Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ක්‍රිකට් පිටියේ තවත් හොඳම පෞද්ගලික ඉණිම්

වසර 47 ක ඉතිහාසයකට උරුමකම් කියන ජගත් එක්දින ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ක්‍රීඩයෙක් විසින් රැස්කරගන්න ලද ඉහළම පෞද්ගලික ඉණිම් 3 ගැන සවිස්තර තොරතුරු අපි මේ ලිපි පෙළෙහි පළමු ලිපියෙන් ඔබත් සමඟ බෙදාගත්තා. ශ්‍රී ලංකාවට එරෙහි රෝහිත් ශර්මාගේ විශිෂ්ට ඉණිමත්, මාටින් ගප්ටිල් ගේ නොදැවුණු ලෝක කුසලාන ඉණිමත් විරේන්ද්‍ර සේවාග් ගේ ප්‍රචණ්ඩ ඉණිමත් ගැන අපි එහිදී සාකච්ඡා කළා. මේ ලිපියෙන් අපි ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 4, 5, හා 6 හි රැඳී තිබෙන ඉණිම් ත්‍රිත්වය ගැන සාකච්ඡා කරමු.

ක්‍රිස් ගේල් – 215

Getty Images

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 3612 වන තරඟය පැවතියේ 2015 වසරේ පෙබරවාරි 24 දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරයි. එය 2015 ක්‍රිකට් ලෝක කුසලාන, පළමු වටයේ තරඟයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ දේශය අතර පැවතුණු අතර කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතිල්ලේ පලමුවෙන් පන්දුවට පහරදීමේ වාරය ලබා ගන්නවා. එම තීරණය නිවැරදි දෝයි ප්‍රශ්ණාර්ථයක් මතු කරමින් කොදෙව් ඉණිමේ දෙවන පන්දුවේදීම ආරම්භක පිතිකරු ඩ්වේන් ස්මිත් නැවත් ක්‍රීඩාංගනයට හරවා යැවීමට සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක තිනාෂේ පනයන්ගාරා සමත් වෙනවා.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙන්නේ මාලන් සැමුවෙල්ස්. ඔහු පිටිය මැදට එන විට ඊළඟ පැය කිහිපය තුළදී ක්‍රිකට් ඉතිහාසය නැවත ලි‍යැවෙනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති. අනෙක් අන්තයේ සිටි ක්‍රිස් ගේල් සමඟ එක් වන සැමුවෙල්ස් සිම්බාබ්වේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරන්නට පටන් ගන්නවා. සැමුවෙල්ස්ටත් වඩා ප්‍රචණ්ඩව පිත්ත හසුරවන්නට ගන්නා ගේල් කෙටි කාලයක් තුළ සැමුවෙල්ස් අභිබවා යන අතර කොදෙව් ඉණිමේ අවසාන පන්දුවේදී දැවී යන විට ඔහු ලකුණු 215 ක් ලබා තිබුණේ පන්දු 147 කට පමණක් මුහුණ දෙමින්. මේ ඉණිමේ දී ගේල් විසින් 4 පහරවල් 10 ක් පමණක් එල්ල කර තිබුණු අතර එම අඩුව පුරවමින් යෝධ 6 පහරවල් 16 කින් සිය ඉණිම වර්ණවත් කරගෙන තිබුණා. මේ අනුව එවකට එක්දින ඉණිමක වැඩිම 6 පහරවල් සංඛ්‍යාව සඳහා ලෝක වාර්ථාව සම කිරීමට ඔහු සමත් වෙනවා. මෙය ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකයයි. අනෙක් අන්තයේ නොදැවී සිටි මාලන් සැමුවෙල්ස් පන්දු 156 ක් තුල ලකුණු 133 ක් ලබා සිටි අතර අවසානයේ කොදෙව් ඉණිම කියවුණේ 372/2 ක් ලෙසයි. ගේල් හා සැමුවෙල්ස් දෙවන කඩුල්ල සඳහා ලකුණු 372 ක සබඳතාවක් පිහිටුවාගෙන තිබුණු අතර එය එක්දින ජාත්‍යන්තර තරඟ වලදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ ඉහළම සබඳතාව ලෙස අදටත් නොබිඳී පවතිනවා.

සිම්බාබ්වේ පිළිතුරු ඉණිම ආරම්භ වී පන්දු ඕවර 2 කින් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ අතර මද වේලාවකින් තරඟය නැවත ආරම්භ වූ මුත් පන්දුවාර 48 කට එය සීමා වුණා. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව සිම්බාබ්වේ පිළට එල්ල වූ නව ඉළක්කය ලකුණු 363 ක් වූ අතර, හොඳින් පන්දුවට පහර දුන්නත් පන්දු ඕවර 44 පන්දු 3 තුළ ඔවුන් සියළු දෙනා දැවී යන්නේ කොදෙව්වන්ට ලකුණු 73 ක ජයක් ලබා දෙමින්. මේ ඉණිමේදී සිම්බාබ්වේ වෙනුවෙන් ශෝන් විලියම්ස් හා ක්‍රෙග් අර්වින් අර්ධ ශතක ලබාගත්තද තරඟය ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

රෝහිත් ශර්මා – 209

news18.com

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ 2013/14 ඉන්දියානු සංචාරයට එක්දින තරඟ 7 ක් ඇතුලත් වුණත් එහි සිව්වන හා පස්වන තරඟ වර්ෂාවට හේදී ගියා. සත්වන තරඟයට පැමිණෙන විට කණ්ඩායම් දෙකම තරඟ 2 බැගින් දිනා සම තත්ත්වයක සිටි බැවින් මේ තරඟය ඉතා උණුසුම් මුහුණවරක් ගත්තා. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 3428 වන තරඟය ලෙස පැවැත්වුණු මෙය පැවැත්වුණේ ඉන්දියාවේ බැංගලෝර් නුවර 2013 වසරේ නොවැම්බර් දෙවනිදායි.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ජෝර්ජ් බේලි පළමුවෙන් පන්දුවට පහර දෙන්නට ඉන්දියානු කණ්ඩායමට ආරාධනා කරනවා. මෙයින් උපරිම ප්‍රයෝජන ගන්නා ඉන්දියානු කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේ යෝධ ලකුණු 383ක් ලබාගන්නේ කඩුළු 6 ක් පමණක් අහිමි කරගෙනයි. ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් හා නායක මහේන්ද්‍ර සිං දෝනි අර්ධ ශතක ලබාගෙන තිබුණත් ඉන්දීය ඉණිමේ විශිෂ්ටතම ඉණිම දියත් කර තිබුණේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා යි. අවසාන ඕවරයේ දැවී යන විට පන්දු 158 කට මුහුණදී ලකුණු 209 ක් ලබා තිබුණු ඔහු 4 පහරවල් 12ක් ද 6 පහරවල් 16ක් ද එල්ල කොට ඕස්ට්‍රේලියාව අන්ත අසරණ කොට තිබුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්වමින් තරඟයට අවතීරණ වුණා. ඉන්දියානු පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන් ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 22ක් තුල ලකුණු 60 ක්ද, ශේන් වොට්සන් පන්දු 22 කින් ලකුණු 49 ක්ද ලබාගත් අතර තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් පන්දු 73 ක් තුළ ලකුණු 116 ක් ලබාගනිමින් තරඟාවලියේ ජයග්‍රහණය සිය කණ්ඩායම දෙසට දෝලනය කරගැනීමට උත්සාහ කළත් අවසානයේ පන්දු ඕවර 45.1 කදී ඔවුන්ගේ සියළු ක්‍රීඩකයින් දැවී ගියේ ඉන්දියානුවන්ට ලඛුණු 57 ක ජයක් ගෙන දෙමින්. ඒ අනුව තරඟාවලියද 3-2 ලෙස ඉන්දියානුවන් ජයගත්තා. රෝහිත් ශර්මා තරඟයේ වීරයා වූ අතර තරඟාවලිය තුල මීට පෙර ශතකයක්ද අර්ධශතකයක්ද රැස් කර තිබූ නිසා තරඟාවලියේ වීරයා ලෙසද පිදුම් ලැබුවා.

සචින් තෙන්ඩුල්කාර් -200 (නොදැවී)

AFP

ජාත්‍යන්තර එක්දින තරඟ ඉතිහාසයේ 2962 වන තරඟය පැවතියේ සංචාරක දකුණු අප්‍රිකාව හා සත්කාරක ඉන්දියාව අතර 2010 වසරේ පෙබරවාරි 24 වනදා ඉන්දියාවේ ග්වලියර් හීදීයි. මේ වසරේ දකුණු අප්‍රිකාවේ ඉන්දියානු සංචාරයට එක්දින තරඟ 3ක් ඇතුලත්වූ අතර එහි දෙවන තරඟය වූ මෙයට පැමිණෙන විට ඉන්දියාව පළමු තරඟය එක ලකුණකින් ජයගෙන තරඟාවලියේ 1-0 ලෙස ඉදිරියෙන් සිටි අතර දකුණු අප්‍රිකාවට තරඟාවලිය පරාජය නොවී සිටීමටනම් මෙය ජය ගත යුතුම වුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝණි පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය ලබාගත් අතර මුලු ලකුණු තත්වය 21 ක් ව තිබියදී විරේන්ද්‍ර සේවාග් පිටියෙන් ඉවත් කිරීමට වේන් පානෙල්ට හැකි වෙනවා. ඒ කෙසේ වෙතත් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි සචින් තෙන්ඩුල්කාර් ක්‍රම ක්‍රමයෙන් පිටියේ ස්ථාවර වන අතර පසුව පන්දුවට පහර දීමට පැමිණි දිනේෂ් කාර්තික් (79), යුසුෆ් පතාන් (36) හා නායක දෝණි (68 නොදැවී) සමඟ අගනා හා ප්‍රචණ්ඩාකාරී සම්බන්ධතා ගොඩනඟමින් ඉන්දීය ලකුණු පුවරුව ඔසවා තබනවා. වසර ගණනාවක් පාකිස්තානයේ සයිඩ් අන්වර් සතුව පැවති ලොව ඉහළම එක්දින ඉණිමේ ලෝක වාර්තාව (මේ වන විට සිම්බාබ්වේ හි චාල්ස් කවන්ට්‍රී ද මෙය සම කර තිබුණා) තමන් සතු කරගත් තෙන්ඩුල්කාර් ඉන්දීය ඉණිමේ අවසාන ඕවරයේ තෙවන පන්දුවේදී ඊට තවත් වටිනාකමක් එක් කරමින් ලොව ප්‍රථම එක්දින ජාත්‍යන්තර ද්විත්ව ශතකය ලබාගන්නවා. ඉන්දීය ඉණිම නිමා වන විට 401/3 ලෙස දැක්වුණු අතර සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 200ක් ලබා සිටියා.

පිළිතුරු ඉණිම දියත් කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ තබන්නේ නැහැ. ඒ.බී ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන අගනා ශතකයක් හෙවත් ලකුණු 114 ක් නොදැවී ලබාගත්තත් අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාවටවත් ලඟා වීමට නොහැකි වෙනවා. අවසානයේ පන්දු ඕවර 42 යි පන්දු 5ක් තුළ ලකුණු 248ක් ලබා තිබියදී දකුණු අප්‍රිකා ඉණිම නිමා වන්නේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 153 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙමින්. අවසාන තරඟය දකුණු අප්‍රිකාව ජයගත්තත් ඉන්දියාව තරඟාවලි ජයග්‍රහණය ලබා ගන්නේ 2-1 ලෙසයි.

එක්දින ජාත්‍යන්තර තරඟ වල ඉහළම ඉණිම ලෙස දිගු කාලයක් වාර්තාව ඉසිලූ සයිඩ් අන්වර්ගේ ඉණිම ඇතුළු තවත් ඉණිම් කිහිපයක් තෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තූරය – Getty Images

Related Articles