Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැන්ගරුවන්ට එරෙහිව කොදෙව්වන් ලැබූ අවසන් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය

1960/ 1961 ක්‍රිකට් තරගවාරයේ දී මුල්මවරට ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවති ටෙස්ට් තරගාවලිය ෆ්රෑන්ක් වොරල් කුසලානය ලෙස නම් කළ අතර, එම තරගාවලිය යටතේ බ්‍රිස්බේන් පිටියේ පැවති මුල්ම ටෙස්ට් තරගය ම ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ ‘ලකුණු සම වූ මුල්ම ටෙස්ට් තරගය’ ලෙසිනි. එලෙස ආරම්භ වූ   ෆ්රෑන්ක් වොරල් කුසලාන ටෙස්ට් තරගාවලිය වර්තමාන ටෙස්ට් ක්‍රිකට් පිටියේ තරමක් උදාසීන තරගාවලියක් බවට පත් ව තිබුණ ද, එක් සමයක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වඩාත් ම උද්වේගකර තරගාවලිය බවට පත් ව තිබුණේ මෙම ෆ්රෑන්ක් වොරල් කුසලාන තරගාවලිය යි. 70 දශකයේ මැදභාගයේ සිට 80 දශකය අවසන් වන තෙක් ම ටෙස්ට් ක්‍රිකට් පිටියේ පතාක යෝධයන් බවට පත් ව සිටි කොදෙව්වන්ට 90 දශකයේ ආරම්භය එතරම් සුබදායී නොවී ය.

දශකයකට අධික කාලයක් ඉතාමත් ප්‍රබල තත්ත්වයක පැවති කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම ආරම්භ වූයේ 1991 දී විවියන් රිචඩ්ස්, ගෝඩ්න් ග්‍රිනිජ්, මැල්කම් මාෂල්, ජෙෆ් ඩූජෝන්, හා ගස් ලොගී වැනි ප්‍රබල ක්‍රීඩකයන් ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිසා ය. එවන් වාතාවරණයක් යටතේ 1992 වසරේ අගභාගයේ දී ෆ්රෑන්ක් වොරල් කුසලානය වෙනුවෙන් තරග වැදීම සඳහා රිචී රිචඩ්සන් ප්‍රමුඛ කොදෙව්වන් ඕස්ට්‍රේලියාව බලාගියේ නවක ක්‍රීඩකයන් කීපදෙනෙකු ද සමගිනි.

තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් දුටු සිහිනය

1977/ 1978 තරගවාරයේ සිට 1990/ 1991 තරගවාරය දක්වා පැවති ෆෑන්ක් වොරල් තරගාවලි 7ක් ම පිට පිටම පරාජය වී සිටි ඕස්ට්‍රේලියානුවන් 1992/93 ෆෑන්ක් වොරල් තරගාවලියට අවතීර්ණ වූයේ විශාල බලාපොරොත්තුවක් සමගිනි. 1984/ 1985 ෆ්රෑන්ක් වොරල් තරගාවලිය අතරතුර කිම් හියුස්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු නායකත්වයට පත් වූ ඇලන් බෝඩර් 1992/ 1993 ෆ්රෑන්ක් වොරල් තරගාවලියට පැමිණියේ නවකයන් රැසක් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින තරුණ කොදෙව් පිල පරාජයට පත්කර වසර ගණනාවකට පසු ෆ්රෑන්ක් වොරල් කුසලානය ඕස්ට්‍රේලියාවට උරුම කරදීමේ සිහිනය ඇති ව ය. බෝඩර් සහභාගි වන අවසන් ෆ්රෑන්ක් වොරල් කුසලාන තරගාවලිය මෙම 1992/ 1993 තරගාවලිය වීමට ඉඩ තිබූ නිසා මෙම තරගාවලි ජයග්‍රහණය බෝඩර්ට අවශ්‍ය ම එකක් විය. එම නිසා තරගාවලිය ජයග්‍රහණය කර සිය නායකයාගේ සිහිනය ඉටු කිරීම ඕස්ට්‍රේලියානු පිලේ අරමුණ විය.

බ්‍රිස්බේන් පිටියේ දී කොදෙව්වන් නූලෙන් බේරෙයි

තරගාවලිය ආරම්භ කරමින් බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 353වන ක්‍රීඩකයා ලෙසින් එහි දී   ඩේමියන් මාටින් ටෙස්ට් වරම් ලබාගැනීමට ද සමත් විය. ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් ලබාගත් අගනා ලකුණු 73 නිසා තරගයේ පළමු දිනයේ වාසිය දෙපිලට ම සමසේ බෙදී ගිය අතර, දිනය නිමා වන විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 6ක් දැවී ලකුණු 259ක් ලබා සිටියේ ය.

තරගයේ දෙවන දිනයේ උදෑසන ම කොදෙව් පන්දු යවන්නන් ක්‍රියාත්මක වෙමින් අවසන් ඕස්ට්‍රේලියානු කඩුලු 4 ම ලකුණු 34ක් තුළ දවා ගැනීමත් සමග ම ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 293කට සීමා විය. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පිට ඳග පන්දු යවන ක්‍රීඩක කාල් හූපර් ලකුණු 75කට කඩුලු 4ක් දවාගත් අතර, එය එම අවදියේ ටෙස්ට් ඉනිමක ඔහුගේ හොඳම පන්දු යැවීම විය. මීට පෙර ඔහුගේ ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වූයේ 1991 වසරේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව කෙන්සිංටන් ඕවල් පිටියේ දී ලකුණු 28කට දවාගත් කඩුලු 2යි.

ඕස්ට්‍රේලියානු පිල මුල් ඉනිමට ලබාගත් ලකුණු 293ට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ තරමක් අසීරුවෙන් ක්‍රීඩා කරන ලදී. කොදෙව් ලකුණු පුවරුවේ ලකුණු 58ක් සටහන් වන විට ඔවුන්ගේ මුල් කඩුලු 3ම දැවී ගිය අතර, අත්දැකීම් සපිරි හේන්ස් හා රිචඩ්සන් ද ඒ අතරට අයත් විය. අනතුරුව පිටියට එක්වූයේ එම අවදියේ ක්‍රිකට් පිටියේ සිටි දක්ෂ තරුණ පිතිකරුවෙකු වූ බ්‍රයන් ලාරා හා වසර 3ක නිහැඬියාවකින් අනතුරුව 1992 වසර මුල්භාගයේ කොදෙව් ටෙස්ට් පිලට කැඳ වූ කීත් අතර්ටන් ය. මෙම අසීරු අවස්ථාවේ ඉතාමත් කල්පනාවෙන් ක්‍රීඩා කළ මොවුන් දෙපළ සිව්වන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 112ක සබඳතාවයක් ගොඩනැගූ අතර, එම වටිනා සබඳතාවය ලාරා ලකුණු 58කට දැවීයාමත් සමග අවසන් වුව ද, අතර්ටන් නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් දිනය නිමාවන තුරු ක්‍රීඩාකිරීම නිසා දෙවන දිනය අවසන් වන විට කොදෙව්වන් 195/4ක් ලෙස ප්‍රබල තත්ත්වයක පසු විය.

ඩේවිඩ් බූන් පන්දුවට පහරදෙමින් (cricket.yahoo.net)

තරගයේ තෙවන දිනය දෙපිලට ම තීරණාත්මක වූ හෙයින් තරගයේ වාසිය තම පිල දෙසට හරවා ගැනීමට කණ්ඩායම් දෙක ම උත්සාහ කරමින් සිටි නිසා මෙම දිනය ටෙස්ට් තරගයේ උද්වේගකර දිනයක් විය. මෙම තීරණාත්මක මොහොතේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ටෙස්ට් ශතකය ලබාගනිමින් කීත් අතර්ටන් ඉතාමත් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලබාගත් ලකුණු 157 නිසා කොදෙව්වන් ඕස්ට්‍රේලියානු පිලට වඩා පළමු ඉනිමේ ලකුණු 78ක් ඉදිරියෙන් සිටියේ ය. එහි දී කොදෙව් මුල් ඉනිම ලකුණු 371කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක බෘස් රීඩ් ලකුණු 112කට ලබාගත් කඩුලු 5 පිළිබඳ ව ද සිහිපත් කළ යුතු ය. අනතුරුව සිය දෙවන ඉනිම ඇරඹූ කැන්ගරුවන් දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබා සිටියේ ය.

කර්ට්ලි ඇම්බ්‍රෝස් පන්දු යවමින් (espncricinfo.com)

සිව්වන දිනයේ ඩේවිඩ් බූන් ලබාගත් ලකුණු 111 හා මාක් වෝ ලබාගත් ලකුණු 60 නිසා ඕස්ට්‍රේලියානු පිල සටන්කාමී ලෙස තරගයට අවතීර්ණ වූ අතර, දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු පිල 266/6 ලෙස ලකුණු ලබා ගනිමින් කොදෙව්වන්ට වඩා ලකුණු 188ක් ඉදිරියෙන් සිටියේ ය. තරගයේ අවසන් දිනයේ උදෑසන ම කැන්ගරු ඉනිම ලකුණු 308කට සීමා වූ අතර, එහි දී මනරම් පන්දු යැවීමක නිරත වූ කර්ට්ලි ඇම්බ්‍රෝස් ලකුණු 66කට කඩුලු 5ක් දවාගත්තේ ය. අවසානයේ දී කොදෙව්වන්ට ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කයක් කැන්ගරුවන් ලබා දුන්නේ ය.

රිචී රිචඩ්සන් පන්දුවට පහරදෙමින් (media.gettyimages.com)

ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව්වන් මැක්ඩර්මට් හා රීඩ්ගේ මනරම් වේගපන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වූ අතර, ඔවුන්ගේ මුල් කඩුලු 4 ම ලකුණු 9ක් තුළ බිඳවැටුණි. නමුත් මෙම අවස්ථාවේ ඉතාමත් වගකීමෙන් ක්‍රීඩා කළ නායක රිචඩ්සන් පන්දු 181කින් ලබාගත් ලකුණු 66 නිසා එදා කොදෙව්වන් පරාජයෙන් බේරුණු අතර, අවසානයේ දී තරගය ජය පැරදුමෙන් තොර ව නිමාවන විට කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබා සිටියේ ය. මුල් ඉනිමේ ලකුණු 48ක් හා දෙවන ඉනිමේ ලකුණු 111ක් රැස් කළ ඩේවිඩ් බූන් තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගත් අතර, මෙම තරගයේ ඕස්ට්‍රේලියානු පිල ලබාගත් පන්නරය මෙල්බර්න්හි දී පැවති දෙවන ටෙස්ට් තරගයට විශාල ශක්තියක් විය.

ශේන් වෝන් හා බ්‍රයන් ලාරා මුල්මවරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ආකාරය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

 

කවරයේ ඡායාරූපය: ෆ්රෑන්ක් වොරල් කුසලානයේ ඡායාරූපයක් (twitter.com)

මූලාශ්‍රයයන්: Espncricinfo

Related Articles