Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අර්ජුනගෙන් වාර්තා වුණු අමතක නොවන එක්දින ඉනිම් 5ක්

80 දශකයේ මුල භාගයේ සිට 90 දශකයේ අග භාගය දක්වා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අර්ජුන රණතුංග, සටන්කාමී පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා. එම කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට ගිය එක්දින තරග රැසක ප්‍රතිඵලය වෙනස් කිරීමට මෙම සුපිරි පිතිකරුවාට හැකියාව ලැබුණා. එසේම එම යුගයේ එක්දින පිටියේ සිටි හොඳම තරග අවසන් කරන්නෙකු වුණු අර්ජුන, දියත් කළ ඉනිම් බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ එදා අර්ජුන එක්දින පිටිය තුළ දියත් කළ සුපිරි ඉනිම් 5ක් පිළිබඳව කතා කිරීමට යි.

1. 85 (77)* ඉන්දියාවට එරෙහිව (1990 වසරේ දී)

1990 වසරේ සාජා පිටියේ දී පැවැත්වුණු ඔස්ට්‍රල්-ඒෂියා කුසලාන තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යි. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබාගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය නායක මොහොමඩ් අසාරුඩීන් පන්දු 116කින් ලකුණු 108ක් ලබාගැනීමට සමත් වුණා. ඉන්පසුව ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 134ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අර්ජුන, නවක පිතිකරු රවී රත්නායක සමග එක්ව ලකුණු 69ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 203/6 දක්වා ඉහළ නංවමින්. නමුත් එම අවස්ථාවේ දී රවී ලකුණු 22කට දැවීගියත් අර්ජුන හුදෙකලා සටනක නිරතවෙමින් සිය කණ්ඩායම කඩුලු 3ක ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 49.2ක් අවසානයේ දී යි. එහි දී සුපිරි ඉනිමක් දියත් කළ අර්ජුන හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් පන්දු 77ක දී නොදැවී ලකුණු 85ක් ලබාගත්තේ තරගයේ වීරයා සම්මානයත් හිමි කර ගනිමින්.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 241/8 (50), (අසාරුඩීන්- 108, සිධූ- 64, රවී- 31/3, කර්නයින්- 43/2)

ශ්‍රී ලංකාව- 242/7 (49.2), (අර්ජුන- 85*, අරවින්ද- 34, සංජීව් ෂර්මා- 63/2)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- අර්ජුන රණතුංග

අර්ජුන රණතුංග (gettyimages)

2. 88 (61)* සිම්බාබ්වේට එරෙහිව (1992 වසරේ දී)

1992 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය නිව් ප්ලයිමවුත් හි දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 312ක් ලබාගත්තා. එහි දී සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම වුණු ඇන්ඩි ෆ්ලවර්, පන්දු 152කින් නොදැවී ලකුණු 115ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ඩි වොලර්, පන්දු 45කින් නොදැවී ලකුණු 83ක් ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 167කට දැවී ගියා. එලෙස තරගය දෙපිලටම විවෘත වුණු අවස්ථාවේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුන, පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් වාර්තා අතර සිය නාමය සටහන් කරගත්තේ එක්දින තරගයක දී ලකුණු 300ක් හඹා ගිය මුල්ම කණ්ඩායම බවට පත් වෙමින්.

කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේ- 312/4 (50), (ඇන්ඩි ෆ්ලවර්- 115*, වොලර්- 83*, ආනොට්- 52, ප්‍රමෝද්‍ය- 50/2)

ශ්‍රී ලංකාව- 313/7 (49.2), (අර්ජුන- 88*, අතුල සමරසේකර- 75, මහානාම- 59, බ්‍රැන්ඩස්- 70/3)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- ඇන්ඩි ෆ්ලවර් 

අර්ජුනගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

3. 64 (73)* දකුණු අප්‍රිකාවට එරෙහිව (1992 වසරේ දී)

1992 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගය පැවැත්වුණේ වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලුදෙනාම දැවී ලකුණු 195ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් දැක්වූ දස්කම් නිසා යි. ඉන් පසුව ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 87ක් තුළ දැවී ගියා. නමුත් එම අවස්ථාවේ පිටියේ එක්වුණු අර්ජුන සහ මහානාම ලකුණු 67ක අගනා සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 154/4 බවට පත් කළා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට පත් වුණු අවස්ථාවේ මහානාම ලකුණු 68කට දැවීගියත්, ඉන් නොසැලුණු අර්ජුන නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 49.5ක් අවසානයේ දී යි.

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 195/10 (50), (පීටර් කර්ස්ටන්- 47, වෙසල්ස්- 40, අනුරසිරි- 41/3, අර්ජුන- 26/2)

ශ්‍රී ලංකාව- 198/7 (49.5), (මහානාම- 68, අර්ජුන- 64*, ඩොනල්ඩ්- 70/3)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- අර්ජුන රණතුංග

4. 93 (118)* දකුණු අප්‍රිකාවට එරෙහිව (1998 වසරේ දී)

1998 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු ස්ටෑන්ඩර්ඩ් බෑන්ක් තුන්කොන් තරගාවලියේ 6 වැනි තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ක්‍රියාත්මක වුණේ පෝර්ට් එලිසබෙත් නුවර ශාන්ත ජෝර්ජ් පාක් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 231කට දැවීගියේ පන්දුවාර 49.5ක් අවසානයේ දී යි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වුණු වාස් සහ මුරලිදරන් කඩුලු 3 බැගින් දවාගත්තා. ඉන්පසුව, ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 17ක් තුළ දැවී ගියා. නමුත් එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු අර්ජුන සහ අතපත්තු ලකුණු 108ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 125/3 බවට පත් කරමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත් වුණු අවස්ථාවේ අතපත්තු ලකුණු 63කට දැවීගියත් ඉන් නොසැලුණු නායක අර්ජුන, නොදැවී ලකුණු 93ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 231/10 (49.5), (ගැරී කර්ස්ටන්- 46, රෝඩ්ස්- 36, වාස්- 33/3, මුරලිදරන්- 47/3)

ශ්‍රී ලංකාව- 232/4 (46.4), (අර්ජුන- 93*, අතපත්තු- 63, මහානාම- 46*, ටෙලමාකස්- 37/2)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- අර්ජුන රණතුංග

අර්ජුනගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

5. 90 (116)* නවසීලන්තයට එරෙහිව (1998 වසරේ දී)

1998 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඩකා නුවර බංගබන්ධු ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලුම පන්දුවාර 49.5ක් තුළ ලකුණු 188කට දැවී ගියා. එහි දී පැරෝරේ ලකුණු 54ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දක්වන විට මුරලිදරන් කඩුලු 3ක් දවාගෙන පන්දුවෙන් දස්කම් දක්වනු ලැබුවා. ඉන් අනතුරුව ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 5ක් තුළ දැවී ගියා. එලෙස දැවීගිය පිතිකරුවන් බවට පත් වුණේ ජයසූරිය, අතපත්තු, සහ අරවින්ද යන ප්‍රබල පිතිකරුවන් තිදෙනා යි. නමුත් එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු අර්ජුන සහ කළුවිතාරණ, ලකුණු 127ක මනරම් සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 132/3 දක්වා ඉහළ දැමුවා. තරගය ක්‍රමයෙන් ශ්‍රී ලංකාව දෙසට දෝලනය වෙමින් පැවතුණු අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු නවසීලන්ත ක්‍රීඩකයින් ඉක්මනින්ම කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පීඩනයක් ලබාදුන්නා. නමුත්, ඉන් නොසැලුණු අර්ජුන නොදැවී ලකුණු 90ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින්. 

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය- 188/10 (49.5), (පැරෝරේ- 54, මැක්මිලන්- 26, මුරලිදරන්- 31/3)

ශ්‍රී ලංකාව- 191/5 (41.3), (අර්ජුන- 90*, කළුවිතාරණ- 48, චන්දන- 22*, ඩූල්- 17/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- අර්ජුන රණතුංග

කවරයේ ඡායාරූපය- අර්ජුන රණතුංග (gettyimages)

Related Articles