Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක කුසලාන වාර්තා අතර නම රැන්ඳූ යොවුන් පිතිකරු අවිශ්ක

2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු ලබාගත් අගනා ලකුණු 104ත් සමගින් ඔහු ලෝක කුසලාන වාර්තා අතර සිය නම සටහන් කරගත්තා. එහිදී එක්දින  ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබාගත් ලාබාලම පිතිකරුවා බවට අවිශ්ක පත්වුණා. 2016 වසරේ දී මුල්ම වරට එක්දින වරම් දිනාගත් අවිශ්ක පළමු තරගයේ දීම අසාර්ථක වුණු නිසා වසර කිහිපයක් ජාතික පිලෙන් ඉවත්ව සිට නැවතත් කණ්ඩායමට පිවිසියේ ඔහු සතුව තිබුණු අධිෂ්ඨානය නිසාම යි. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ අවිශ්ක ප්‍රනාන්දු මෙම වාර්තාව තැබීම දක්වා පැමිණි ගමන සහ ඔහු කොදෙව් තරගයේ දී දැක්වූ දස්කම් පිළිබඳව ඇගයීමක් කිරීම සඳහා යි.

2016 යොවුන් ලෝක කුසලාන තරගාවලියෙන් මතුවුණු තරුව 

2016 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ තෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය සහ ශ්‍රී ලංකාව තරග වැදුණා. එහිදී ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 96කින් වේගවත් ලකුණු 95ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එදා අවිශ්ක ක්‍රීඩාකළ එම වේගවත් ඉනිමත් සමගින් ඔහුව ක්‍රිකට් ලෝලීන්ගේ  අවධානයට ලක්වුණා.

අවිශ්ක එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් (Espncricinfo)

අවිශ්කට එක්දින වරම් ලැබෙයි 

2016 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලිය යටතේ පැවති 4 වැනි එක්දින තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු එක්දින වරම් ලබාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 18යි දින 148ක්. එහිදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබා දැවීයාමට අවිශ්කට සිදුවුණා. සිය මංගල එක්දින තරගයේ දීම එලෙස අසාර්ථක වුණු අවිශ්කට 2019 වසර වනතුරුම නැවතත් ජාතික කණ්ඩායමට එක්වීමට වරම් ලැබුණේ නැහැ.

අවිශ්ක, ස්ටාක්ගේ පන්දුවක් හමුවේ දැවීගිය ආකාරය (gettyimages)

අවිශ්කගේ ක්‍රිකට් දිවිය වෙනස් කළ අයර්ලන්ත එක්දින තරගාවලිය 

2019 වසරේ මුල භාගයේ දී අයර්ලන්ත A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලිය ශ්‍රී ලංකා A කණ්ඩායමට 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීම සඳහා අවිශ්ක ප්‍රනාන්දු පිත්තෙන් ලබාදුන්නේ ඉහළම දායකත්වයක්. එහිදී ඉනිම් 5ක් තුළ ලකුණු 523ක් ලබාගත් අවිශ්ක එහිදී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් ලබාගත්තේ තේරීම් කමිටුවේ අවධානය ඔහුගේ දෙසට යොමු කරගනිමින්. අවිශ්ක එම තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව පහත දත්තයන් මඟින් ඔබට වටහා ගැනීමට හැකිවනු ඇති.

තරග – 5

ලකුණු –  523

පන්දු – 444

ප්‍රහාරාත්මක වේගය – 117.79

අර්ධ ශතක – 2

ශතක – 3

හොඳම ඉනිම – 139 (118)

හතරේ පහර – 50

හයේ පහර – 19

වසර කිහිපයකට පසු අවිශ්ක ජාතික කණ්ඩායමට

අයර්ලන්තය A කණ්ඩායමට එරෙහිව අවිශ්ක දැක්වූ සුපිරි දස්කම් නිසා ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වුණා. නමුත් එහිදී අවිශ්කට ඉනිම් 4ක දී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 71ක් පමණ යි. අවිශ්ක එම තරගාවලිය තුළ අසාර්ථක වුණත් තේරීම් කමිටුව ඔහු කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහුව 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කළා.

එක්දින ලෝක කුසලාන ශතකයක් ලබාගත් ලාබාලම පිතිකරුවා බවට පත්වුණු අවිශ්ක 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලෝක ලෝක කුසලාන තරගයක ශතකයක් ලබාගත් ලබාලම පිතිකරුවා ලෙසින් වාර්තා අතරට එක්ව සිටියේ ලහිරු තිරිමාන්න යි. ඔහු 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 139ක් ලබාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 25 දින 174ක් ලෙසින් සටහන් වුණා. එදා තිරිමාන්න තැබූ වාර්තාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව අවිශ්ක ලබාගත් ශතකයක් සමග ම බිඳ වැටුණා. චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවර රිවර්සයිඩ් පිටියේ දී පැවති එම තරගයේ දී අවිශ්ක පන්දු 103කින් ලකුණු 104ක් ලබාගන්නා විට ඔහුගේ වයස සටහන් වුණේ අවුරුදු 21යි දින 87ක් ලෙසින්.

තිරිමාන්නගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

එක්දින ලෝක කුසලාන තරගයක දී ශතකයක් ලබාගත් තෙවැනි ලාබාලම පිතිකරු බවටත් පත්වුණා 

කොදෙව්වන්ට එරෙහිව අවිශ්ක ප්‍රනාන්දු විසින් ලබාගත් එම ශතකයත් සමගින් එක්දින ලෝක කුසලාන ශතකයක් ලබාගත් තෙවැනි ලාබාලම පිතිකරුවා බවට පත්වීමට ඔහු වාසනාව උදා කරගත්තා. එහිදී එම ලැයිස්තුවේ පළමු ස්ථානය අයර්ලන්ත ක්‍රීඩක පෝල් ස්ටර්ලිංට හිමිවන විට එහි දෙවන ස්ථානය හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක රිකී පොන්ටිංට හිමිවනවා.

පෝල් ස්ටර්ලිං අවුරුදු 20 දින 196කින් මුල්ම ලෝක කුසලාන ශතකය ලබාගත්තා 

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ දී අයර්ලන්ත පිතිකරු පෝල් ස්ටර්ලිං පන්දු 72කි න් ලකුණු 101ක් ලබාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 20යි දින 196ක් ලෙසින් සටහන් වුණා.

ස්ටර්ලිංගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

රිකී පොන්ටිං අවුරුදු 21 දින 76කින් මුල්ම ලෝක කුසලාන ශතකය ලබාගත්තා 

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මූලික වටයේ තරගයක දී හමුවුණා. එම තරගයේ දී රිකී පොන්ටිං පන්දු 112කි න් ලකුණු 102ක් ලබාගන්නා විට ඔහුගේ වයස සටහන් වුණේ අවුරුදු 21 දින 76ක් ලෙසින්.

පොන්ටිංගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

එදා අරවින්ද ද සිල්වා,මහේල ජයවර්ධන සහ අර්ජුණ රණතුංග වැනි යොවුන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැක්වූ දස්කම් අවිශ්කගේ එම ශතකය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නැවතත් මතක් කර දුන්නා. එම නිසාම ක්‍රිකට් පිටිය තුළ දිගු ගමනක් යාමට හැකිවේවායි අපි ඔහුට සුභ පතමු.

කවරයේ ඡායාරූපය - අවිශ්කගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

Related Articles