Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය නිමාවෙයි

19 වන සියවසේ අගභාගය වන විට ටෙනිස් ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තා. දශක තුනක් ඇතුළත රටවල් හතරක ටෙනිස් ශූරතා තරගාවලි ආරම්භ වුණා. අද වන විට විම්බල්ඩන්, ඇමරිකානු විවෘත, ප්‍රංශ විවෘත, සහ ඕස්ට්‍රේලියානු විවෘත යනුවෙන් ක්‍රියාත්මක වන්නේ එදා ආරම්භ වුණු ටෙනිස් තරගාවලි හතර යි. එම තරගාවලි අතරින් වසරේ මුල්ම කාර්තුවේ දී පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය යි. ඒ අනුව, 109 වන වරටත් පැවති මෙවර තරගාවලිය පසුගිය පෙබරවාරි 8-21 කාලසමය තුළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවැත්වුණා. 

තරගාවලියේ ඉතිහාසය

1905 වසරේ නොවැම්බර් මාසයේ දී මෙම තරගාවලිය ආරම්භ වුණා. තරගාවලිය පැවැත්වුණේ මෙල්බර්න් නගරයේ ඇල්බට් රිසව් ටෙනිස් පිටියේ දී යි. ඕස්ට්‍රලේෂියන් නමින් ආරම්භ වුණු මෙය 1927 වසරේ සිට ඕස්ට්‍රේලියානු ශූරතා ටෙනිස් තරගාවලිය නමින් පැවැත්වුණේ. වසර 41ක් පුරාවට එම නාමය යටතේ පැවති තරගාවලියට ඕස්ට්‍රේලියානු විවෘත යන වර්තමාන නම ලැබුණේ  1969 වසරේ දී යි.

1905-1987 කාලසමය තුළ මෙම තරගාවලිය තණකොළ සහිත එළිමහන් පිටියක පැවැත්වුණත්, 1988 වසරේ සිට පැවැත්වෙන්නේ කෘත්‍රිම එළිමහන් පිටියක දී යි. වසර 116ක් පුරාවට පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු නගර 5ක් සහ නවසීලන්ත නගර 2ක් සත්කාරකත්වය ලබා දී තිබෙනවා. ඒ අනුව මෙල්බර්න්- 55, සිඩ්නි- 17, ඇඩිලේඩ්- 14, බ්‍රිස්බේන්- 7, පර්ත්- 3 ලෙසින් ඕස්ට්‍රේලියානු නගර තුළ තරගාවලිය පවත්වා තිබෙනවා. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් සහ හැස්ටින්ග්ස් යන නගර පිළිවෙලින් 1906 සහ 1912 තරගාවලි සඳහා සත්කාරකත්වය ලබාදුන්නා. විවිධ නගරවල පැවැත්වුණු මෙම තරගාවලියට 1972 වසරේ සිට අඛණ්ඩව සත්කාරකත්වය ලබාදෙන්නේ මෙල්බර්න් නගරය යි. එසේම 1988 වසරේ සිට තරගාවලිය ක්‍රියාත්මක වන්නේ මෙල්බර්න් පාක් පිටියේ දී යි. 

පැවැත්වෙන තරග ඉසව් 

සාමාන්‍යයෙන් ඕනෑම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක දී ප්‍රධාන තරග ඉසව් 5ක් පැවැත්වෙනවා පිරිමි ඒකල, කාන්තා ඒකල, පිරිමි යුගල, කාන්තා යුගල, සහ මිශ්‍ර යුගල වශයෙන්. 

මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් නැරඹීම සඳහා පැමිණ සිටි පිරිසෙහි විශාල අඩුවීමක් දක්නට ලැබුණා. 1987 වසරට පසුව 150,000ට වඩා අඩු ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නැරඹූ තරගාවලිය ලෙසින් මෙය වාර්තා අතරට එක් වුණා. වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් තරගාවලිය නැරඹීමට පැමිණ නොසිටියත් තරගවල තිබුණු උණුසුම නම් අඩුව තිබුණේ නැහැ. 

ජොකොවිච් 9 වන වරටත් පිරිමි ඒකල ශූරයා වෙයි 

ඕස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ඉසව්වේ මූලික වටය සඳහා තරගකරුවන් 128ක් සුදුසුකම් ලබා තිබුණා. එම තරගකරුවන් අතර පැවති මුල් තරග වට හතර අවසානයේ දී තරගකරුවන් 8 දෙනෙකු අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබුණා. එහි දී දක්නට ලැබුණු පෙරළිකාර සිදුවීම වුණේ ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල තෙවන ස්ථානයේ රැඳී සිටින ඔස්ට්‍රියානු ක්‍රීඩක ඩොමිනික් තිආම් සිව්වන වටයේ දී ලෝක ශ්‍රේණිගතකිරීම්වල 21 වන ස්ථානයේ රැඳී සිටින දිමිත්‍රොව් අතින් පරාජයට පත්වීම යි. අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයන්ගේ නම් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.  

1) නෝවැක් ජොකොවිච් (සර්බියාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 1

2) ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් (ජර්මනිය)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 7

3) ග්‍රිගොර් දිමිත්‍රොව් (බල්ගේරියාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 21

4) අස්ලන් කරස්ටෙව් (රුසියාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 114

5) ඇන්ඩ්‍රේ රුබ්ලෙව් (රුසියාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 8

6) ඩෙනිල් මෙඩ්වෙඩෙව් (රුසියාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 4

7) ස්ටෙෆානෝස් ස්ටිස්පාස් (ග්‍රීසිය)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 6

8) රෆායල් නඩාල් (ස්පාඤ්ඤය)- ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ස්ථානය- 2

අර්ධ අවසන් පූර්ව වටයේ දී පෙරළිකාර සිදුවීම් දෙකක් වාර්තා වුණා. ඉන් පළමු සිදුවීම බවට පත්වුණේ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ පසුව රෆායෙල් නඩාල්ගේ පරාජය යි. නඩාල් පරාජයට පත්වුණේ ලෝක ශ්‍රේණිගතකිරීම්වල අංක 6 ස්ථානයේ පසුවන ස්ටෙෆානෝස් නම් ග්‍රීක ක්‍රීඩකයා හමුවේ යි. තරග වටය තුළ වාර්තා වුණු අනිත් පෙරළිය බවට පත්වුණේ ලෝක ශ්‍රේණිගතකිරීම්වල 114 ස්ථානයේ පසුවන කරස්ටෙව් නම් රුසියානු ක්‍රීඩකයා ලෝක ශ්‍රේණිගතකිරීම්වල 21 වන ස්ථානයේ පසුවන දිමිත්‍රොව් නම් බල්ගේරියානු ක්‍රීඩකයා පරාජය කිරීම යි. 

ග්‍රීසියේ ස්ටෙෆනෝස් ප්‍රබල ක්‍රීඩක නඩාල්ව පරාජය කළ අවස්ථාව (gettyimages)

එතරම් තරගකාරී බවක් දක්නට නොතිබුණු අවසන් පූර්ව වටයේ තරගවල දී ජොකොවිච් සහ මෙඩ්වෙඩෙව් ජයග්‍රහණය වාර්තා කළා. පසුව ජොකොවිච් සහ මෙඩ්වෙඩෙව් අතර පැවති අවසන් තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැ යි බලාපොරොත්තු වුණා. නමුත් අවසන් තරගයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරතවුණු නොවැක් ජොකොවිච් 7-5, 6-2, සහ 6-2 ලෙස ලකුණු ලබාගනිමින් පහසු ජයක් වාර්තා කළා. ඒ අනුව මෙවර 9 වන වරටත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකල ශූරයා වශයෙන් නොවැක් ජොකොවිච් සම්මාන හිමිකරගත්තා. ඊට පෙර 2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020 යන වසරවල ශූරතාවය දිනා සිටි ජොකොවිච් මෙවර ශූරතාවය දිනාගත්තේ පිට පිටම තුන්වන වරට යි. 

ජොකොවිච් අවසන් තරගයේ දී (gettyimages)

ඔසාකා දෙවන වරටත් කාන්තා ඒකල ශූරිය වෙයි 

පිරිමි ඒකල ඉසව්ව ක්‍රියාත්මක වුණු ආකාරයටම මෙම ඉසව්ව ද ක්‍රියාත්මක වුණා. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් වුණේ 2020 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනාගත් ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටින ඇමරිකාවේ සොෆියා කෙනින්ගේ පරාජය යි. එසේම ලෝක ශ්‍රේණිගතකිරීම්වල පස්වන ස්ථානයේ රැඳී සිටින යුක්රේනයේ එලීනාගේ පරාජයත් බලාපොරොත්තු නොවුණු එකක් වුණා. එහි දී කෙනින් ලෝක ශ්‍රේණිගතකිරීම්වල 62 වන ස්ථානයේ පසුවන කැනෙපි නම් එස්තෝනියා ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වන විට එලීනා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 43 වන ස්ථානයේ පසුවන පෙගුලා නම් ඇමරිකානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වුණා. එසේ නම් අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වුණු ක්‍රීඩිකාවන්ගේ නම් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.  

1) ඈෂ්ලි බාටි (ඕස්ට්‍රේලියාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 1

2) කැරොලිනා මුකෝවා (චෙක් ජනරජය)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 22

3) ජෙනිෆර් බ්‍රැඩී (ඇමරිකාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 13

4) ජෙසිකා පෙගුලා (ඇමරිකාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 43

5) ෂේ සූ-වෙයි (තායිවානය)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 50

6) නයෝමි ඔසාකා (ජපානය)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 2

7) සෙරීනා විලියම්ස් (ඇමරිකාව)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 7

8) සිමෝනා හැලෙප් (බෙල්ජියම)- ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල ස්ථානය- 3

ලෝක ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලි බාටි චෙක් ජනරජයේ ක්‍රීඩිකා මුකෝවා හමුවේ පරාජය වීම අර්ධ අවසන් පූර්ව වටයේ දී සිදුවුණු පෙරළිකාරම සිදුවීම බවට පත්වුණා. මුකෝවා, බ්‍රැඩී, ඔසාකා, සහ විලියම්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. අවසන් පූර්ව තරග වටයේ දී කාගේත් අවධානය දිනාගත් තරගය පැවැත්වුණේ 7 වාරයක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවය දිනා සිටින සෙරීනා විලියම්ස් සහ නයෝමි ඔසාකා අතර යි. එම තරගයෙන් ජයග්‍රහණය ලබාගත්තේ වර්තමානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ සිටින නයෝමි ඔසාකා නම් ජපන් ක්‍රීඩිකාව යි. එහි දී 6-3 සහ 6-4 ලෙසින් ලකුණු තත්ත්වය සටහන් වුණා. තියුණු මුහුණුවරක් ගත් අනිත් තරගයේ දී 6-4, 3-6, සහ 6-3 ලෙසින් ලකුණු ලබාගත් බ්‍රැඩී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා. 

ඔසාකා සහ විලියම්ස් තරග වදිමින් (gettyimages)

අවසන් තරගයේ දී විශිෂ්ට අයුරින් දස්කම් දැක්වූ නයෝමි ඔසාකා 6-4 සහ 6-3 ලෙස ලකුණු ලබාගනිමින් දෙවන වරටත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල තරග ඉසව්වේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

ඔසාකා ජයග්‍රහණය වාර්තා කරමින් (gettyimages)

යුගල තරග ඉසව්වල ප්‍රතිඵල 

පිරිමි යුගල, කාන්තා යුගල යන ඉසව් සඳහා යුගල 64ක් සහභාගි වෙද්දී මිශ්‍ර යුගල තරග ඉසව්ව සඳහා යුගල 32ක් සහභාගි වුණා. එම තරග ඉසව්වල අවසන් තරගවල දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ පසුගිය වසරේ පිරිමි යුගල ඉසව්ව ජයග්‍රහණය කළ ඇමරිකාවේ රජිව් රාම් සහ බ්‍රිතාන්‍යයේ ජෝ සැලිස්බරි මෙවර පරාජයට පත්වීම යි. යුගල ඉසව්වල ප්‍රතිඵල පහත දැක්වෙනවා. 

පිරිමි යුගල ඉසව්ව 

* ශූරතාවය- ඉවාන් ඩොඩිග් (ක්‍රොයේෂියාව)

                 පිලිප් පොල්සෙක් (ස්ලෝවැකියාව)

*අනු ශූරතාවය- රජීව් රාම් (ඇමරිකාව)

                      ජෝ සැලිස්බරි (මහා බ්‍රිතාන්‍ය)

ශූරතාවය දිනාගත් ඉවාන් සහ පිලිප් (gettyimages)

කාන්තා යුගල ඉසව්ව 

* ශූරතාවය- එලිසා මර්ටන්ස් (බෙල්ජියම)

                 අර්යානා සැබෙලෙන්කා (බෙලරුසියාව)

*අනු ශූරතාවය- බාර්බොරා ක්‍රෙචිකෝවා (චෙක් ජනරජය)

                      කැතරිනා සිනියාකෝවා (චෙක් ජනරජය)

ශූරතාවය දිනාගත් එලිසා සහ අර්යානා (gettyimages)

මිශ්‍ර යුගල ඉසව්ව 

* ශූරතාවය- බාර්බොරා ක්‍රෙචිකෝවා (චෙක් ජනරජය)

                 රජීව් රාම් (ඇමරිකාව)

*අනු ශූරතාවය- සමන්තා ස්ටොසර් (ඕස්ට්‍රේලියාව)

                      මැතිව් එබ්ඩන් (ඕස්ට්‍රේලියාව)

ශූරතාවය දිනාගත් රජිව් සහ පිබාර්බොරා (gettyimages)

කවරයේ ඡායාරූපය- පිරිමි ඒකල ශූරතාවය දිනාගත් නොවැක් ජොකොවිච් 

මූලාශ්‍රයයන්- ausopen.com

Related Articles