Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ තවත් හොඳම පෞද්ගලික ඉණිම් කීපයක්

වසර 140 ක ඉතිහාසයකට හිමිකම් කියන ලෝක ක්‍රිකට් පිටියේ හොඳම පෞද්ගලික ඉණිම් 3 පසුගිය ලිපියෙන් අපි ඔබ වෙත ගෙන ආවා. බ්‍රයන් ලාරා විසින් ලකුණු 375 ක් රැස් කරගෙන ලෝක වාර්තාව තැබූ ආකාරයත්, මැතිව් හේඩන් එය බිඳ දැමූ ආකාරයත්, වැඩිකල් යන්නට මත්තෙන් නැවතත් ලාරා එය නැවතත් තම නමට ලියවා ගත් ආකාරයත් එම ලිපියෙන් ඔබ කියවන්නට ඇති. එහි දෙවන කොටසින් තවත් එවැනිම විශිෂ්ට ඉණිම් කිහිපයක් ගැන තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්නට සිතුවා.

මහේල ජයවර්ධන 374

Reuters

ක්‍රි.ව 2006 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහායි. පළමු ටෙස්ට් තරගය ජූලි මස 27 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනාගන්නා දකුණු අප්‍රිකානු නායක ඈෂ්වෙල් ප්‍රින්ස් මුලින්ම පන්දුවට පහරදීමේ වාරය ලබාගන්නවා. එහෙත් එම තීරණය නිවැරදි නොවන බව පෙන්වමින් දකුණු අප්‍රිකා පළමු ඉණිම ලකුණු 169 කට සීමා වන්නේ පන්දු ඕවර 51 ක් තුළ සියළු දෙනාම දැවී යාම නිසායි. මුත්තයියා මුරලිදරන් හා දිල්හාර ප්‍රනාන්දු අතර කඩුළු 4 බැගින් බෙදී ගොස් තිබුණා.

පිලිතුරු ඉණිමට පිටියට බට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ඉඩ තැබුවේ නැහැ. ලකුණු පුවරුවේ 14 සටහන් වන විට ආරම්භක පිතිකරුවන් වන සනත් ජයසූරිය හා උපුල් තරංග යන දෙදෙනාම ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට ඔහු සමත් වෙනවා. නමුත් ඊ ළඟට පිටියේ එක් වූ කුමාර සංගක්කාර හා නායක මහේල ජයවර්ධන කෙමෙන් කෙමෙන් ස්ථාවර සම්බන්ධතාවක් ගොඩනංවන සෙයක් දක්නට ලැබුණා. පන්දුවෙන් පන්දුව ස්ථාවර වූ ඔවුන් පුරා දින 2 ක පමණ කාලයක්  පිටියේ රැඳී සිටියේ එදා මෙද තුර ටෙස්ට් ක්‍රිකට් පිටියක වාර්තා වූ දැවැන්තම සම්බන්ධතාවය ගොඩනංවමින්. අවසානෙයේ ලකුණු 287 කට සංගක්කාර දැවී යන විට සම්බන්ධතාවය ලකුණු 624 ක් වූ අතර මහේල තව දුරටත් පිටියේ ස්ථාවර වන බවක් පෙන්නුම් කළා. ඉන් පසු පිටියට පැමිණි තිලකරත්න දිල්ෂාන් සමඟ තවත් ශතක සබඳතාවක් ඇති කරගත් ඔහු බ්‍රයන් ලාරා සතුව තිබූ ලොව හොඳම ටෙස්ට් ඉණිම වන ලකුණු 400 සීමාවට ලඟා වෙන බවක් පෙනෙන්නට තිබුණා. නමුත් අවාසනාවකට ලකුණු 374 (පන්දු 572) ක් රැස් කරගෙන සිටියදී ඇන්ඩ්‍රි නෙල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීම නිසා මහේලගේ අසම සම ඉණිම නිමා වුණා. මෙය දකුණත් පිතිකරුවෙක් හා ආසියාතිකයෙක් මෙතෙක් ටෙස්ට් ඉණිමක ලබාගත් ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් වල ලියවුණා. ඉක්මණින්ම ශ්‍රී ලංකා ඉණිම අත් සිටුවන ලද අතර ඒ වන විට ඔවුන් කඩුළු 5 කට ලකුණු 756ක් ලබා තිබුණා.

සිය දෙවන ඉණිම ඉතා දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාණුවන් එම අභියෝගය හොඳින් බාරගන්නා බවක් පෙන්නුම් කළා. ඒ කෙසේ වෙතත් මුත්තයියා මුරලිදරන්ගේ දඟ පන්දු හමුවේ අවසානයේ පරාජය වූ ඔවුන් සිය දෙවන ඉණිමේ සියල්ලම දැවී යන විට ලකුණු 434ක් රැස් කරගෙන තිබුණා. ශ්‍රී ලංකා පිළට ඉණිමක හා ලකුණු 153 ක දැවැන්ත ජයක් ලැබුණු අතර මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1810 වන තරගය වුණා. දෙවන තරගයද ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය ජයගත්තේ 2-0 ලෙසින්.

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස් 365 (නොදැවී)

news18.com

පාකිස්ථානය 1958 වසරේ බටහිර ඉන්දීය කොදෙව් හි සංචාරය කළේ තරග 5 කින් යුතු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහායි. තරග 2 ක් අවසානයේ 1-0 ලෙස පසුපසින් සිටි ඔවුන් ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරට ගියේ ලෝක ඉතිහාසයේ 450 වන තරගයට සහභාගී වීම සඳහායි. කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායක අබ්දුල් කාදර් පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය ලබාගත් අතර සිය පළමු ඉණිමට තරමක් හොඳ ලකුණු සංඛ්‍යාවක් වන 328 ක් ලබා ගත්තා.එයට පිළිතුරු ඉණිම දියත් කළ කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 87 දී බිඳ වැටුණු අතර රොහාන් කන්හායි ලකුණු 25 කට දැවී යනවා. ඒ අවස්ථාවේ පිටියේ සිටි කොන්රඩ් හන්ට් ට එක් වන්නේ ඒ වන විට  21 වියැති යෞවනයෙක් වූ ගාර්ෆීල්ඩ් සෝබසුයි. පාකිස්ථානය සමඟ තරගාවලියේ කලින් ක්‍රීඩා කළ ඉණිම් 3 දීම අර්ධ ශතක ලබා තිබුණද කිසිවෙක් ඔහුගෙන් ත්‍රිත්ව ශතකයක් නම් බලාපොරොත්තු වූයේ නැහැ. හන්ට් සමඟ ලකුණු 446 ක අති දැවැන්ත සම්බන්ධතාවක් පැවැත්වූ සෝබස් දිවිත්ව ශතක සීමාවට ලඟාවෙනවා. ලකුණු 260 ක් ලබාගත් හන්ට් දැවී යාමෙන් අනතුරුව එවර්ටන් වීක්ස් සමඟද, ක්ලයිව් වෝල්කොට් සමඟද හොඳ සම්බන්ධතා පැවැත්වූ සෝබස් ලකුණු 365 ට ලඟා වූයේ සියළු දෙනාගේ ජය ඝෝෂා මධ්‍යයේ යි. කොදෙව් ඉණිම කඩුළු 3 කට ලකුණු 790 කට අත්හිටුවන විට සෝබස් එවකට ලෙන් හටන් සතුව පැවති ලෝක වාර්තාව එක් ලකුණකින් අලුත් කර තිබුණු අතර ත්‍රිත්ව ශතකයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා වුණා. එවිට ඔහුගේ වයස අවුරුදු 21 කුත් දින 213ක් පමණයි.

පකිස්ථාන දෙවන ඉණිම ලකුණු 288 කට සීමා වූ අතර ඉණිමක් හා ලකුණු 174 ක ජයක් කොදෙව්වන් සතු වුණා. පෝර්ට් ඔෆ් ස්පේන් හි පැවැත්වූ අවසාන තරගය පාකිස්ථානය ජය ගත්තත් තරගාවලියේ ජය 2-1 ලෙස අත් වූයේ කොදෙව්වන්ටයි.

ශ්‍රීමත් ලෙන් හටන් 364

yorkshireccc.com

1938 වසරේදී එංගලන්තයේ පැවති අළුබඳුන තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ක්‍රිකට් ලෝකයට සදාතනික මතකයන් රැසක් එක් කළ තරගයක් වුණා. ලෝක ටෙස්ට් ඉතිහාසයේ 266 වැනි තරගය ලෙස පැවති මෙය දින නියමයක් නොමැති තරගයක් ලෙස පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබුණා. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක වොලී හැමන්ඩ් මුලින්ම පන්දුවට පහර දෙන්නට පටන්ගත් අතර ලකුණු තත්වය 29 වන විට පළමු කඩුල්ල දැවී යනවා. ඒ කෙසේ නමුත් පන්දු ඕවර 335 ක් පුරාවට ඇදුණු එංගලන්ත ඉණිමේ අති බහුතර කාලයක් එක අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහර දුන් ආරම්භක පිතිකරු ලෙන් හටන් පන්දු 847 දී ලකුණු 364 ක් ලබා ගන්නේ ලෝක වාර්තාවක් තබමින්. සිය නායකයා වන හැමන්ඩ් සතුව තිබූ ලොව හොඳම ටෙස්ට් ඉණිමේ වාර්තාව තමන් සතු කරගත් හටන්ගේ ඉණිම නිසා එංගලන්තය සිය පළමු ඉණිමට කඩුළු 7 ක් දැවී ලකුණු 903 ලබාගත් අතර එයත් ලෝක වාර්තාවක් වුණා.

සිය පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් හොඳ සටනක් බලාපොරොත්තු වුණත් පිට පිට දෙවරක්ම ලකුණු 201 කට හා 123 කට දැවී යාම නිසා ටෙස්ට් තරගය දින 4 ක් තුල නිම වෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු නායක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තරගය අතරතුර ආබාධයකට ලක්වීම ඔවුනට තදින් බලපා තිබුණා. සියල්ල අවසානයේ එංගලන්තයට ඉණිමක හා ලකුණු 579 ක ජයක් ලැබෙන අතර එය අදටත් ටෙස්ට් තරගයක කණ්ඩායමක් ලැබූ විශාලම ජයග්‍රහණය ලෙස සටහන් වෙනවා. ඒ කෙසේ වෙතත් තරගාවලිය 1-1 ලෙස සම වෙනවා.

ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය වාර්තා කල ත්‍රිත්ව ශතකය ඇතුළු තවත් තොරතුරු අවසාන කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තූරය- espncricinfo.com

Related Articles