාවලියේ දී පෙන්වූ සුපිරි දස්කම් පිළිබඳව විමසා බැලීමට යි.

ශ්‍රී ලංකාව 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් අවස්ථාව (gettyimages)

මූලික වටයේ තරගවල දී අරවින්දගෙන් ඉහළ දස්කම්.

ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ තරගවල දී ඕස්ට්‍රේලියාව ,ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, සහ කෙන්යාව යන කණ්ඩායම්වලට එරෙහිව තරග වැදීමට සිදුවූවත් ඕස්ට්‍රේලියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතිකේෂ්ප කිරීම නිසා එම තරගවල නිතරග ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අරවින්දගෙන් අගනා ඉනිමක්.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඇලිස්ටයාර් කැම්බල් ලබාගත් අගනා ලකුණු 75 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගැනීමට ඔවුන්ට හැකි වුණා. අනතුරුව ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වුණු ජයසූරිය සහ කලුවිතාරණ ලකුණු 23ක් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට හීත් ස්ට්‍රීක් සමත් වුණු  නිසා ශ්‍රී ලංකා පිල වටා යම් පීඩනයක් ගොඩනැගුණා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අරවින්ද සහ ගුරුසිංහ ලකුණු 172ක අගනා සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට යොමු කළා. එහි දී හයේ පහර 6ක් සමගින් ගුරුසිංහ ලකුණු 87ක් ලබාගන්නා විට අරවින්ද හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 86ක දී ලකුණු 91ක් ලබාගත්තේ, එම අවධිය වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන ඉනිමක වාර්තා වී තිබුණු ඉහළම ලකුණු සංඛ්‍යාව වුණු, 1987 තරගාවලියේ දී රොෂාන් මහනාම පකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 89ක වාර්තාව අභිබවා යමින්. අරවින්දගේ එම සුපිරි ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානය ඔහු හිමි කරගත්තේ ලෝක කුසලාන තරගයක ඔහු එම සම්මානය දිනාගත් මුල්ම අවස්ථාව ලෙසින්.

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (ESPNcricinfo)

ඉන්දීය තරගයේ දී අරවින්ද අසාර්ථක වෙයි.

දිල්ලි නුවර ෆෙරෝසා කොට්ලා පිටියේ දී පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 271ක් ලබාගත්තේ ටෙන්ඩුල්කාර් ලබාගත් අගනා ලකුණු 137 නිසා යි. එදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 129ක් ලබා සිටි අවස්ථාවේ පිටියට පිවිසි අරවින්ද පන්දු 14ක දී ලකුණු 8ක් ලබා සිටිය දී කුම්බ්ලේගේ පන්දුවක් හමුවේ දැවී ගියා. එහි දී අරවින්ද අසාර්ථක වුවත් අර්ජුන සහ හෂාන් එක්ව නොබිඳුණු ලකුණු 131ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ, ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ බිමේ දී ම අසරණ කරමින්.

කෙන්යානු කණ්ඩායමට එරෙහිව අරවින්දගෙන් වාර්තාගත ඉනිමක්.

කෙන්යානු කණ්ඩායමට එරෙහිව මහනුවර අස්ගිරිය පිටියේ දී පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 398ක් ලබාගත්තේ, එම අවධිය වන විට එක්දින තරගයක කණ්ඩායමක් රැස් කළ  වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන්ව තිබුණු එංගලන්ත කණ්ඩායමේ 363/7 වාර්තාව අලුත් කරමින්. ඊට අමතරව ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් බටහිර ඉන්දීය කොදෙව්වන් 1987 තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් 360/4 වාර්තාව ද අලුත් කළේ එදා සිදු වූ විශාල අවමානය මකා ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි විශාල ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යාමට විශාල දායකත්වයක් ලබා දුන් අරවින්ද, හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමගින්  පන්දු 115ක් තුළ ලකුණු 145ක් ලබාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගයක ශතකයක් ලැබූ මුල්ම පිතිකරුවා බවට පත්වෙමින්. එම වාර්තාවට අමතරව එදා අරවින්ද එම අවධිය වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම එක්දින ඉනිම ලෙසින් වාර්තා වී තිබුණු ජයසූරියගේ ලකුණු 140ක වාර්තාව ද බිඳ දැමුවා.

අර්ධ අවසන් පූර්ව තරගයේ දීත් අරවින්ද සිය යුතුකම ඉටු කරයි.

ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඔවුන්ට ලබාගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 235ක් පමණයි. ඉන්පසුව, ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සනත් පන්දු 44 ක දී ලබාගත් ලකුණු 82 නිසා අරවින්ද පිටියට පිවිසෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී අරවින්ද ඉතාමත් හොඳින් පන්දුවට පහරදෙමින් පන්දු 30ක දී ලකුණු 31ක් ලබාගත්තේ සිය වගකීම මනාව ඉටුකරමින්.

අවසන් පූර්ව තරගයේ දී අරවින්ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අභීත ඉනිමක් ක්‍රීඩා කරයි.

ඉන්දියානුවන්ට එරෙහිව කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී පැවති අවසන් පූර්ව තරගයේ දී අරවින්ද පිටියට පිවිසෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 1කට කඩුලු 2ක් දැවී ඉතාමත් අසීරු අඩියක පසුවුණා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම වටා ගොඩනැගී තිබුණු එම පීඩනය තඹ දොයිතුවකට මායිම් නොකළ අරවින්ද හතරේ පහර 14ක් සමගින් පන්දු 47ක දී; ලබාගත් ලකුණු 66 ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවාගත් අභීත ඉනිමක් විය. එදා අරවින්ද එලෙස ක්‍රියාත්මක නොවුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය පවා සිහිනයක් වන්නට ඉඩ තිබුණා.

අරවින්දගේ අභීත ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අරවින්ද තුන් ඉරියව් දස්කම් දැක්වූ  ලෝක කුසලාන අවසන් තරගය.

ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවති විල්ස් ලෝක කුසලාන අවසන් තරගය අරවින්දගේම තරගයක් බවට පත් වූයේ ඔහු තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා යි. එහි දී තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගන්නා විට ලකුණු 42කට කඩුලු 3ක් දවාගත් අරවින්ද විසින් ටේලර්, පොන්ටිං, සහ හීලි යන පිතිකරුවන්ගේ කඩුලු දවාගත්තා.

අරවින්දගේ පන්දුවක් හමුවේ පොන්ටිං දැවී ගිය අවස්ථාව (gettyimages)

ඉන්පසුව, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක් හඹා ගිය අවස්ථාවේ පළමු කඩුලු 2ම ලකුණු 23කට දැවී ගිය අතර, අරවින්ද එවිට පිටියට පිවිස ගුරුසිංහ සමග අගනා ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට යොමු කරමින්. නමුත්, අනතුරුව ගුරුසිංහ ලකුණු 65කට දැවී ගියත් තම වගකීම මැනවින් ඉටුකළ අරවින්ද පන්දු 124ක දී හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 107ක් ලබාගත්තේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානය උරුමකර දෙමින්

අරවින්ද සහ ගුරුසිංහ පන්දුවට පහරදෙමින් (gettyimages)

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණේ අරවින්දයි.

තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 6න් 4ක දී ම තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අරවින්ද එහි දී අවසන් පූර්ව සහ අවසන් යන තරග දෙකේ දී ම තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තේ 1983 තරගාවලියේ දී  ඉන්දීය ක්‍රීඩක මොහින්දර් අමරනාත් එම දස්කම කිරීමෙන් අනතුරුව යි. එදා ඔහු ක්‍රීඩා කළ තරග 6 තුළ දී ලකුණු 448ක් ලබාගත් අරවින්දගේ පිතිකරණ දත්ත පහත දැක්වේ.

අරවින්ද අවසන් තරගයේ දී තරගයේ වීරයා සම්මානය දිනාගත් අවස්ථාව (Sportstar 23rd of March 1996)

ඉනිම්- 6

ලකුණු- 448

පිතිකරණ සාමාන්‍ය- 89.60

ප්‍රහාරාත්මක වේගය- 107.69

අර්ධ ශතක- 2

ශතක- 2

හොඳම ඉනිම- 145 කෙන්යානු කණ්ඩායමට එරෙහිව

කවරයේ ඡායාරූපය- අරවින්ද අවසන් තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles