Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1999 දී ඕස්ට්‍රේලියාව යළි රග්බි ලෝක ශූරයන් වුණු හැටි

1999 සිව්වන රග්බි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, සහ ප්‍රංශය යන රටවල සම සත්කාරකත්වය යටතේ යි. ඊට පෙර 1991 වසරේ පැවති දෙවන රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරුවේත් ඉහත රටවල් විසින්. එවර තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන්ට යුරෝපය ජයබිමක් වුණු නිසා මුල්මවරට රග්බි ලෝක ශූරතාවය හිමිකර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා. 1991 දී මෙන්ම 1999 දීත් යුරෝපය ඕස්ට්‍රේලියානුවන්ට ජයබිමක් වුණා. එම නිසාම යුරෝපා බිමේ දී ඔවුන් යළි රග්බි ලෝක ශූරතාවය දිනාගත්තේ රග්බි ලෝක කුසලාන ඉතිහාසය අලුතින් ලියමින්. 

ඕස්ට්‍රේලියාව අභියෝගයකින් තොරව අර්ධ අවසන් පූර්ව වටයට 

මූලික වටයේ තරගවල දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ අයර්ලන්තය, ඇමරිකාව, සහ රුමේනියාව යන කණ්ඩායම් සමග යි. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිදු අභියෝගයකින් තොරව එම තරග 3ම ජයග්‍රහණය කළේ සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගනිමින්.

ඕස්ට්‍රේලියාව සහ රුමේනියාව අතර තරගය 

එතරම් ප්‍රබල කණ්ඩායමක් නොවුණු රුමේනියාව සමග පැවති තරගය ඕස්ට්‍රේලියානුවන්ට මුල සිටම පහසු තරගයක් වුණා. එම නිසා තරගයේ පළමු භාගය අවසන් වන විට 24-3 ලෙස ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු  කණ්ඩායම සමත්වුණා. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන භාගයේ දී තවත් ලකුණු 33ක් ලබාගත් ඔවුන් තරගය ජයග්‍රහණය කළේ 57-9 ලෙස ලකුණු ලබාගනිමින්. එහිදී ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කෙෆු සහ බර්ක් ලකුණු 15 බැගින් ලබාගත්තා.

ඕස්ට්‍රේලියා-රුමේනියා තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගය 

පළමු වටයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලැබුණු අභියෝගාත්මක තරගය වුණේ මෙය යි. මෙම තරගයේ ජයග්‍රාහකයාට කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගැනීමට හැකියාව ලැබුණු නිසා කණ්ඩායම් 2ම තරගයට අවතීර්ණ වුණේ ජයග්‍රහණය ලබාගැනීමේ අපේක්ෂාවෙන්. එම නිසාම කරට කර සටනක් පැවති තරගයේ  පළමු අර්ධය නිමාවන විට ඕස්ට්‍රේලියානුවන් 6-0ක් ලෙස ඉදිරියෙන් සිටියා. නමුත් දෙවන අර්ධයේ දී වඩාත් ආක්‍රමණශිලී තරග රටාවක නිරතවුණු ඕස්ට්‍රේලියාව උත්සාහක දිනුම් 2ක් සමගින් ලබාගත් ලකුණු 17 නිසා ඔවුන්ට 23-3ක් ලෙස පහසු ජයක් ලබාගැනීමට හැකිවුණා. එහිදී නැවතත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දස්කම් දැක්වූ බර්ක් දඬුවම් පහර 2ක් සහ ප්‍රවර්තන 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 10ක් ලබාගත්තා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් උත්සාහක දිනුමක් ලබාගනිමින් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර තරගය 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු වටයේ දී ක්‍රීඩාකළ අවසන් තරගය පැවැත්වුණේ ඇමරිකානු කණ්ඩායමට එරෙහිව යි. පළමු අර්ධයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සැලකිය යුතු තරම් අභියෝගයක් ඇමරිකානු ක්‍රීඩකයන්ගෙන් එල්ල වුණත් පළමු භාගය නිමාවන විට ලකුණු 22-10ක් ලෙසින් පෙරමුණේ පසුවුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දීත් සිය සුපුරුදු තරග රටාව අනුගමනය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසානයේ දී 57-19ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියා-ඇමරිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

වේල්සය පරාජය කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබයි 

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී තරගවැදුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ වේල්ස් කණ්ඩායම යි. 1991 සහ 1995 රග්බි ලෝක කුසලාන තරගාවලිවල දී මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුණු වේල්ස් කණ්ඩායම මෙවර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ වසර 12කට පසුව යි. එම නිසාම මෙම තරගය ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීම වේල්ස් කණ්ඩායමේ එකම අරමුණ වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් 2ම කරට කර සටන් කළ නිසා පළමු අර්ධය අවසන් වුණේ ඕස්ට්‍රේලියානුවන් 10-9 ලෙස පෙරමුණේ සිටිමින්. නමුත් දෙවන භාගයේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 14ක් ලබාගන්නා විට වේල්සයට කිසිදු ලකුණක් ලබාගැනීමට නොහැකිවුණු නිසා තරගයේ ජය 24-9ක් ලෙසින් හිමිවුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි. එහිදී ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජෝර්ජ් ග්‍රෙගන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කළා.

ග්‍රෙගන් උත්සාහක දිනුමක් වාර්තා කළ අවස්ථාව (gettyimages)

හිටපු ලෝක ශූරයන් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබයි 

1995 දී දකුණු අප්‍රිකාව මුල්මවරට රග්බි ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණා. එහිදී දකුණු අප්‍රිකානුවන් විසින් පළමු තරගයේ දීම එම අවදියේ ලෝක ශූරයන් ලෙස වැජඹුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කළා. එදා දකුණු අප්‍රිකානුවන් අතින් සිදුවුණු අවමානය මකාගන්නට මෙවර ඕස්ට්‍රේලියානුවන්ට ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවුණා. ඒ අනුව එදා ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම 12-6ක් ලෙස පෙරමුණේ පසුවුණා. නමුත් දකුණු අප්‍රිකානුවන් දෙවන භාගයේ දී යළි තරගයට අවතීර්ණ වෙමින් දියත්කළ සටන්කාමී තරග රටාව නිසා නියමිත කාලය අවසානයේ දී ලකුණු තත්ත්වය සටහන් වුණේ 18-18 ලෙසින්. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා ලබාදුන් අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ 27-21ක් ලෙස ලකුණු ලබාගනිමින්. එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් බර්ක් දඬුවම් පහර 8ක් මඟින් ලකුණු 24ක් ලබාගන්නා විට ජෑන් ද බියර් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 21ක් ලබාගත්තේ දඬුවම් පහර 6ක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගනිමින්.

බර්ක් තරගයේ තියුණු අවස්ථාවක (gettyimages)

ඕස්ට්‍රේලියාව දෙවන වරටත් රග්බි ලෝක කුසලානය දිනාගනියි 

ප්‍රංශය රග්බි ලෝක කුසලාන අවසන් තරගයට පිවිසියේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම හමුවේ සුපිරි ජයග්‍රහණයක් ලබමින්. එම නිසා ඔවුන් හමුවේ පැවති තරගය ඕස්ට්‍රේලියානුවන්ට ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. එසේම 1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවත්වුණේ අවසන් පූර්ව තරගයේ දී ප්‍රංශය හමුවේ පරාජයට පත්වීම නිසා යි. එදා ප්‍රංශය හමුවේ ලද පරාජයට වාඩුව ගැනීමට මෙදා ඕස්ට්‍රේලියානුවන්ට හොඳම අවස්ථාවක් ලැබී තිබුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ 14 වැනි විනාඩිය අවසන් වන විට ලකුණු තත්ත්වය 6-6 ලෙස සටහන් වුණේ බර්ක් සහ ලැමයිසන් සාර්ථක කරගත් දඬුවම් පහරවල් හේතුවෙන්. එලෙස ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ප්‍රබල තරග රටාවක නිරතවුණු බර්ක් තවත් දඬුවම් පහර 2ක් සාර්ථක කරගත් නිසා පළමු භාගය අවසන් වුණේ ඕස්ට්‍රේලියාව 12-6ක් ලෙස පෙරමුණේ තබමින්. ඉන් අනතුරුව ආරම්භ වුණු දෙවන අර්ධයේ දී වේගවත් තරග රටාවක නිරතවුණු ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කළේ 35-12ක් ලෙස ලකුණු ලබාගනිමින්. එහිදී යළි සුපිරි දස්කම් දැක්වූ බර්ක් දඬුවම් පහර 7ක් සහ ප්‍රවර්තන 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 25ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වෙමින් 

 ඕස්ට්‍රේලියා-ප්‍රංශ අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

මැතිව් බර්ක් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වුණා 

සමස්ත තරගාවලිය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ මැතිව් බර්ක් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා දඬුවම් පහර 19ක්, ප්‍රවර්තන 17ක් සහ උත්සාහක දිනුම් 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 101ක් ලබාගත්තා. එහිදී අවසන් පූර්ව සහ අවසන් තරගවල දී ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 62න් ලකුණු 49ක් ම බර්ක් විසින් ලබාගෙන තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා.

කවරයේ ඡායාරූපය - ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

Related Articles