Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියානුවන් මුරලිට එරෙහිව කළ කෙනෙහිලිකම්

1995/ 1996 තරගවාරයේ ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල නැවතත් ඕස්ට්‍රේලියාව බලා ගියේ, 1999 වසරේ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය සමග පැවති කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් එක්දින තරගාවලිය සඳහා සහභාගි වීමට යි. මෙවර ඕස්ට්‍රේලියාව යන විට අත්දැකීම් රැසක් ලබාගෙන සිටි මුරලි, ලෝකයේ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් එල්ල කළ හැකි මට්ටමේ පන්දු යවන්නෙකු බවට පත් ව සිටියා. එම නිසා ම මුරලි පිළිබඳ ව ඕස්ට්‍රේලියානුවන් වෙනදාටත් වඩා මෙවර අවධානය යොමු කළා.

ඇඩිලේඩ් පිටියේ දී රොස් එමර්සන් නැවතත් මුරලිට හරස් විය  

1999 වසරේ පැවති කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් තරගාවලියේ 8 වන තරගය ඇඩිලේඩ් ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණා. අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට මෙම තරගය අනිවාර්යෙන් ම ජයග්‍රහණය කළ යුතු ව තිබූ නිසා ශ්‍රී ලංකා පිල මෙම තරගයට අවතීර්ණ වූයේ සිය උපරිම දක්ෂතා දැක්වීමේ අරමුණෙන්. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත පිලට ලබා දෙනවා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 17ක් අවසානයේ දී කඩුලු 1ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා. මෙම අවස්ථාවේ තරගයේ 18 වන පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා නායක අර්ජුන, මුරලිදරන් ව කැඳවූ අවස්ථාවේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස ටෝනි මැක්විලන් කටයුතු කළ අතර, Square Leg විනිසුරු ලෙස රොස් එමර්සන් කටයුතු කළා. මෙම විනිසුරුවන් දෙපළ පිළිබඳ ව විශේෂයෙන් ම සිහිපත් කළ යුතු කරුණ වන්නේ, 1996 වසරේ බ්‍රිස්බේන් පිටියේ දී කොදෙව්වන්ට එරෙහිව එක්දින  තරගයේ දී ද මුරලිට එරෙහිව පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කළේ මෙම විනිසුරුවන් දෙපළ වීම යි. එදා මෙන්ම මෙම තරගයේ දී ද මුරලි 18 වන පන්දුවාරයේ 4 වන පන්දුව ක්‍රියාත්මක කිරීමත් සමග ම Square Leg විනිසුරු ලෙස කටයුතු කළ එමර්සන්, එය නිපන්දුවක් ලෙස සටහන් කර පන්දුව දමා ගසන බවටත් සැක කරන බව සඳහන් කරනවා.

නිපන්දු සටහන් කිරීමෙන් පසු අර්ජුන හා මුරලි විනිසුරු එමර්සන් සමග (gettyimages)

අර්ජුන මුරලි වෙනුවෙන් විනිසුරු එමර්සන් සමග ගැටුණු හැටි

විනිසුරු එමර්සන් එලෙස නිපන්දුවක් සටහන් කිරීමත් සමග දැඩි ලෙස උරණ වූ නායක අර්ජුන, ඔහු සමග උණුසුම් වචන හරඹයක යෙදීමෙන් අනතුරුව සිය කණ්ඩායමත් රැගෙන ක්‍රීඩා පිටියේ හතරේ සීමාවෙන් ඉවතට යනවා. ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පුහුණුකරු රෝයි ඩයස් හා කළමනාකරු රංජිත් ප්‍රනාන්දු, අර්ජුන සමග උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කරනවා. එම අවස්ථාවේ තරග තීරක පීටර් වැන්ඩර්මව් ද එම ස්ථානයට පැමිණ අර්ජුන සමග යම් සංවාදයක යෙදීමෙන් අනතුරුව අර්ජුන, ජයසූරියට තාවකාලික ව නායකත්වය පවරා ක්‍රීඩාගාරය වෙතට ගියේ වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා යි.

අර්ජුන, විනිසුරු එමර්සන් සමග උණුසුම් වචන හරඹයක (gettyimages)
ශ්‍රී ලංකා පිල ක්‍රීඩා පිටියෙන් ඉවත් ව ගිය අවස්ථාව (gettyimages)
අර්ජුන තරග තීරක වැන්ඩර්මව්ට කරුණු පැහැදිලි කරමින් (gettyimages)

එංගලන්ත පිල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බැට දුන් ආකාරය  

එම අකාරුණික සිදුවීමෙන් අනතුරුව නැවතත් තරගය ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා පිල ඉක්මනින් ම නික් නයිට් ව ලකුණු 45කට හා නසාර් හුසේන් ව ලකුණු 5කට දවා ගනිමින් එංගලන්ත ලකුණු පුවරුව 148/3 බවට පත් කළා. ඉන් අනතුරුව ග්‍රැහැම් හික් හා නීල් ෆෙයාබ්‍රදර් පිටියේ එක්වූ අතර ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳින් එංගලන්ත ඉනිම ගොඩනඟන ආකාරය දැකගත හැකි වුණා. එලෙස ගොඩනැඟූ සබඳතාවය නිසා 47 වන පන්දුවාරය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම 249/3ක් ලෙස ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවුණා. මෙම අවස්ථාවේ වාස් හා ප්‍රමෝද්‍ය යැවූ අවසන් පන්දුවාර ත්‍රිත්වයේ දී ලකුණු 53ක් ලබා ගත් එංගලන්ත පිල, වාස් යැවූ අවසන් පන්දුවාරය තුළ පමණක් ලකුණු 21ක් ලබා ගත්තේ, එංගලන්ත පිල නියමිත පන්දුවාර 50 තුළ 302/3ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යමින්. එහි දී එංගලන්තය පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ග්‍රැහැම් හික්, පන්දු 118කින් ලකුණු 126ක් හා නීල් ෆෙයාබ්‍රදර් පන්දු 71කින් ලකුණු 78ක් ලබා ගනිමින් ගොඩනැඟූ ලකුණු 154ක වටිනා සබඳතාවය එංගලන්තයට ලකුණු 300 සීමාව ඉක්මවීමට උපකාරී වුණා.

ග්‍රැහැම් හික් පිතිකරණයේ යෙදෙමින් (gettyimages)

පීඩනය හමුවේ ජයසූරියගෙන් වේගවත් ඉනිමක්

ලකුණු 303ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 2 ම ලකුණු 8ක් තුළ බිඳ වැටුණේ කළුවිතාරණ ලකුණු 0කට දුවද්දී දැවී යාමෙන් අනතුරුව, අතපත්තු ලකුණු 3කට මුලාලිගේ පන්දුවකට දැවී යාමේ ප්‍රතිඵලයක් වශයෙනුයි. ඉක්මනින් ම කඩුලු 2ක් දැවී යාමෙන් අනතුරුව පීඩනය ශ්‍රී ලංකා පිල දෙසට එල්ල වූවත්, එය තුට්ටුවකට මායිම් නොකළ ජයසූරිය පන්දු 36කින් වේගවත් ලකුණු 51ක් ලබා ගනිමින් දැවී ගියේ ශ්‍රී ලංකාව ලකුණු පුවරුව 68/3 බවට පත් කරමින්.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් යොවුන් පිතිකරු මහේල  

68/3 ලෙස අසීරු අඩියකට වැටී සිටි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ එවකට 21 වැනි වියේ පසු වූ යොවුන් පිතිකරු මහේල ජයවර්ධන, හෂාන් තිලකරත්න සමග එක් ව ලකුණු 66ක් සහ නායක අර්ජුන රණතුංග සමග එක්ව ලකුණු 89ක් වශයෙන් ගොඩනැඟූ සබඳතාවයන් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 223/4ක් බවට පත් වෙනවා. නමුත් එම අවස්ථාවේ අර්ජුන දැවී ගිය ද ඉන් නොසැලුණු මහේල, සිය මංගල එක්දින ශතකය වාර්තා කළ අවස්ථාව වන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 44කින් ලකුණු 61ක් අවශ්‍ය වී තිබුණා. සිය මංගල එක්දින ශතකය ලබා ගැනීමෙන් අනතුරුව ඉතා අලංකාර පහරවල් කිහිපයක් එල්ල කළ මහේල, පන්දු 111කින් ලකුණු 120ක් ලබා සිටිය දී දැවී ගියේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉලක්කය පන්දු 28කින් ලකුණු 34ක් බවට පත් කරමිනුයි.

මහේලගේ සුපිරි ඉනිමේ අවස්ථාවක්  gettyimages)

උණුසුම් ගැටුම් මැද ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කරයි

මහේලගේ කඩුල්ල දැවී යාමත් සමග උපුල් චන්දනට එක්වූ රොෂාන් මහානාමට සිතූ තරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට නොහැකි වීම නිසා නැවතත් ඉලක්කය පන්දු 23කින් ලකුණු 30ක් බවට පත්වුණා. මෙම අවස්ථාවේ ඩැරන් ගෆ්ගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් උපුල් චන්දන එල්ල කිරීමත් සමග ම, නැවතත් තරගය තියුණු අතකට යි හැරුණේ. ඉන්පසු ව චන්දන හා මහානාම ඩැරන් ගෆ් හා ඇලෙක් ස්ටුවර්ට් සමග ඇති කරගත් ගැටුම් අතරතුර  තවත් ඉක්මන් ලකුණු කිහිපයක් ලබාගෙන ඉලක්කය පන්දු 15කින් ලකුණු 15ක් බවට අඩුකරගෙන සිටි අවස්ථාවේ පන්දු 18කින් ලකුණු 25ක් ලබා සිටි චන්දන දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 288/8 බවට පත් කරමින්. එම පන්දුවාරයෙන් පසු ව හොලියොක් යැවූ 49 වන පන්දුවාරයේ 3වන පන්දුවට මහානාම 4 පහරක් එල්ල කරමින් ඉලක්කය පන්දු 9කින් ලකුණු 5ක් බවට අඩු කළ ද, මහානාම ලකුණු 13කට දුවද්දී දැවී යාමත් සමග ම නැවතත් ශ්‍රී ලංකා පිල අවදානම් අඩියකට වැටුණා. නමුත් එම අවස්ථාවේ ලැබුණු අභියෝගයට සාර්ථක ව මුහුණදුන් ශ්‍රී ලංකා අවසන් පිතිකරු යුගලය වූ මුරලි සහ ප්‍රමෝද්‍ය, ශ්‍රී ලංකා පිල පන්දුවාර 49.4ක දී ජයග්‍රහණය කරා රැගෙන ගියේ මුරලිගේ ජයග්‍රාහි පහරක් සමගිනුයි. එදා විනිසුරුවරයන්ගෙන් මුරලිට එල්ල වූ පීඩාවන්වලට කණ්ඩායමක් ලෙස මුහුණ දෙමින් ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන එකක් වුණා.

ගෆ් හා මහානාම ගැටුම (gettyimages)
මුරලි ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමෙන් අනතුරුව (gettyimages)

ඕස්ට්‍රේලියානුවන්ට මුරලි ව නැවැත්වීමට නොහැකි විය

ක්‍රිකට් පිටියේ දී ඕස්ට්‍රේලියානුවන්ගෙන් කොතෙකුත් බාධක හිරිහැර එල්ල වුව ද, ඒවාට නොබිය ව මුහුණදුන් මුරලි අවසානයේ දී ටෙස්ට් කඩුලු 800ක් හා එක්දින කඩුලු 534ක් ලබා ගනිමින් ලොව වැඩි ම ටෙස්ට් මෙන්ම එක්දින කඩුලු ලාභියා ද වුණා. නමුත් එදා අර්ජුන රණතුංග නම් නායකයා මුරලි වෙනුවෙන් පෙරට නොඑන්නට, අපට මුරලි කෙනෙක් ඉතුරු නොවන්නට තිබුණා. එදා අර්ජුන ගත් නිර්භීත තීරණ නිසා අප ලබාගත් දැවැන්ත ක්‍රිකට් ජයග්‍රහණ රැසකට දායකත්වය ලබා දීමට මුරලිට හැකි වීම මුරලිගේ මෙන්ම රටේ ද වාසනාවක්.

 

කවරයේ ඡායාරූපය: අර්ජුන හා එමර්සන්ගේ වචන හුවමාරුවේ උච්චතම අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍රයයන්:

ESPNcricinfo

Related Articles