Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේග පන්දු යවන්නන් වාර්තා කළ හොඳම පන්දු යැවීම්

වේග පන්දු යවන්නන් ක්‍රිකට් කණ්ඩායමකට නැතිවම බැරි ක්‍රීඩකයින් කොට්ඨාසයක්. විශේෂයෙන් ටෙස්ට් තරඟයකදී කණ්ඩායමකට වේග පන්දු යවන්නෙකුගෙන් සිදු වන මෙහෙය අති මහත්. කෙසේ නමුත් වේග පන්දු යැවීමේදී එම ක්‍රීඩකයා දඟ පන්දු යවන්නෙකුට පෙර වෙහෙසට පත් වෙනවා. එම නිසා බොහෝ විට දඟ පන්දු යවන්නෙකු තරම් ඕවර ප්‍රමාණයක් තරඟයක් තුළ යැවීමේ අවස්ථාව තනි වේග පන්දු යවන්නෙකුට හිමි වන්නේ නැහැ. මේ නිසා දඟ පන්දු යවන්නන්ට සාපේක්ෂව ටෙස්ට් තරඟ ඉතිහාසයේ ඉණිමක වැඩිම කඩුළු ගණනක් බිඳ හෙළූ වේග පන්දු යවන්නන් හමු වන්නේ සාපේක්ෂව අඩුවෙන්. මේ සටහන එවැනි බාධා හා සීමා මැද ලොව හොඳම ටෙස්ට් පන්දු යැවීම් වාර්තා කළ පන්දු යවන්නන් ගැනයි.

ජෝර්ජ් ලෝමන් 9/28 දකුණු අප්‍රිකාවට එරෙහිව 1896

Wikimedia Commons/cricketcountry.com

ක්‍රි.ව 1896 දී එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත් වූයේ තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට මුහුණ දීම සඳහායි. මෙහි පළමු තරඟය එංගලන්තය ජයගත් අතර දෙවන තරඟය ආරම්භ වීමට නියමිතව තිබුණේ 1896 මාර්තු මස 2 දා සිට ජොහැන්නස්බර්ග්හිදී යි. මෙය ටෙස්ට් ඉතිහාසයේ 48 වන තරඟය වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක මාටින් හෝක් පන්දුවට පහර දීමේ වාරය ලබාගත් අතර පන්දු ඕවර 157.3 නිමාවේ ලකුණු 482ක් ලබා ගන්නවා. එංගලන්තය වෙනුවෙන් තෝමස් හේවඩ් ශතකයක් ලබා ගන්නා අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජෝර්ජ් රෝ කඩුළු 5 ක් දවා ගන්නවා.

පිළිතුරු ඉණිම දියත් කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දු ඕවර 46 කුත් පන්දු 2ක් තුළ ලකුණු 151 කට දැවී යන අතර එංගලන්තය වෙනුවෙන් මද වේග පන්දු යවන ජෝර්ජ් ලෝමන් ලකුණු 28 කට කඩුළු 9ක් දවාගන්නේ එවකට හොඳම ටෙස්ට් පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගනිමින්.

දකුණු අප්‍රිකාවට දෙවන වරත් පිට පිටම පන්දුවට පහර දීමට එංගලන්තය විසින් ආරාධනා කළ අතර එවරද අසාර්ථක වූ ඔවුන් පන්දු ඕවර 43 පන්දු 2 කදී ලකුණු 134 කට සියලු දෙනා දැවී යන්නේ එංගලන්තයට ඉණිමක හා ලකුණු 197 ක ජයක් ලබා දෙමිනුයි. තෙවන තරඟයත් ජය ගන්නා ඔවුන් තරඟාවලියේ ජය 3-0 ලෙස තමන් සතු කර ගන්නවා.

ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි –9/52 ඕස්ට්‍රේලියාවට එරෙහිව 1985

Adrian Murrel/ Getty Images

ක්‍රි.ව 1985 වසරේ පැවති නවසීලන්තයේ ඕස්ට්‍රේලියා සංචාරයට ටෙස්ට් තරඟ 3 ක් ඇතුළත් වුණා. එහි ප්‍රථම තරඟය 1985 නොවැම්බර් මස 8 වැනිදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණේ බ්‍රිස්බේන් හි ගැබා පිටියේයි. මෙය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1029 වන තරඟය වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ජෙරමි කෝනි පළමුවෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කරන අතර එය නිවැරදි බව තහවුරු කරමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් රිචඩ් හැඩ්ලිගේ දෝලනය වන පන්දු හමුවේ දැඩි අසීරුතාවයකට පත් වෙන්නට පටන් ගන්නවා. පන්දු ඕවර 76 කුත් පන්දු 4 ක් පුරාවට මන්දගාමීව ඇදී ගිය ඕස්ට්‍රේලියානු ඉණිම ලකුණු 179 කට අවසානයේ සීමා වෙනවා. මෙහිදී හැඩ්ලි ප්‍රතිවාදී පිළෙහි කඩුළු 9ක් ම ඩැහැගෙන තිබුණේ ලකුණු 52 ක් පමණක් ලබා දෙමිනුයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ පසු කලෙක දකුණු අප්‍රිකාවේ නායකයා වූ ආරම්භක පිතිකරු කෙප්ලර් වෙසල්ස් ලකුණු 71ක් ලබාගෙන තිබුණා.

පිලිතුරු ඉණිම ලෙස නවසීලන්තය ලකුණු 553/7 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරනවා. පන්දු ඕවර 161 ක් තුළදී වාර්තා වූ මෙය ගොඩනැඟීමෙහි ලා ප්‍රධාන වශයෙන් ජෝන් රීඩ් හා මාටින් ක්‍රෝ ගේ ශතකයන් ඉවහල් වුණා. මෙහිදී රිචඩ් හැඩ්ලි අර්ධ ශතකයක් ලබා ගැනීමද විශේෂත්වයක්.

ඉණිමක පරාජයෙන් බේරීමට නම් ඕස්ට්‍රේලියාවට ලකුණු 374 ක් රැස් කිරීමට සිදු වූ අතර ඔවුන්ගේ මුල් කඩුළු 5 ම ලකුණු 67 ක් තුළ බිඳී ගියත් තමන් තවමත් සටන අත් හැරීමට සූදානම් නොමැති බව පෙන්වූ ඕස්ට්‍රේලියා නායක ඇලන් බෝඩර් තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රෙග් මැතිවුස් සමඟ 6 වන කඩුල්ලට ලකුණු 197 ක දැවැන්ත සබඳතාවක් පවත්වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමිනුයි. කෙසේ නමුත් අවසානයේ මැතිවුස් ඉවත් කිරීමට හැඩ්ලි සමත් වන අතර ඉතිරි කඩුළු කිහිපයත් ඉක්මනින්ම බිඳ වැටී ඕස්ට්‍රේලියානු ඉණිම ලකුණු 333 කට සීමා වෙනවා. නවසීලන්තයට ඉණිමක හා ලකුණු 41 ක ජයක් ලැබෙනවා. මෙවරද පිතිකරුවන්ගේ ප්‍රධාන භීතිකාව වූ හැඩ්ලි ලකුණු 71 කට කඩුළු 6 ක් බිඳ හෙළනවා. එක් අන්තයක කඩුල්ල රැකගත් බෝඩර් නොදැවී ලකුණු 152 ක් ලබා ගන්නවා.

සිඩ්නි හිදී පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ඕස්ට්‍රේලියාවට ජය ලැබුණත් නැවත පර්ත් හි පැවති තෙවන ටෙස්ට් තරඟය ජය ගන්නා නවසීලන්තය ටෙස්ට් තරඟාවලිය 2-1 ලෙස ජය ගන්නවා.

ඩෙවොන් මැල්කම් – 9/57 දකුණු අප්‍රිකාවට එරෙහිව 1994

wisden.com

දකුණු අප්‍රිකාවේ 1994 එංගලන්ත සංචාරයට ටෙස්ට් තරඟ 3ක් ඇතුළත් වුණා. ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරඟය දකුණු අප්‍රිකාව ජයගෙන තිබුණු අතර ලීඩ්ස් හි පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබූ නිසා තරඟාවලිය පරාජය වීමේ අවදානමෙන් මිදෙන්නට නම් තෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීම එංගලන්තයට අත්‍යවශ්‍ය සාධකයක් වී තිබුණා.

ක්‍රි.ව 1994 අගෝස්තු මස 18 වනදා එංගලන්තයේ ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී තරඟාවලියේ තෙවන ටෙස්ට් තරඟය ඇරඹුණේ ජගත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1266 වන ටෙස්ට් තරඟය ලෙසයි. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක කෙප්ලර් වෙසල්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දු ඕවර 92 කුත් පන්දු 2 ක් ඇතුලත සියලු දෙනා දැවී ලකුණු 332 ක් ලබා ගන්නා ලද අතර ඒ සඳහා සම්මාදම් වූ බ්‍රයන් මැක්මිලන් හා ඩේවිඩ් රිචඩ්සන්ගේ අර්ධ ශතක දකුණු අප්‍රිකා ඉණිමට අලෝකයක් ගෙන ආවා. පිළිතුරු ලෙස සිය පළමු ඉණිම ක්‍රියාත්මක කළ එංගලන්තයට පන්දු ඕවර 77ක් නිමාවේ ලබාගත හැකි වෙන්නේ සියලු දෙනා දැවී ලකුණු 304 ක් පමණයි. මේ ඉණිමේදී ද අර්ධ ශතක දෙකක් වාර්තා වුණු අතර ඒවා ග්‍රැහැම් තෝප් ට හා ඇලෙක් ස්ටුවර්ට්ගේ පිත්තෙන් වාර්තා වුණා.

ලකුණු 28ක් පමණක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් බලාපොරොත්තු වූයේ හැකිතාක් ඉහළ ඉලක්කයක් එංගලන්තයට ලබා දීමටයි. කෙසේ නමුත් ඉක්මනින්ම එය සිතූ තරම් පහසු නොවන බව ඔවුනට වැටහෙන්නට ගත්තා. ඩෙවොන් මැල්කම්ගේ වේග පන්දු හමුවේ අසරණ වන ඔවුන්ගේ සියලු ක්‍රීඩකයින් ලකුණු 175 කට දැවී යනවා. ඉණිමේ දැවී ගිය කඩුළු 10න් 9ක්ම මැල්කම්ගේ ගොදුරු වුණා. සියල්ල අවසානයේ මැල්කම්ගේ පන්දු යැවීමේ වාර්තාව දිස් වුණේ 9/57 ලෙසයි. මෙහිදී හුදෙකලා සටනක නිරත වූ ඩැරල් කලිනන් ලකුණු 94ක් රැස් කරගෙන තිබුණා.

එංගලන්ත පිතිකරුවන් කඩුළු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය වන 204 පසු කළ අතර ඒ අනුව තරඟාවලිය 1-1 ලෙස සම වුණා.

කවරයේ පින්තූරය – cricket.wikia.com

Related Articles