Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම එක්දින පන්දු යැවීම්

වසර 50 කට ආසන්න එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පුරාවට විශිෂ්ට පන්දු යැවීමේ දක්ෂතා රාශියක් වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත් ටෙස්ට් තරගවල දී මෙන් නොව එක්දින ජාත්‍යන්තර ඉනිමක දී කඩුළු 8 කට වඩා දවාගන්නට අද වන තුරුත් කිසිවෙක් සමත් වී නැති අතර, කඩුළු 7ක් දවාගත් අවස්ථාවන් ද වාර්තා වන්නේ ඉතා අඩුවෙනුයි. එදා මෙදා තුර එක්දින ඉනිමක පන්දු යවන්නෙකු දක්වා තිබෙන ඉහළම දක්ෂතා කිහිපය පහත පරිදි වෙනවා.

චමින්ද වාස්- 8/19

sportzwiki.com

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 1776 වන තරගය පැවතියේ 2001 වසරේ දෙසැම්බර් මස 8 වන දා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර යි. එල්.ජී අබාන්ස් තුන්කොන් කුසලානයේ පළමු තරගය ලෙස පැවති මේ තරගය ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය පළමුව පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ පිළට ආරාධනා කරනවා. ඔහුගේ තීරණය නිවැරදි එකක් බව ප්‍රකට කරමින් සිම්බාබ්වේ පිතිකරුවන් එකා පසුපස එක ආරම්භක වේග පන්දු යවන චමින්ද වාස්ට ගොදුරු වෙනවා. අවසන සිම්බාබ්වේ සියළු කඩුළු පන්දු ඕවර 16ක් තුළ බිඳී යන්නේ ලකුණු 38කට යි. එය එවකට ලොව කණ්ඩායමක් එක්දින තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව යි. මෙහිදී වාර්තාගත පන්දු යැවීමක නිරත වූ චමින්ද වාස් පන්දු ඕවර 8ක දී ලකුණු 19කට කඩුළු 8ක් බිඳ හෙළා තිබුණා. විශේෂත්වය වන්නේ ඔහු මේ වික්‍රමය කරන අතරතුර කඩුළු ත්‍රිත්වයක් ද ලබා ගැනීම යි. තරගයේ 11 වන ඕවරයේ අනුයාත පන්දු 3ක දී ඔහු සිම්බාබ්වේ නායක ස්ටුවර්ට් කාලයිල්, ක්‍රෙග් විශාට් හා ටටෙන්ඩා තයිබු දවාගෙන මේ වික්‍රමය සිදු කළා.

පිළිතුරු ඉණිම දියත් කළ ශ්‍රී ලංකාව පන්දු ඕවර 4කුත් පන්දු 2ක දී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉළක්කය පසු කරනවා. වාස්ගේ මෙම වාර්තාව අද වන තුරුත් නොබිඳී පවතින අතර. මේ වන තුරුත් වෙනත් කිසිවෙක් එක්දින තරගයක දී කඩුළු 8ක් හෝ ඊට වඩා දවාගෙන නැහැ.

ෂහිඩ් අෆ්‍රිඩි – 7/12

en.dailypakistan.com.pk

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 3389 වන තරගය පැවතියේ 2013 වසරේ ජූලි මස 14 වන දා ගයනාවේ ප්‍රොවිඩන්ස්හී දී යි. පාකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම තරගය ලෙස පැවති මෙහි කාසිය වාසිය දිනූ කොදෙව් නායක ඩ්වේන් බ්‍රාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස පාකිස්ථානයට ආරාධනා කරනවා. ඒ අනුව පළමු ඉණිම දියත් කළ පාකිස්ථානය සිය පන්දු ඕවර 50 අවසන කඩුළු 9කට ලකුණු 224ක් ලබාගන්නවා. එහිදී වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 55 කින් ලකුණු 76 ක් ලබාගාත් ෂහිඩ් අෆ්‍රිඩි යි.

පිළිතුරු ඉණිම ක්‍රියාත්මක කළ කොදෙව්වන්ට පාකිස්ථාන පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ අනපේක්ෂිත ප්‍රහාරයක්. මෙය හමුවේ අසරණ වූ කොදෙව්වන්ගේ ඉණිම පන්දු ඕවර 41ක් තුළ නිමාවන්නේ ලකුණු 98ක් පමණක් ලබාගෙන සිටිය දී යි. නැවත ක්‍රියාත්මක වූ අෆ්‍රිඩි සිය දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරගත්තේ පන්දු ඕවර 9 ක දී ලකුණු 12කට කඩුළු 7ක් බිඳ හෙළමිනුයි. මේ අනුව ලකුණු 126ක දැවැන්ත ජයක් පාකිස්ථානයට උරුම වුණා.

ග්ලෙන් මැග්‍රාත්- 7/15

Getty Images

2003 වසරේ ලෝක කුසලානයේ පළමු වටයේ තරගයක් ලෙස ඕස්ට්‍රේලියාව හා නැමීබියාව අතර පැවති තරගය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 1970 වන තරගය වුණා. දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ටෲම්හි 2003 වසරේ පෙබරවාරි මස 27 වන දා පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ලබාගත්තා. මේ අනුව සිය පන්දු ඕවර 50 අවසන ඕස්ට්‍රේලියාව කඩුළු 6ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් වුණා. මැතිව් හේඩන්, ඇන්ඩෲ සයිමන්ස් හා ඩැරන් ලීමන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රියාත්මක කිරීමට පිටියට පැමිණි අත්දැකීම් අඩු නැමීබියා පිතිකරුවන් ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ආරම්භයේ සිටම දැඩි ලෙස පසුබෑවා. විශේෂයෙන් ආරම්භක පන්දු යවන ග්ලෙන් මැග්‍රාත්ගේ පන්දුවලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔවුනට කිසිදු අදහසක් තිබුණේ නැහැ. නැමීබියා පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට මැග්‍රාත් සමත් වූ අතර ඉණිම අවසන ඔහුගේ පන්දු යැවීමේ දත්තයන් කියැවුණේ පන්දු ඕවර 7ක දී ලකුණු 15කට කඩුළු 7ක් ලෙස යි. නැමීබියා කණ්ඩායමේ සියළු දෙනා පන්දු ඕවර 14ක දී ලකුණු 45කට දැවී ගිය අතර ලකුණු 10 සීමාට ළඟා විය හැකි වූයේ නායක ඩියොන් කොට්සේට පමණ යි. මේ අනුව ලකුණු 256ක දැවැන්ත ජයක් ඕස්ට්‍රේලියාව සතු වුණා. මෙයින් නොනැවතුණු ඔවුන් තරගාවලිය තුළ අපරාජිතව සිටිමින් ශූරතාවය ද ලබාගත්තා.

රෂිඩ් ඛාන්- 7/18

crictracker.com

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 3884 වන තරගය පැවතියේ ඇෆ්ඝනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් අතර ග්‍රොස් අයිලට්ස්හි දී යි. 2017 වසරේ ජුනි මස 9 වන දා පැවති මේ තරගය දෙරට අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය වුණා.

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන නායක අස්ඝර් ඇෆ්ඝන් පළමුවෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කළ අතර සිය ඕවර් 50 නිමවන විට කඩුළු 6කට ලකුණු 212ක් රැස් කරගන්නවා. ආරම්භක පිතිකරු ජාවෙඩ් අහමඩි ලකුණු 81ක් ලබාගෙන තිබූ අතර, කොදෙව්වන්ට ලැබුණු ලකුණු 213ක ඉළක්කය ඔවුන් පහසුවෙන් හඹා යනු ඇතැ යි මත පළ වුණා.

පන්දුවට පහරදීමට පිටියට පැමිණි කොදෙව්වන්ට ඉක්මණින්ම ප්‍රත්‍යක්ෂ වූයේ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් හමුවේ මේ ඉළක්කයට යාම හිතූ තරම් පහසු නොවන බව යි. විශේෂයෙන් පා දඟ පන්දු යවන රෂීඩ් ඛාන් හමුවේ අසරණ වූ ඔවුන් සියළු දෙනා අවසානයේ පන්දු ඕවර 45ක් තුළ ලකුණු 149කට දැවී ගියේ ඇෆ්ඝනිස්තානයට ලකුණු 63ක ජයක් අත් කර දෙමින්. ලොව තෙවන හොඳම එක්දින පන්දු යැවීම සිදුකරන්නට රෂිඩ් ඛාන් සමත් වී තිබූ අතර, ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාව කියැවුණේ පන්දු ඕවර 8.4ක දී ලකුණු 18කට කඩුළු 7ක් ලෙස යි. මෙය නවක කණ්ඩායමක් වන ඇෆ්ඝනිස්තානය ලද සුවිශේෂ ජයක් වෙනවා.

කවරයේ පින්තූරය- ICC/scoopnest.com

Related Articles