Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් බොහෝ සිටියත්, ලෝක කුසලාන අවසන් තරගවල පන්දුවෙන් දස්කම් දැක්වූවන් සිටින්නේ ටික දෙනා යි. ඒ අතුරින් සමහර පන්දු යවන්නන් ඉතාමත් ප්‍රසිද්ධ වුණත්, සමහර පන්දු යවන්නන්ගේ නම් ඔබ කිසිදු දිනෙක අසා නොතිබෙන්නට පුළුවන්. මෙම ලිපිය මඟින් එක්දින ලෝක කුසලාන අවසන් තරගවල දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම් 6 පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම යි.

ජොයෙල් ගානර් (බටහිර ඉන්දීය කොදෙව්) – 38/5 එංගලන්තයට එරෙහිව 1979 දී

1979 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණේ ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 286ක් ලබාගත්තා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 183ක් ලබා සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ජොයෙල් ගානර් ලකුණු 38කට කඩුලු 5ක් දවාගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 194කට සීමා කළා. එහිදී ගානර් ලබාගත් කඩුලු 5හි තිබුණු සුවිශේෂී ලක්ෂණය වුණේ ඉන් කඩුලු 4ක්ම කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලබාගත් කඩුලු වීම යි. එසේ ගානර් එවූ පන්දු කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා දැවීගිය පිතිකරුවන් වුණේ ග්‍රැහැම් ගුච්, ඩේවිඩ් ගවර්, වේන් ලර්කින්ස්, සහ ක්‍රිස් ඕල්ඩ් යන පිතිකරුවනුයි.

ගානර් 1979 අවසන් තරගයේදී  පන්දු යවමින් (gettyimages)

ගැරී ගිල්මෝර් (ඕස්ට්‍රේලියාව) – 48/5 කොදෙව්වන්ට එරෙහිව 1975 දී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවති 1975 ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. එහිදී ප්‍රබල පිතිකරුවන් රැසක් සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉනිම නියමිත පන්දුවාර 60 අවසානයේ 291/8කට සීමා කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් ගිල්මෝර් ලකුණු 48කට කඩුලු 5ක් දවාගත්තා. ගිල්මෝර්ගේ පන්දු හමුවේ කොදෙව් කණ්ඩායමේ සිටි ප්‍රබලම පිතිකරුවන් 5දෙනෙකු වුණු ඇල්වින් කලිචරන්, රොහාන් කන්හායි, ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචඩ්ස්, සහ ඩෙරික් මරේ යන පිතිකරුවන් දැවී ගියා.

ගැරී ගිල්මෝර් (gettyimages)

ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව) – 33/4 පාකිස්ථානයට එරෙහිව 1999 දී

ලෝඩ්ස් පිටියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර පැවති 1999 ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ පාකිස්ථානු කණ්ඩායම යි. එහිදී පාකිස්ථානු මුල්පෙළ පිතිකරුවන් ඉතාමත් සුපරීක්ෂාකාරීව පන්දුවට පහරදෙමින් පාකිස්ථානු ලකුණු පුවරුව 77/3ක් බවට පත්කළා.

එම අවස්ථාව වන විට පාකිස්ථානුවන් තරගයේ පාලනය ඔවුන් අතට ගැනීමට උත්සහ දරමින් සිටියත්, එයට ඉඩ ලබානොදුන් ෂේන් වෝන් ලකුණු 33කට කඩුලු 4ක් දවාගෙන ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 39ක් තුළ ලකුණු 132කට සීමා කිරීමට සිය දායකත්වය ලබාදුන්නා. එහිදී පාකිස්ථානු මැදපෙල කඩා බිඳ දැමූ වෝන්, ඉජාස් අහමඩ්, මොයින් ඛාන්, ෂයිඩ් අෆ්රිඩි, සහ වසීම් අක්‍රම් යන පිත්කරුවන්ව දවාගත්තා.

වෝන් අවසන් තරගයේදී අෆ්රිඩීව දවාගත් අවස්ථාව (gettyimages)

කීත් බොයිස් (බටහිර ඉන්දීය කොදෙව්) – 50/4 ඕස්ට්‍රේලියාවට එරෙහිව 1975 දී

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ දී පැවති 1975 ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබාගත්තා. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු කීත් බොයිස් ලකුණු 50කට කඩුලු 4ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 274කට සීමා කරමින්. එහිදී බොයිස් විසින් රික් මැක්කොස්කර්, රොඩ් මාෂ්, ගැරී ගිල්මෝර්, සහ රොස් එඩ්වර්ඩ්ස් යන පිතිකරුවන්ව දවාගත්තේ කොදෙව්වන්ට මුල්මවරට ලෝක කුසලානය උරුමකර දෙමින්.

කීත් බොයිස් (gettyimages)

මොහින්දර් අමර්නාත් (ඉන්දියාව) – 12/3 කොදෙව්වන්ට එරෙහිව 1983 දී

1983 ලෝක කුසලාන අවසන් තරගය ලෝඩ්ස් පිටියේ දී පැවැත්වුණේ ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර යි. එහිදී පන්දු යවන්නන්ට උචිත ආකාරයට සකසා තිබුණු තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 54.4ක දී සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 183ක් පමණ යි. ඉන්දීය ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමාවීමෙන් පසුව ලකුණු 184ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 76කට දැවීගොස් ඔව්න් අසීරු අඩියකයට වැටුණා. එලෙස කොදෙව්වන් අසරණව සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු ජෙෆ් ඩූ ජෝන් සහ මැල්කම් මාෂල් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනගමින් තරගයේ වාසිය කොදෙව් කණ්ඩායම දෙසට නැඹුරු කරගැනීමට උත්සහ කළා. නමුත් කොදෙව්වන්ගේ එම ගමනට තිරිංග යෙදූ අමර්නාත් ලකුණු 12කට කඩුලු 3ක් දවාගනිමින් කොදෙව් ඉනිම ලකුණු 140කට සීමාකළේ ඉන්දීය කණ්ඩායම මුල්ම වරට ලෝක ශූරයන් කරමින්.

මොහින්දර් අමර්නාත් කොදෙව්වන්ට එරෙහිව පන්දු යවමින් ( gettyimages)

ඩෙරෙක් ප්‍රිංගල් (එංගලන්තය) – 22/3 පාකිස්ථානයට එරෙහිව 1992 දී

මෙල්බර්න් ක්‍රිකට් පිටියේදී පැවති 1992 ලෝක කුසලාන අවසන් තරගයේදී පාකිස්ථානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම උරෙනුර ගැටුණා. එහිදී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වුණු අමීර් සොහෙල් සහ රමීස් රාජාව පාකිස්ථානු ලකුණු පුවරුවේ ලකුණු 24 සටහන් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ප්‍රිංගල් සමත් වුණා. ඉන්පසුව ඉම්රාන් ඛාන් සහ ජාවෙඩ් මියැන්ඩාඩ්ගේ දක්ෂ පිතිහරඹය අවසන් වීමෙන් පසුව පිටියට පිවිසි ඉන්සාමාම් උල් හක්ව ලකුණු 42කට දවාගත් ප්‍රිංගල්  ලකුණු 22කට කඩුලු 3ක් දවාගත්තේ පාකිස්ථානු ඉනිම 249/6කට සීමා කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙමින්.

ප්‍රිංගල් විසින් පාකිස්ථානු පිතිකරු රමීස් රාජාව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය-1999 ලෝක කුසලාන අවසන් තරගයේ දී කඩුල්ලක් දවාගැනීම නිසා සතුටට පත්ව සිටින ෂේන් වෝන් (Cricket Australia)

Related Articles