Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පෞද්ගලික ඉණිම්

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ක්‍රීඩා කරන ලද හොඳම හා ඉහළම තනි පුද්ගල ඉණිම් කිහිපය ගැන සවිස්තරාත්මක තොරතුරු අපි පසුගිය ලිපි පෙළකින් ඔබ වෙත ගෙන ආවා. වසර 140ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තරම් පැරණි නොමැති මුත්, එක්දින තරඟ වලට ඇති ජනප්‍රියතාවය සමහර විටෙක ටෙස්ට් තරඟත් ඉක්මවා යන්නක්. ටෙස්ට් තරඟ මෙන් නොව එක්දින තරඟයක බොහෝ විට තීරණයක් ලැබෙන නිසා ඒවායේ ක්‍රීඩා කරන විශේෂිත පෞද්ගලික ඉණිම් බොහෝ විටෙක එම තරඟයේ ඉරණම විසඳනවා. මේ ලිපි පෙළින් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කලේ එදා මෙදා තුර ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තා වූ ඉහළම පෞද්ගලික ඉණිම් කිහිපය ගැන සවිස්තර වාර්තාවකුයි.

පලමු එක්දින ද්විත්ව ශතකය ලබාගත් සචින් තෙන්ඩුල්කාර් -indianexpress.com

රෝහිත් ශර්මා 264

indianexpress.com /PTI

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 3544 වන තරඟය පැවතියේ 2014 වසරේ නොවැම්බර් මස 13 වන දින කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී සත්කාරක ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතරයි. බ. ඉ කොදෙව්වන් සිය ඉන්දීය සංචාරය අතරමග නතර කර දැමීම නිසා එහි පුරප්පාඩුව පිරවීමට ලැබුණු ආරාධනාව හදිසියේ පිළිගත් ශ්‍රී ලංකාව මේ තරඟාවලියට අඩු පෙර සූදානමකින් යුතුව තරඟ වැදුණා.

තරඟාවලියේ මුල සිටම ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල තරඟ රටාවක් ප්‍රදර්ශණය කරන ලද අතර, පළමු තරඟ 3ම අන්ත ලෙස පරාජය වී සිටියා. මේ තරඟ තුනටම රෝහිත් ශර්මා සහභාගී නොවූ අතර කල්කටාවේ පැවති සිවුවන එක්දින තරඟයට ඔහුව කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කරනවා. කාසියේ වාසිය දිනන ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම මේ දිවා රාත්‍රී තරඟයේ පන්දුවට පහර දීමේ වාරය තම පිළට ලබා ගන්නවා. ආරම්භක පිතිකරුවන් වශයෙන් අජින්ක්‍යා රහනේ හා රෝහිත් ශර්මා පිටියට පිවිසෙනවා.

බොහෝ දිනයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි ශර්මා ආරම්භයේදී හොඳින් පන්දුව කල් මනින්නේ නැහැ. ඔහු ලකුණු 4 ක් ලබා සිටියදී ලබා දුන් උඩපන්දුවක් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ඔහු දිගට හරහට ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට බැට දෙනවා.

ඉන්දීය ඉණිමේ කඩුළු දෙකක් ලකුණු 59 වෙද්දී බිඳවැටුණත් නායක විරාත් කෝලි සමඟ පිටියේ එක් වන ශර්මා ලකුණු 202 ක සම්බන්ධතාවයක් පවත්වනවා. නායක කෝලි ලකුණු 66 කට පිටියෙන් ඉවත් වූ පසුත් දිගටම පිටියේ ස්ථාවර වූ ඔහු ඉණිමේ අවසාන පන්දුවේදී දැවී යන විට ලකුණු 264 ක් ලබා තිබුණේ එවකට විරේන්ද්‍ර සේවාග් සතුව තිබූ හොඳම එක්දින ඉණිමේ වාර්තාව වන ලකුණු 2019 තවත් ලකුණු 45 ක් ඉදිරියට ගෙන යමින්. මේ සඳහා ඔහුට පන්දු 173 ක් වැය වී තිබුණු අතර එම ඉණිමට 4 පහර 33ක් ද 6 පහර 9ක් ද අන්තර්ගත වී තිබුණා. මේ රෝහිත් ශර්මාගේ 2 වන එක්දින ද්විත්ව ශතකයයි. මේ ඉණිම දියත් කිරීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අතින් උඩපන්දු කිහිපයක්ම අත්හැරීමත් විශේෂයි. පන්දු ඕවර 50 අවසානයේ ඉන්දීය ඉණිම කියැවුණේ 404/5 ලෙසයි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළේ සියළු දෙනාම පන්දු ඕවර 43කුත් පන්දුවක් තුළ ලකුණු 251 කට සීමා වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 75 ක් හා ලහිරු තිරිමාන්න තවත් අර්ධ ශතකයක් (59) ලබා ගන්නවා. මේ අනුව ඉන්දියාවට ලකුණු 153 ක දැවැන්ත ජයක් ලැබෙන අතර 5 වන තරඟයත් ජයගන්නා ඔවුන් තරඟාවලිය 5-0 ලෙස ජයගන්නවා.

මාටින් ගප්ටිල් 237 (නොදැවී)

Getty Images

ජාත්‍යන්තර එක්දින තරඟ ඉතිහාසයේ 3643 වන තරඟය පැවැත්වුණේ 2015 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් ලෙස, 2015 මාර්තු 21 දා නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් අතරයි. නවසීලන්තයේ වෙලින්ටන් නුවර පැවති මේ තරඟයේ කාසිය වාසිය දිනාගන්නා නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාගන්නා අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙන්නේ  නායක් මැකලම් හා මාටින් ගප්ටිලුයි.

මුළු ලකුණු 27 වන විට ලකුණු 12 කට නායක මැකලම් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජෙරෝම් ටේලර් සමත් වන අතර ඉන් පසු පන්දුවට පහර දීමට පැමිණෙන කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 50 සීමාවට ලඟා වීමට නොදීමට බ.ඉ.කො ක්‍රීඩකයන් වගබලාගන්නවා. කෙසේ නමුත් එක අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු ඕවර 50 ම නොදැවී සිටි මාටින් ගප්ටිල් ඉතා ප්‍රචණ්ඩකාරී ඉණිමක් දියත් කරමින් නොදැවී ලකුණු 237 ක් ලබාගන්නේ පන්දු 163 කට මුහුණ දෙමිනුයි. පිටිය සිසාරා පහරවල් එල්ල වූ මේ ඉණිමට යෝධ 6 පහර 11 ක් හා 4 පහර 24 ක් අන්තර්ගතව තිබුණු අතර පන්දු ඕවර 50 ක් අවසන නවසීලන්ත ලකුණු පුවරුව කියැවුණේ 393/6 ලෙසයි

පිළිතුරු ඉණිම දියත් කිරීමට පිටියට බට බටහිර ඉන්දීය කොදෙව්වන්ද සටන අත්හරින සෙයක් දිස් වුණේ නැහැ. ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 33ක් තුල ලකුණු 61 ක් ලබාගන්නේ යෝධ 6 පහරවල් 8ක් ද සහිතවයි. සෑම විටම ලබාගත යුතු දළ ලකුණු වේගය පවත්වාගෙන ගියත් තීරණාත්මක අවස්ථා වලදී වැටුණු කඩුළු කොදෙව්වන්ගේ ගමන අඩාල කරනවා. පන්දු ඕවර 30 යි පන්දු 3ක් නිමා වන විට ලකුණු 250 ක් තරම් ඉහළ ලකුනු ගණනක් ලබා සිටියත් සියළු දෙනාම දැවී යාම නිසා බටහිර ඉන්දීය කොදෙව් ඉණිම නිමා වන්නේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ කරමින්. මේ තරඟයෙන් ලකුණු 143 ක ජයක් නවසීලන්ත පිළ ලබාගන්නා අතර ඔවුන් තරඟාවලිය නිමා කරන්නේ අනුශූරයින් වශයෙනුයි.

විරේන්ද්‍ර සේවාග් 219

thecommonmanspeaks.com

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 3223 වන තරඟය පැවැත්වුණේ ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ඉන්දියාවේ ඉන්දෝර් හීදියි. තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ සිවුවන තරඟය වූ මෙයට පැමිණෙන විට 2-1 වශයෙන් ඉදිරියෙන් සිටියේ ඉන්දියාවයි.

කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායක විරේන්ද්‍ර සේවාග් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනවා. පිතිකරුවන්ට වඩා උචිත තණනිල්ලේ උපරිම ප්‍රයෝජනය ගත් ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන නායක සේවාග් හා ගෞතම් ගම්භීර් පළමු කඩුල්ලට ලකුණු 176 ක ප්‍රවේගකාරී සම්බන්ධතාවයක් දියත් කරනවා. මාලන් සැමුවෙල්ස්ගේ සාර්ථක පන්දු නැවත භාරදීමක් නිසා ගෞතම් ගම්භීර් ලකුණු 67 කට ක්‍රීඩාගාරයට යැවෙන අතර ඉන්පසු පැමිණි සුරේෂ් රයිනාද සේවාග්ට අනඟි සහයක් ලබා දෙමින් අර්ධ ශතකයක් ලබාගනන්නවා. දෙවන කඩුල්ලේ සබඳතාවත් ලකුණු 140 ක් දක්වා ඇදී ගිය අතර පන්දු ඕවර 46 කටත් වඩා කඩුල්ලේ රැඳී සිටි සේවාග් අවසානයේ ලකුණු 219 ක් ලබාගන්නේ පන්දු 149කට පමණක් මුහුණ දෙමින්. මේ ප්‍රචණ්ඩකාරී ඉණිමට 4 පහරවල් 25ක් මෙන්ම 6 පහරවල් 7ක් ද අන්තර්ගතව තිබුණා. පන්දු ඕවර 50 නිමාවේ ඉන්දීය ලකුණු පුවරුව යෝධ 418ක් වන විට කඩුළු 5ක් පමණක් දැවී ගොස් තිබුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැහැ. සටන්කාමී ඉණිමක් දියත් කළ කඩුළු රකින ක්‍රීඩක දිනේෂ් රම්ඩීන් පමණක් ලකුණු 96ක් ලබාගන්නවා. පන්දු ඕවර 49.2 තුළ කොදෙව් ඉණිම ලකුණු 265 කට සීමා වන අතර ඉන්දියාවට ලකුණු 153ක ජයක් ලැබෙනවා. 5 වන හෙවත් අවසන් තරඟයද ජයගන්නා ඉන්දියාව තරඟාවලිය ජයගන්නේ 4-1 ලෙසයි.

සිම්බාබ්වේට එරෙහි ක්‍රිස් ගේල්ගේ ප්‍රචණ්ඩ ඉණිම, ඕස්ට්‍රේලියාවට පාඩමක් ඉගැන්වූ රෝහිත් ශර්මාගේ ඉණිම ඇතුළු තවත් රසබර තොරතුරු දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තූරය – independent.co.uk/ Getty Images

Related Articles