Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1991 වසරේ රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට හිමිවුණු හැටි

1991 වසරේ පැවති රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරුවේ එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, සහ ප්‍රංශය යන රටවල් පහ යි. 1987 වසරේ දී මෙන්ම රටවල් 16ක් සහභාගි වුණු තරගාවලිය දින 31 පුරාවට පැවැත්වුණා. ඉතාමත් තරගකාරී අයුරින් පැවති තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ සත්කාරක එංගලන්ත කණඩායමට සහ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එහිදී එංගලන්ත කණ්ඩායම තියුණු සටනකින් පසුව පරාජය කළ ඕස්ට්‍රේලියානුවන් මුල්ම වරට රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළා. 

මූලික වටයේ තරග තුනෙන්ම ඕස්ට්‍රේලියාවට පහසු ජයක් 

මූලික වටයේ තරගවල දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ වේල්ස්, ආජන්ටිනාව, සහ බටහිර සැමෝවා යන කණ්ඩායම් සමග යි. එහිදී ඕස්ට්‍රේලියාව කිසිදු අපහසුවකින් තොරව එම කණ්ඩායම් තුනම පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා.

ඕස්ට්‍රේලියාව සහ ආජන්ටිනාව අතර තරගය 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මූලික වටයේ දී මුලින්ම තරගවැදුණේ ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව යි. එහිදී  ආජන්ටිනා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රබල සටනක් ලබාදුන්නත් පළමු භාගය නිමාවුනේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 16-7ක් ලෙස ඉදිරියෙන් සිටිමින්. ඉන් පසුව ඇරඹුණු දෙවන භාගයේ දී ආජන්ටිනා කණ්ඩායම තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 12ක් ලබාගත්තත්, එම කාලසීමාව තුළ ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ලකුණු 16 නිසා අවසන් ලකුණු තත්ත්වය සටහන් වුණේ 32-19 ලෙස යි.

 ඕස්ට්‍රේලියා-ආජන්ටිනා තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ බටහිර සැමෝවා අතර තරගය 

මූලික වටයේ තරගවල දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරුවෙන්ම  ජයග්‍රහණය කළ තරගය මෙය යි. කරට කර සටනක් පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම 6-0ක් ලෙස ඉදිරියෙන් සිටියා. එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් ලිනාග් 3 සහ 38 යන විනාඩිවල දී සාර්ථක කරගත් දඬුවම් පහරවල් නිසා ඔවුන්ට එම ලකුණු 6 හිමිවුණා. දෙවන භාගයේ දීත් උද්වේගකර සටනක් පැවතුණු මෙම තරගයේ ලකුණු තත්ත්වය 6-3ක් බවට පත්වුණේ සැමෝවා ක්‍රීඩක තුවාලා මැතිව් 65 වැනි විනාඩියේ දී සාර්ථක කරගත් දඬුවම් පහර නිසා යි. නමුත් 73 වැනි විනාඩියේ දී නැවතත් ක්‍රියාත්මක වුණු ලිනාග් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේ ඕස්ට්‍රේලියාව 9-3ක් ලෙස ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වෙමින්. 

ඕස්ට්‍රේලියා-බටහිර සැමෝවා තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ වේල්ස් අතර තරගය 

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් වේල්ස් කණ්ඩායමට මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පෙරමුණ ගැනීමට වේල්සය සමත්වුණේ මාක් රින්ග් සාර්ථක කරගත් දඬුවම් පහරත් සමගින්. නමුත් ඉන් අනතුරුව ලිනාග් ලබාගත් දඬුවම් පහර 2 සහ රොබක් ලබාගත් උත්සාහක දිනුම නිසා පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන් 10-3 ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. එලෙස පළමු භාගය තුළ තරගයේ වැඩි වාසිය ලබාගත් ඕස්ට්‍රේලියානුවන් දෙවන භාගය තුළ ලකුණු 28ක් ලබාගන්නා විට වේල්ස් කණ්ඩායමට කිසිදු ලකුණක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඒ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය 38-3ක් ලෙසින් සටහන් වෙද්දී එම ලකුණුවලින් 18ක් ලබාගත්තේ මයිකල් ලිනාග් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා යි. එහිදී ලින්ග් ප්‍රවර්තන 4ක්, දඬුවම් පහර 2ක්, සහ උත්සාහක දිනුමක් මඟින් එම ලකුණු ලබාගත්තා (එම අවධියේ දී උත්සාහක දිනුමකට ලබාදුන්නේ ලකුණු 4ක් පමණ යි).

ඕස්ට්‍රේලියා-වේල්ස් තරගයේ අවස්ථාවක් (gettyimages)

මයිකල් ලිනාග් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව තරගයට රැගෙන යයි 

පළමු වටයේ දී සුපිරි දස්කම් දක්වමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් එම තරගයේ දී තරගවැදුණේ අයර්ලන්තය සමග යි. ආරම්භයේ සිටම කරට කර සටනක් පැවති මෙම තරගයේ 17 වැනි විනාඩියේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් කැම්පීස් උත්සාහක දිනුමක් වාර්තා කළා. එලෙස කැම්පීස් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ලිනාග් සමත්වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 6-0ක් ලෙස තරගයේ පෙරමුණට රැගෙන යමින්. ඕස්ට්‍රේලියානුවන් එලෙස ලකුණු ලබාගත්තත් ඉන් නොසැලුණු අයර්ලන්ත ක්‍රීඩක රැල්ප් කයිස් දඬුවම් පහර 2ක් මඟින් ලබාගත් ලකුණු 6 නිසා පළමු භාගය නිමාවට පත්වන විට ලකුණු තත්ත්වය සටහන් වුණේ 6-6ක් ලෙසින්. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ 51 වැනි විනාඩිය වන විට ලකුණු තත්ත්වය 9-9 ලෙසින් සටහන් වුණේ ලිනාග් සහ කයිස් දඬුවම් පහර මඟින් ලබාගත් ලකුණු නිසා යි. එලෙස තියුණු මුහුණුවරක් ගත් තරගයේ වාසිය ඕස්ට්‍රේලියානුවන්ට ලබාදුන් කැම්පීස්-ලිනාග් සුසංයෝගය 53 වැනි විනාඩියේ දී ලකුණු තත්ත්වය 15-9ක් බවට පත්කළා. නමුත් 63 වැනි විනාඩියේ දී නැවතත් ක්‍රියාත්මක වුණු කයිස් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු 3 නිසා  තරගයේ ලකුණු තත්ත්වය 15-12 බවට පත්වුණා. එලෙස ඕස්ට්‍රේලියානුවන් යටතේ පැවති තරගය 75 වැනි විනාඩියේ දී අයර්ලන්තය අතට පත්වුණේ හැමිල්ටන්-කයිස් සුසංයෝගය එක්ව ලබාගත් ලකුණු 6 නිසා යි. ඒ අනුව තරගය නිමාවීමට මිනිත්තු 5කට පමණ පෙර අයර්ලන්තය තරගයේ පෙරමුණ ගත්තේ 18-15 ලෙස ලකුණු ලබාගනිමින්. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානුවන් පරාජය අභියසටම පැමිණ සිටියත් පරාජය පහසුවෙන් භාරගැනීමට අකමැති වුණු ලිනාග් 79 වැනි විනාඩියේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමට 19-18ක තියුණු ජයක් උරුමකර දුන්නා. 

ඕස්ට්‍රේලියා-අයර්ලන්ත තරගයේ තියුණු අවස්ථාවක් (gettyimages)

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම හමුවේ අවසන් පූර්ව තරගය ජයගනියි 

එම කාල වකවානුව වන විට රග්බි පිටියේ ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු නවසීලන්තය සමග පැවැත්වුණු අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. නමුත් තරග ආරම්භයේ සිටම නවසීලන්තයට එරෙහිව ප්‍රබල තරග රටාවක නිරතවුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු භාගය අවසන් වන විට 13-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වුණා. එහිදී හෝරන් සහ කැම්පීස් උත්සාහක දිනුම් ලබාගන්නා විට ලිනාග් දඬුවම් පහරක් සාර්ථක කරගත්තා. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දී ක්‍රියාත්මක වුණු නවසීලන්ත සුපිරි ක්‍රීඩක ග්‍රාන්ට් ෆොක්ස් දඬුවම් පහර 2ක් මඟින් ලකුණු 6ක් ලබාගත්තත් අවසානයේ දී ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කළේ 16-6ක් ලෙස ලකුණු ලබාගනිමින් 

කැම්පීස් උත්සාහක දිනුමක් ලබාගත් අවස්ථාව (gettyimages)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුල්ම වරට රග්බි ලෝක ශූරයන් වුණා 

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති රග්බි ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණා. තරග  ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා. එලෙස ඕස්ට්‍රේලියානුවන් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 09-00ක් ලෙස පෙරමුණේ පසුවුණේ  තරගයේ වාසිය ඔවුන් දෙසට හරවා ගනිමින්. නමුත් දෙවන භාගයේ දී එංගලන්ත ක්‍රීඩක ජොනතන් වෙබ් ක්‍රියාත්මක වෙමින් දඬුවම් පහර 2ක් මඟින් ලකුණු 6ක් ලබාගත්තා. නමුත් එම ලකුණු 6 එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවුණේ ඕස්ට්‍රේලියානුවන් දෙවන භාගයේ දී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් නිසාය. එලෙස ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ලකුණු 3 නිසා අවසානයේ දී ඔවුන් තරගය ලකුණු 12-06ක් ලෙස ජයග්‍රහණය කරන ලද්දේ මුල්ම වරට රග්බි ලෝක ශූරයන් බවට පත්වෙමින්

රග්බි ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය - ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

Related Articles