Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි ප්‍රහාරකයින්ගෙන් සමන්විත ආර්ජෙන්ටිනාව

ජූනි මස 14 වැනිදා ආරම්භ වන මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ඉතාමත් උණුසුම් තරඟාවලියක් වනු ඇති බවට සැකයක් නැත. මෙවර පාපන්දු කිරුළ හිමිකරගැනීමට ලොව සිව් දෙසින් ඉතා ප්‍රබල කණ්ඩායම් රුසියාවට එක්රොක් වනු ඇත. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ප්‍රබල කණ්ඩායම් පිළිබඳව ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් ඔබ වෙත ගෙන එන අතර මේ එහි 5 වැනි ලිපියයි. මීට පෙර බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ජර්මනිය පිළිබඳව ලිපි ඉදිරිපත් කළෙමු. අද අපි විමසා බලන්නේ මෙවර ලෝක කුසලානයට සහභාගී වන ලියොනල් මෙස්සි ප්‍රමුඛ ආර්ජෙන්ටිනා කණ්ඩායම පිළිබඳවයි.

අතීතය

“සුපිරි ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා 1986 ලෝක කුසලානය අතැතිව” (iffhs.com)

මෙවර කණ්ඩායම පිළිබඳ විමසීමට ප්‍රථම මීට පෙර පැවති ලෝක කුසලාන වලදී ආර්ජෙන්ටිනාව දැක්වූ දක්ෂතා කෙටියෙන් විමසා සිටිමු.

ආර්ජෙන්ටිනාව ප්‍රථම වරට පාපන්දු තරඟයකට (නිල නොවන තරඟයක්) ක්‍රීඩා කර තිබෙන්නේ 1901 වසරේදී ය. ඒ උරුගුවේ දේශයට එරෙහිවයි. එම තරඟයෙන් 3-2 ක් ලෙසින් ජය ලබා තිබෙන්නේ ආර්ජෙන්ටිනාවයි.

ආර්ජෙන්ටිනා පාපන්දු සංගමය හැඳින්වෙන්නේ Argentine Football Association (AFA) නමිනි.

1978 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරා තිබෙන්නේ ආර්ජෙන්ටිනාවයි.

මේ දක්වා පවත්වා තිබෙන ලෝක කුසලාන 20 අතුරින් 16 ට සුදුසුකම් ලැබීමට ආර්ජෙන්ටිනාවට හැකිවී තිබෙනවා.

1978 සහ 1986 වර්ෂ වලදී පාපන්දු ලෝක ශූරයින් වීමට ආර්ජෙන්ටිනාව සමත්වී තිබෙනවා.

එයට අමතරව 1930, 1990 සහ 2014 වර්ෂ වලදී ලෝක අනුශූරයින් බවට පත්වීමට ද ආර්ජෙන්ටිනාවට හැකිවී තිබෙනවා.

ආර්ජෙන්ටිනාව මේ දක්වා ලෝක කුසලාන තරඟ 77 ට සහභාගී වී ඇති අතර ඉන් 42 ක ජය වාර්තා කිරීමට සමත්වී තිබෙනවා. එම තරඟ 77 දී ගෝල 131 ක් වාර්තා කිරීමට ද ආර්ජෙන්ටිනාවට හැකිවී තිබෙනවා.

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව (Golden Ball) හිමිකරගැනීමට ආර්ජෙන්ටිනාවේ ක්‍රීඩකයින් තිදෙනෙක් සමත්වී තිබෙනවා. ඒ 1978 වසරේ මාරියෝ කෙම්පෙස්, 1986 වසරේ ඩියේගෝ මැරඩෝනා සහ 2014 වසරේ ලියොනල් මෙස්සි ය.

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ගෝල ලාභියාට පිරිනමන රන් පාවහන හිමිකරගැනීමට ද ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් දෙදෙනෙකුට හැකිවී තිබෙනවා. ඔවුන් දෙදෙනා වන්නේ 1930 දී ගුලෙර්මෝ ස්ටැබිල් සහ 1978 වසරේ මාරියෝ කෙම්පෙස් ය.

ආර්ජෙන්ටිනාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන්නේ ඩියේගෝ මැරඩෝනා ය. මැරඩෝනා ලෝක කුසලාන තරඟ 21 දී ආර්ජෙන්ටිනාව නියෝජනය කර තිබේ.

ආර්ජෙන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා වන්නේ ගේබ්‍රියෙල් බැටිස්ටුටාය. ඔහු විසින් ලෝක කුසලාන ගෝල 10 ක් රැස් කර තිබේ.

සුදුසුකම් ලබාගත් ආකාරය

“මවුරෝ ඉකාර්දී” (citinewsroom.com)

ආර්ජෙන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගත්තේ අනෙකුත් සුපිරි මට්ටමේ රටවල් මෙන් පහසුවෙන් නොවේ. මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නම් සුදුසුකම් ලැබීමේ වටයේ ආර්ජෙන්ටිනාව මුහුණදුන් අවසාන තරඟය ජයගැනීම ආර්ජෙන්ටිනාවට අවශ්‍ය වී තිබුණි. එම තරඟය පැවැත්වුනේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා ඉක්වදෝරයට එරෙහිවයි. තරඟයේ 7 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා තරඟයේ පෙරමුණ ගැනීමට ඉක්වදෝරය සමත් වූවත් ඉන්පසු තරඟයේ පාලනය සියතට ගත සුපිරි ක්‍රීඩක ලියොනල් මෙස්සි 11,19 සහ 62 වැනි මිනිත්තු වලදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ආර්ජෙන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය වෙත ගෙන ඒමට සමත්විය. එලෙස ඉතා දුෂ්කර ලෙසින් මෙවර ලෝක කුසලානයට පැමිණි ආර්ජෙන්ටිනාව මෙම අවස්ථාව​ නිකරුනේ අපතේ නොයන්නට නොදෙනු ඇතැයි ක්‍රීඩා ලෝලියෝ විශ්වාස කරති. සුදුසුකම් ලැබීමේ තරඟාවල දී ලියොනල් මෙස්සි ආර්ජෙන්ටිනාව වෙනුවෙන් ගෝල 7 බැගින් රැස් කිරීමට සමත්වූහ.

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන ආර්ජෙන්ටිනා කණ්ඩායම

මෙවර පාපන්දු ලෝක කුසලානයට තෝරාගත් 23 දෙනෙකුගෙන් යුත් ආර්ජෙන්ටිනා සංචිතය මීට දින කිහිපයකට පෙර ආර්ජෙන්ටිනාවේ පුහුණුකරු ජෝර්ජ් සාම්පාඕලි විසින් නම් කරනු ලැබීය. බොහෝ සුපිරි මට්ටමේ කණ්ඩායම් වල සංචිත නම් කිරීමේ දී මෙන් දැඩි විවේචන මෙම සංචිතයට එල්ල නොවූ නමුත් පාපන්දු ලොවම කැලඹූ එක් සිදුවීමක් සිදුවිය. ඒ ඉන්ටර් මිලාන් කණ්ඩායම නියෝජනය කරන මවුරෝ ඉකාර්දී මෙම සංචිතයට නම් නොකිරීම නිසාය. ඉකාර්දී මෙවර ඉතාලියේ සීරී ආ (Serie A) ලීගයේ සියලුම ප්‍රහාරකයින් අභිබවා ලීගයේ වැඩිම ගෝල ලාභියා බවට ද පත්වූයේය. ඉකාර්දී මෙවර සංචිතයට ඇතුලත් නොවීම පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවි වලද දැඩි කතා බහට ලක්විය. එම සිදුවීම හැර වෙනත් දැඩි විවේචන කිසිවක් මෙම ආර්ජෙන්ටිනා සංචිතය වෙත එල්ල වූයේ නැත.

ඉහත සඳහන් රූප සටහනෙන් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ආර්ජෙන්ටිනා කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කළහැකි කණ්ඩායම දැක්වෙන අතර එම රූප සටහනේ දැක්වෙන දෑ පුහුණුකරුගේ උපාය උපක්‍රම අනුව වෙනස් වියහැකි බව නැවත වරක් මතක් කළ යුතු ය​. නමුත් පාපන්දු ක්‍රීඩාවේ දී යොදාගන්නා උපාය උපක්‍රම සහ මෙම සංචිතය පිලිබඳ දල අදහසක් ලබාදීමට පමණක් එම රූප සටහන ඇතුලත් කරන ලදී. මෙවර ආර්ජෙන්ටිනාව 4-4-2 ඩයමන්ඩ් ආකාරය අනුව තරඟ වදිනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි. මෙහි අදහස වන්නේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් 4 දෙනෙක්, මැදපෙළ ක්‍රීඩකයින් 4 දෙනෙක් සහ ඉදිරිපෙළ ප්‍රහාරකයින් දෙදෙනෙක් ක්‍රීඩා කරනු ඇති බවයි.

ඉදිරිපෙළ

“මෙස්සි සහ හිගුඒන්” (beinsports.com)

මෙවර ආර්ජෙන්ටිනාවට ඉතා ප්‍රබල ඉදිරිපෙලක් සිටින බව අප සියලු දෙනාම දන්නා කරුණකි. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ ලියොනල් මෙස්සි, එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ සර්ජියෝ අගුවේරෝ, ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමේ ගොන්සාලෝ හිගුවේන් සහ පාවුලෝ ඩිබාලා යන සුපිරි ක්‍රීඩකයින් සිව් දෙනාම ආර්ජෙන්ටිනා පිළෙහි ප්‍රබලයෝ වෙති. ඒ අනුව ලියොනල් මෙස්සි සමඟින් තවත් එක් ක්‍රීඩකයෙකු ඉදිරිපෙළ ක්‍රීඩා කල යුතුය. අගුවේරෝ හෝ හිගුවේන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු මෙස්සි සමඟින් ඉදිරිපෙළ ක්‍රීඩා කරනු ඇත.

මැදපෙළ

“හාවියෙර් මස්චෙරානෝ” (skysports.com)

ආර්ජෙන්ටිනාව මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙකු යොදාගනු ඇත. එම ස්ථානයෙහි ක්‍රීඩා කිරීමට වැඩිම සුදුසුකම් තිබෙන්නේ පාඕලෝ ඩිබාලාට බැවින් ඩිබාලා මෙවර ආර්ජෙන්ටිනා කණ්ඩායමේ මැදපෙළ ප්‍රහාරක (AM/Attacking Midfielder) ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා කරනු ඇත. LM (Left Midfield) ස්ථානය PSG කණ්ඩායමේ ඒන්හල් ඩි මරියා හට වෙන් වී ඇති බව පෙනේ. RM (Right Midfield) ස්ථානය සඳහා ඒසී මිලාන් කණ්ඩායමේ ලූකස් බීග්ලියා හෝ සෙවීයා කණ්ඩායමේ එවර් බනේගා ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කල හැක. DM හෙවත් Defensive Midfield ක්‍රීඩකයා ලෙසින් චීනයේ හෙබෙයි කණ්ඩායම නියෝජනය කරන හාවියර් මස්චෙරානෝ ක්‍රීඩා කරනු ඇත. මස්චෙරානෝ පසුගිය වසර කිහිපයේ දීම ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.

ආරක්ෂක පෙළ

“නිකලස් ඔතාමෙන්දී” (tribuna.com)

පසුගිය ලෝක කුසලානයේ දී මෙන්ම මෙවර ලෝක කුසලානයේදී ද ආර්ජෙන්ටිනාවේ ප්‍රධානම දුර්වලතාවය වනු ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂක පෙළයි. ඉදිරිපෙලට සහ මැදපෙලට සාපේක්ෂව ප්‍රසිද්ධ නම් වලින් තොර ආරක්ෂක පෙළ හමුවේ මෙවර ලෝක කුසලානයේ දී විශාල අභියෝග රාශියක් තිබේ. ආර්ජෙන්ටිනාවට හොඳ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් නොමැති නිසා ඔවුන් 3-4-3 (ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් තිදෙනෙක්, මැදපෙළ ක්‍රීඩකයින් සිව් දෙනෙක් සහ ඉදිරිපෙළ ක්‍රීඩකයින් තිදෙනෙක්) ආකාරයට ක්‍රීඩා කිරීමට ද ඉඩ තිබේ. පසුගිය කාලයේ දී ආර්ජෙන්ටිනාව ක්‍රීඩා කරනු ලැබුවේ ද ඒ ආකාරයෙන්ය. සියල්ල පුහුණුකරු සාම්පාඕලි තීරණය කරනු ඇත.

CB (Centre Back) ක්‍රීඩකයින් දෙදෙනා ලෙසින් මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ නිකලස් ඔතාමෙන්දී සහ රෝමා කණ්ඩායමේ ෆෙඩෙරිකෝ ෆාසියෝ ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කල හැක. ඊට අමතරව පසුගිය ලෝක කුසලානයේ දී ආර්ජෙන්ටිනාවේ තරුවක් බවට පත්වූ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරන මාර්කෝස් රෝහෝ ද ආර්ජෙන්ටිනාව සතුව සිටින දක්ෂ CB ක්‍රීඩකයෙකි. LB (Left Back) ස්ථානය වෙනුවෙන් නෙදර්ලන්තයේ අයැක්ස් කණ්ඩායමේ නිකලස් ටැග්ලියාෆිකෝ හෝ පෘතුගාලයේ ස්පොර්ටින්ග් කණ්ඩායමේ මාර්කෝස් අකුන්‍යා ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කල හැක. RB ස්ථානය වෙනුවෙන් ස්පාඤ්ඤයේ සෙවීයා කණ්ඩායමේ ගේබ්‍රියල් මෙර්කාඩෝ ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාස කලහැක.

2010 සහ 2014 ලෝක කුසලාන දෙකෙහිම ආර්ජෙන්ටිනා කණ්ඩායමේ දැල් රකින්නා වශයෙන් කටයුතු කල මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සර්ජියෝ රොමේරෝ ලෝක කුසලානයට නම් කරනු ලැබූවත් ඔහු ආබාධයකට ලක්වීම නිසා මෙවර තරඟාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වීම ආර්ජෙන්ටිනාවට ඉමහත් අවාසියකි. මෙවර ආර්ජෙන්ටිනා කණ්ඩායමේ දැල් රකින්නා ලෙසින් චෙල්සි කණ්ඩායමේ විලී කාවායේරෝ හෝ ආජෙන්ටිනාවේ රිවර් ප්ලේට් කණ්ඩායමේ ෆ්‍රෑන්කෝ අර්මානි ක්‍රීඩා කරනු ඇත.

මෙවර ලෝක කුසලානයේ ආර්ජෙන්ටිනාවේ ගමන් මඟ

“පාවුලෝ ඩිබාලා” (AFP/Kirill Kudryavtsev)

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට බොහෝ හැකියාවක් තිබෙන කණ්ඩායමක් ලෙසින් ආර්ජෙන්ටිනාව හැඳින්වීම වරදක් නොමැත. සුපිරි ක්‍රීඩක ලියොනල් මෙස්සිගේ ලෝක කුසලාන සිහිනය බොඳ වී යාමට ඔහු හෝ කණ්ඩායමේ ක්‍රීඩකයින් පහසුවෙන් ඉඩ නොදෙනු ඇති බව නම් අපහට ප්‍රත්‍යක්ෂ කරුණකි. බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ද ප්‍රියතම කණ්ඩායමක් වන ආර්ජෙන්ටිනාව මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන්නේ තරමක් උණුසුම් කාණ්ඩයකිනි. ඒ D කාණ්ඩයෙනි. D කාණ්ඩය යටතේ ක්‍රොයේෂියාව, අයිස්ලන්තය සහ නයිජීරියාව ක්‍රීඩා කරයි.

මූලික වටයේ දී D කාණ්ඩයේ පෙරමුණ ගැනීම ආර්ජෙන්ටිනාවට අනිවාර්යය කරුණකි. එයට හේතුව යම් හෙයකින් ආර්ජෙන්ටිනාව D කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබාගතහොත් 16 දෙනාගේ වටයේ දී ප්‍රංශය මුණගැසීමට විශාල සම්භාවිතාවක් තිබෙන නිසාය. මෙවර ආර්ජෙන්ටිනාවට සුපිරි ප්‍රහාරකයෝ සිටිති. සුපිරි මැදපෙළ ක්‍රීඩකයෝ සිටිති. එබැවින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවීම හොඳම විකල්පය බව අනුමාන කලහැක. එය එසේ වූවහොත් මෙම තරඟාවලියේ බොහෝ දුරක් යාමට ප්‍රබල ආර්ජෙන්ටිනාවට හැකිවනු ඇති අතර ලියොනල් මෙස්සිගේ ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

Cover – mcfcwatch.com

Related Articles