Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලකුණු 199 දී ඉනිම නිමා කළ පිතිකරුවෝ 12 ක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැති තරග 2 කින් සමන්විත තරගාවලිය පසුගිය දා නිමාව දුටුවා. එහි දී පැවති මුල් තරගයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 199 කට දැවී ගියා.

මෙලෙස ලකුණු 199 කට අවාසනාවන්ත ලෙසින් තමන්ගේ ඉනිම නිමා කිරීමට පිතිකරුවන්ට සිදුවූ අවස්ථා කිහිපයක් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබෙනවා. මේ එම අවාසනාවන්ත දැවී යාම් පිළිබඳ නැවත විමසා බැලීමක්.

ක්‍රිකට් පිටියේ ප්‍රථම වතාවට ලකුණු 199 කට දැවී ගිය පාකිස්තානයේ මුඩාසර් නසාර්
ක්‍රිකට් පිටියේ ප්‍රථම වතාවට ලකුණු 199 කට දැවී ගිය පාකිස්තානයේ මුඩාසර් නසාර්
 – www.twitter.com/pakistancricket 

1. මුඩාසාර් නසාර් 199 (පාකිස්තානය)

1984 වර්ෂයේ දී සිදු වූ ඉන්දීය කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පාකිස්තාන ආරම්භක පිතිකරු මුඩාසාර් නසාර් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 199 කට දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් වුණා. ෆයිසලාබාද් හී දි ආරම්භ වුණ තරගයේ ඉන්දියාව රැස් කළ ලකුණු 574 ක දැවැන්ත මුල් ඉනිමෙන් පසුව පාකිස්තානය පිතිකරණය සඳහා පිටියට පිවිසියා.

එහිදී පන්දු 408 ක් තුළ හතරේ පහර 24ක් ද සමගින් රැස් කළ නසාර්ගේ ඉනිම ශිවාල් යාදෙව්ගේ පන්දුවක් හමුවේ සයිඩ් කිර්මානි රැක ගත් උඩ පන්දුවකින් නිමාවට පත් වුණා. මෙම තරගය අවසන් වූයේ ද ජය පරාජයකින් තොර ව යි.

2. මොහොමඩ් අසාරුදීන් 199 (ඉන්දියාව)

1986 වර්ෂයේ සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දී මොහොමඩ් අසාරුදීන් ද මෙම ඉරණමට ගොදුරු වුණා. කාන්පූර් හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය මුල් ඉනිමේ අංක 5 පිතිකරු වූ අසාරුදීන් හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමඟින් මෙම විශිෂ්ට ඉනිම සටහන් කළා.

ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 199 කට දැවී ගිය මොහමඩ් අසාරුදීන්
ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 199 කට දැවී ගිය මොහමඩ් අසාරුදීන්
Image – www.latestly.com

ලකුණු 199ක් ලබා ගෙන සිටියදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු ව තම ඉනිම නිමා කිරීමට අසාරුදීන්ට සිදු වුණා. ඒ අනුව ලකුණු 199 කට ටෙස්ට් පිටියේ දැවී ගිය මුල් ම ඉන්දීය ක්‍රීඩකයා ලෙසට ද ඔහුගේ නම වාර්තා ගත වුණා.

3. මැතිව් එලියට් 199 (ඕස්ට්‍රේලියාව)

1997 වර්ෂයේ දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරේ පැවති අළු බඳුන ටෙස්ට් ශූරතාවේ තරගයක දී ලීඩ්ස් හි හෙඩිංලි ක්‍රීඩාංගණයේ දී මැතිව් එලියට් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නා. සිව්වන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා මුල් ඉනිම සඳහා ආරම්භක පිතිකරු වූ එලියට් පන්දු 351 කින් හතරේ පහර 26ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට රැස් කර ගත්තා.

ග්‍රැහැම් ගුච් ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීමත් සමඟ ම මැතිව් එලියට් ගේ ඉනිම නිමාව දුටුවා. ඕස්ට්‍රේලියාව තරගය ඉනිමකින් සහ ලකුණු 61 කින් ජයග්‍රහණය කළා. මැතිව් එලියට් ගේ නම සඳහන් වූයේ සියවසකට අධික ඉතිහාසයක් හිමි අළු බඳුන තරඟාවලියේ පිතිකරුවෙක් ලකුණු 199 කට දැවී ගිය මුල් ම අවස්ථාව ලෙසයි. 

මුල්ම වතාවට ටෙස්ට් පිටියේ ලකුණු 199 කට දැවී ගිය ශ්‍රී ලාංකිකයා බවට පත් වූ සනත් ජයසූරිය
මුල් ම වතාවට ටෙස්ට් පිටියේ ලකුණු 199 කට දැවී ගිය ශ්‍රී ලාංකිකයා බවට පත් වූ සනත් ජයසූරිය – www.crictracker.com

4. සනත් ජයසූරිය 199 (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෙස මුලින් ම මෙම අවාසනාවන්ත අවස්ථාවට ගොදුරු වූයේ සනත් ජයසූරිය යි. ඔහු 1997 වසරේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 199 කට දැවී ගියා. 

එස් එස් සී පිටියේදී ආරම්භ වූ තරඟයේ ආරම්භක පිතිකරු වූ සනත්, පන්දු 221ක් තුළ හතරේ පහර 21ක් සහ හයේ පහර 2 කින් මෙම ඉනිම වර්ණවත් කළා. අබේ කුරුවිලා ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා සනත්ගේ ඉනිම අවාසනාවන්ත ලෙසින් නිමාව දුටු අතර තරගය ද ජය පරාජයෙන් තොර ව අවසන් වුණා. 

කොදෙව් සංචාරයේ තුන්වන ටෙස්ට් තරඟයේදී වෝ ලකුණු 199 ට දැවී ගියා – cricketaddictor.com

 

5. ස්ටීව් වෝ 199 (ඕස්ට්‍රේලියාව)

1999 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ කොදෙව් සංචාරයේ තුන්වන ටෙස්ට් තරඟයේදී වෝ මෙලෙස ලකුණු 199 ට දැවී ගියා. ඕස්ට්‍රේලියා ඉනිමේ අංක 5 පිතිකරු ලෙසින් පිටිය පිවිසි ස්ටීව් වෝ පන්දු 376ක් මෙම ඉනිම සඳහා වැය කළා. එයට හතරේ පහර 20ක් සහ එක් හයේ පහරක්ද ඇතුළත්.

නෙහෙමියා පෙරී යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ නිසා ස්ටීව් වෝට අවාසනාවන්ත ලෙසට තම ඉනිම නිමා කරන්නට සිදු වුණා. කෙසේ වෙතත් තියුණු සටනකින් අනතුරුව මෙම තරගය එක් කඩුල්ලකින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළා. 

ටෙස්ට් පිටියේ ප්‍රථම වතාවට නොදැවී ලකුණු 199ක් ලබා ඉනිම නිමා කළ සිම්බාබ්වේ ඇන්ඩි ෆ්ලවර්
ටෙස්ට් පිටියේ ප්‍රථම වතාවට නොදැවී ලකුණු 199ක් ලබා ඉනිම නිමා කළ සිම්බාබ්වේ ඇන්ඩි ෆ්ලවර් – www.sportskeeda.com

6. ඇන්ඩි ෆ්ලවර් 199* (සිම්බාබ්වේ)

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේ මුල් ම ටෙස්ට් තරගයේ දී ෆ්ලවර් ලකුණු 199ක් නොදැවී ලබා ගත්තා. සිම්බාබ්වේ දෙවනි ඉනිමේදී අංක 5 පිතිකරු වූ ෆ්ලවර් පන්දු 470ක් වැය කරමින් හතරේ පහර 24ක් සහ එක් හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කළා.

 සිම්බාබ්වේ අවසන් පිතිකරුවා වූ ඩග්ලස් හොන්ඩෝ ගේ දැවී යාමෙන් අනතුරුව ෆ්ලවර්ට නොදැවී ලකුණු 199ක් ලබා පිටියෙන් නික්මීමට සිදු වුණා. මෙය ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් නොදැවී ලකුණු 199ක් රැස් කළ පළමු අවස්ථාව යි. තරගය දකුණු අප්‍රිකානුවන් ජයග්‍රහණය කළ ද මුල් ඉනිමේත් විශිෂ්ට ලකුණු 142ක් රැස් කළ නිසා ඇන්ඩි ෆ්ලවර් තරගයේ වීරයා ලෙසින් නම් වුණා. 

යුනුස් කාන් ලකුණු 199 කට දැවී ගියා – cricketaddictor.com

 

7. යුනුස් කාන් 199 (පාකිස්තානය) 

ඉන්දියාව සහ පාකිස්තානය අතර 2006 වසරේ ආරම්භ වූ ටෙස්ට් තරගාවලියේ මුල් ම තරගයේ දී යුනුස් කාන් ලකුණු 199 කට දැවී ගියා. පාකිස්තාන ඉනිමේ අංක 3 පිතිකරු වූ ඔහු පන්දු 336 ක් තුළ හතරේ පහර 26ක් සමඟින් මෙම වටිනා ඉනිම ක්‍රීඩා කළා.

ලකුණු 199ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාමකට හසු වීමට යුනුස් කාන්ට සිදු වුණා. මෙය සටහන් වූයේ ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 199ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගිය පළමු අවස්ථාව ලෙස යි. තරගය ජය පරාජයකින් තොරව නිමාව දුටුවා. 

ලකුණු 199 කට දැවී ගිය පළමු එංගලන්ත ක්‍රීඩකයා ඉයන් බෙල්
ලකුණු 199 කට දැවී ගිය පළමු එංගලන්ත ක්‍රීඩකයා ඉයන් බෙල් – www.ICC.com

8. ඉයන් බෙල් 199 (එංගලන්තය) 

2008 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසින් හැඳින්වෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඉයන් බෙල් මෙම අත්දැකීමට මුහුණ දුන්නා. එංගලන්ත මුල් ඉනිමේ අංක 5 පිතිකරු වූ බෙල් පන්දු 336ක් තුළ හතරේ පහර 20ක් සහ එක් හයේ පහරක් ද සමගින් මෙම ලකුණු 199 රැස් කළා.

පෝල් හැරිස් යොමු කළ පන්දුවකට පෙරළා පෝල් හැරිස් වෙත ම උඩ පන්දුවක් ලබා දෙමින් ඉයන් බෙල් තම ඉනිම නිමා කළා. මෙම තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වූ අතර ම බෙල් තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා.

ලකුණු 199ක් නොදැවී ලබා සිටිමින් තම ඉනිම නිමා කළ සංගක්කාර
ලකුණු 199ක් නොදැවී ලබා සිටිමින් තම ඉනිම නිමා කළ සංගක්කාර – www.skysports.com 

9. කුමාර සංගක්කාර 199* (ශ්‍රී ලංකාව)

මේ අත්දැකීම ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා මෙන් ම නොදැවී ලකුණු 199 සීමාවේ රැඳී සිටි ලොව දෙවන ක්‍රීඩකයා බවට ද සංගක්කාර නම් වුණා. 2012 වසරේ පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ මුල් ම ටෙස්ට් ක්‍රිකට් තරගය පැවති ගාල්ලේ දී සංගා මෙම ඉනිම ක්‍රීඩා කළා.

අංක 3 පිතිකරු ලෙසින් පැමිණ පන්දු 387කින් හතරේ පහර 18ක් සහ හයේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අවසන් කඩුල්ලේ දී සයීඩ් අජ්මාල් යොමු කළ පන්දුවක් හමුවේ නුවන් ප්‍රදීප් දැවී යාමත් සමඟ ම අනෙක් අන්තයේ නොදැවී සිටි සංගක්කාරට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. තරගය ශ්‍රී ලංකාව ලකුණු 209 කින් ජයග්‍රහණය කළ අතර කුමාර් සංගක්කාර තරගයේ වීරයා බවට ද පත්වුණා.

කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමත් සමඟ ලකුණු 199 දී ස්මිත් ඉනිම නිමා කළා – cricketaddictor.com

 

10. ස්ටීවන් ස්මිත් 199 (ඕස්ට්‍රේලියාව)

1999 වසරෙන් පසු ව මුල් වරට ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් ලෙසින් ස්ටීවන් ස්මිත් ලකුණු 199කට දැවී ගියා. ඒ කොදෙව් සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේදී යි. ඕස්ට්‍රේලියා අංක 3 පිතිකරු වූ ස්මිත් පන්දු 361 කින් හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් තම ඉනිම වර්ණවත් කළා.

ජෙරම් ටේලර් යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමත් සමඟ ම ලකුණු 199 දී ස්මිත් තම ඉනිම නිමා කළා. තරගය ලකුණු 277 කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ අතර ස්මිත් තරගයේ වීරයා ද වුණා. 

199 කට දැවී ගිය ඉන්දියාවේ කේ එල් රාහුල්
199 කට දැවී ගිය ඉන්දියාවේ කේ එල් රාහුල් – www.rcb.com

11. කේ. එල්. රාහුල් 199 (ඉන්දියාව)

ඉන්දීය පිතිකරු කේ. එල්. රාහුල් 2016 වර්ෂයේ දී එංගලන්තයට එරෙහි ව පැවති 5 වන ටෙස්ට් තරගයේ දී මෙලෙස අවාසනාවන්ත ලෙස ලකුණු 199 කට දැවී ගියා. චෙන්නායි හී දි පැවති තරගයේ ඉන්දීය පළමු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් රාහුල් මෙම ඉනිම ක්‍රීඩා කළා. 

පන්දු 311ක දී හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 199ක් දක්වා ගමන් කළ රාහුල්, ආදිල් රශීඩ් යොමු කළ පන්දුවකට ජොස් බට්ලර් අතට උඩපන්දුවක් ලබා දෙමින් තම ඉනිම නිමා කළා. මෙම තරගයඉනිමකින් සහ ලකුණු 75 කින් ජයග්‍රහණය කිරීමට ද  ඉන්දියාව සමත් වුණා.

 ඩීන් එල්ගාර් ලකුණු 199ක් රැස් කළා – cricketaddictor.com

 

12. ඩීන් එල්ගාර් 199 (දකුණු අප්‍රිකාව)

2017 වර්ෂයේ බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු වූ ඩීන් එල්ගාර් ලකුණු 199ක් රැස් කළා. තරගාවලියේ පළමු තරගයේ දී එල්ගාර් මෙම දස්කම දැක්වීමට සමත් වුණා. 

එල්ගාර් පන්දු 388 ක් තුළ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කළා. මුස්ටෆිසුර් රහමන් යැවූ පන්දුවකට මොමිනුල් හක් වෙතට උඩපන්දුවක් ලබා දෙමින් එල්ගාර් දැවී ගියා. තරගය ලකුණු 333 කින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ අතර ම එල්ගාර් තරගයේ වීරයා ද වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 199 කට දැවී ගිය ෆෆ් ඩු ප්ලෙසිස්
ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 199 කට දැවී ගිය ෆෆ් ඩු ප්ලෙසිස්
Image – www.crictracker.com

12. ෆෆ් ඩු ප්ලෙසිස් 199 (දකුණු අප්‍රිකාව)

2020 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ඩු ප්ලෙසිස් මෙලෙස අවාසනාවන්ත ලෙසින් ලකුණු 199 කට තම ඉනිම සීමා කළා. දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අංක 4 පිතිකරු ලෙස ඔහු මේ දක්ෂතාව ප්‍රදර්ශනය කළා.

පන්දු 276 කින් ලද හතරේ පහර 24ක් ඩු ප්ලෙසිස් ගේ මෙම ඉනිමට ඇතුළත්. වනිඳු හසරංග යොමු කළ පන්දුවකට දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් ලබා දෙමින් ඩු ප්ලෙසිස් තම ඉනිම නිමා කළා. දකුණු අප්‍රිකාව ඉනිමකින් සග ලකුණු 45 කින් තරගය ජය ගනිද්දී ෆෆ් තරගයේ වීරයා වුණා.

අවසන් වතාවට ක්‍රිකට් පිටියේ මෙම අවාසනාවන්ත අත්දැකීම ලැබූ මැතිව්ස්
 ක්‍රිකට් පිටියේ මෙම අවාසනාවන්ත අත්දැකීම ලැබූ මැතිව්ස් – www.espncricinfo.com

13. ඇන්ජලෝ මැතිව්ස් 199 (ශ්‍රී ලංකාව)

මෙම ලකුණු 199 සාපයට ගොදුරු වූ අවසන් පිතිකරු වන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී මැතිව්ස් මෙලෙස දැවී ගියා. අංක 5 පිතිකරු වූ ඔහු පන්දු 397ක දී හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් සමඟ මෙම ඉනිම ක්‍රීඩා කළා.

නයීම් හසන් යොමු කළ පන්දුවක් හමුවේ ශකීබ් අල් හසන් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් මැතිව්ස් දැවී ගියා. මැතිව්ස් සටහන් වූයේ ලකුණු 199 සාපයට ගොදුරු වූ 13 වන පිතිකරුවා සහ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස යි. තරගය ජය පරාජයෙන් තොර ව නිමා වෙද්දී මැතිව්ස් තරගයේ වීරයා වුණා.

කවරයේ ඡායාරූපය -  ක්‍රිකට් පිටියේ මෙම අවාසනාවන්ත අත්දැකීම ලැබූ මැතිව්ස් -   sportstar.thehindu.com 
මූලාශ්‍ර :

www.espncricinfo.com

cricketaddictor.com 

Related Articles