Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව උරුමකම් කියන ටෙස්ට් පිටියේ ඉහළ ම පිතිකරු සම්බන්ධතා ද්විත්වය

ලෝක ක්‍රිකට් වංශකතාවට වසර 141ක ඉතිහාසයක් තිබෙනවා. එදා මෙදා තුර ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග සිය ගණනක් තුළ පිතිකරු සම්බන්ධතා දහස් ගණනක් පැවැත්වී තිබෙනවා. කෙසේ නමුත්, ඉන් ලකුණු 500 ඉක්මවූ සම්බන්ධතා වාර්තා වන්නේ ද්විත්වයක් පමණයි. ඉන් එකක් ලකුණු 600 ඉක්මවූ එකක් වන අතර, තවත් සම්බන්ධතාවයක් ලකුණු 550 ඉක්මවූවා. විශේෂතම කාරණාව වන්නේ මේ ද්විත්වයට ම හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වීම යි.

624 – මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව (2006)

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ 1810 වන තරගය පැවතියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2006 වසරේ ජූලි මස 27 සිට 31 වන දා දක්වා කොළඹ දී යි. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ඈෂ්වෙල් ප්‍රින්ස්, පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය තමන් වෙත ලබාගත් අතර, එය නුවණක්කාර තීරණයක් නොවන බව පෙනී යන්නට වූයේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 169කට දැවී යාමත් සමග යි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම ලකුණු 14ක් තුළ හරවා යවන්නට වේගපන්දු යවන ඩේල් ස්ටේන් සමත් වූ අතර, සිව්වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර පිටියේ එක්වෙනවා. ඔවුන් දෙදෙනා කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වෙනවා.

කුමාර් සංගක්කාර- espncricinfo.com

තරගයේ දෙවන දිනය පුරාවට ම එකඳු කඩුල්ලක් හෝ නොදැවුණු අතර, එම දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 485/2 ලෙස යි. තෙවන දිනයේ ද එක්වූ මේ දෙදෙනා දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට දිගට හරහට නැවතත් බැට දෙන්නට පටන්ගත්තා. මේ අතර මහේල ජයවර්ධන සිය කුළුඳුල් ත්‍රිත්ව ශතකය ද ලබාගත්තා. සිය පළමු ත්‍රිත්ව ශතකය පෙනි පෙනී සිටිය දී කඩුලු රකින මාක් බවුචර් අතට ඇන්ඩෲ හෝල්ගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබාදෙමින් සංගක්කාර දැවී යන්නේ මේ අතර යි. ඔහුගේ ලකුණු තත්ත්වය දැක්වුණේ 287ක් ලෙසට යි. ඒ වන විට ලකුණු පුවරුව 638ක් ලෙස දැක්වුණු අතර, ඔවුන් දෙදෙනා පුරා ඕවර 157ක් එක්ව පන්දුවට පහර දී තිබුණා. මෙය අද වන තුරුත් ලොව හොඳම ටෙස්ට් සම්බන්ධතාවය ලෙස වාර්තා පොත්වල සඳහන් වී තිබෙනවා.

මහේල ජයවර්ධන- info.shalanka.com

මහේල ජයවර්ධන ලකුණු 374කට පසු ව දැවී ගිය අතර, ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 756ක් රැස් කර සිටිය දී සිය ඉනිම අත්හිටුවා දකුණු අප්‍රිකාවට දෙවන වර පන්දුවට පහරදීමේ වාරය ලබාදෙනවා. මෙවර වඩා සාර්ථක ලෙස පන්දුවට පහරදුන් ඔවුන් ලකුණු 434ක් ලබාගත්ත ද, ඉනිමක පරාජයෙන් බේරීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් කඩුලු 6ක් බිඳහෙළුවා. ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 153ක ජයක් හිමිවුණා.දෙවන තරගය ද ජයගත් ශ්‍රී ලංකාව, තරගාවලිය ජයග්‍රහණය කළේ 2-0 ලෙස යි.

576- සනත් ජයසූරිය හා රොෂාන් මහානාම ඉන්දියාවට එරෙහිව (1997)

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1374 වන තරගය පැවතියේ 1997 වසරේ අගෝස්තු මස 2 සිට 6 වන දා දක්වා කොළඹ දී යි. මෙය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති අතර, පිතිකරුන්වන්ට වඩා හිතකර තණ තීරුවේ පළමුවෙන් පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායක සචින් තෙන්ඩුල්කාර් තීරණය කරනවා. ඒ අනුව පන්දු වාර 167.3කුත් පන්දු 3ක් පුරාවට සිය ඉනිම දියත් කළ ඉන්දියානුවන් අවසානයේ එය අත්හිටුවන්නේ කඩුලු 8කට ලකුණු 537ක් ලබාගෙන තිබිය දී යි. මෙහි දී නව්ජොට් සිධූ, සචින් තෙන්ඩුල්කාර්, හා මොහොමඩ් අසාරුඩීන් යන තිදෙනා ම ශතක ලබා ගැනීමට සමත් වුණා.

ඉන්දියානුවන්ගේ යෝධ පළමු ඉනිමෙන් ඔවුනට ඇති වාසිය අවම කිරීමේ අටියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අරඹනවා. ලකුණු 39ක් ලකුණු පුවරුවේ සටහන් ව තිබිය දී මාවන් අතපත්තු ශ්‍රී ලංකා පිළෙහි පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ නිලේෂ් කුල්කර්ණිගේ පන්දුවක් හමුවේ යි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙන්නේ රොෂාන් මහනාම යි.

සනත් ජයසූරිය- sportskeeda.com

ඒ වන විට අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි අනෙකුත් ආරම්භක පිතිකරු වන සනත් ජයසූරිය හා එක්ව කෙමෙන් කෙමෙන් ලකුණු පුවරුව ඉහළ දැමීමට මහානාම සමත් වෙනවා. තරගයේ තුන්වන හා සිව්වන දින දෙක පුරාවට ම මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ දවාලන්නට ඉන්දීය පන්දු යවන්නන්ට නොහැකි වෙනවා. සිව්වන දිනට තරගය නතර කරන ඉන්දීය ලකුණු සංඛ්‍යාව අභිබවා යන්නට ශ්‍රී ලංකාව සමත් ව සිටි අතර, ලකුණු පුවරුව දැක්වුණේ 587/1 ලෙස යි. මේ අවස්ථාව වන විට සනත් ජයසූරිය සිය ත්‍රිත්ව ශතකය ද, රොෂාන් මහානාම සිය ද්විත්ව ශතකය ද සම්පූර්ණ කර සිටි අතර, ටෙස්ට් ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙකු අතර ලකුණු 500ක සම්බන්ධතාවක් වාර්තා වූ පළමු අවස්තාව යන ලෝක වාර්තාව ද ඔවුන් සතු කරගෙන සිටියා.

පස්වන දිනයේ සනත් ජයසූරිය එවකට බ්‍රයන් ලාරා සතු ව තිබූ හොඳම පෞද්ගලික ටෙස්ට් ඉනිමට හිමි ලකුණු 375 වාර්තාව බිඳ දමාවියැ යි බොහෝ දෙන බලාපොරොත්තු වුව ද, අවාසනාවන්ත ලෙස ලකුණු 615ක් පුවරුවේ සටහන් ව තිබිය දී රාජේෂ් චව්හාන්ගේ පන්දුවකට දැවී යනවා. එවිට ඔහු ලකුණු 340ක් රැස් කරගෙන තිබුණා. එය එවකට ආසියාතිකයෙකු ටෙස්ට් ඉනිමක රැස් කරගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව යි. දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 576ක් ලෙස සටහන් ව තිබුණා. ලකුණු පුවරුවට තවත් ලකුණක් හෝ එක්වන්නට මත්තෙන් මහානාම ද ලකුණු 225කට දැවී යනවා. ඒ අනිල් කුම්බ්ලේගේ පන්දුවක් හමුවේ යි.

රොෂාන් මහනාම- sportskeeda.com

මේ යෝධ සම්බන්ධතාවට පසු, පිටියට පිවිසි අරවින්ද ද සිල්වා ශතකයක් ද, නායක අර්ජුන රණතුංග හා කෝඩුකාර මහේල ජයවර්ධන අර්ධ ශතක දෙකක් ද ලබාගත් නිසා ශ්‍රී ලංකාව පස්වන දිනය නිමාව වන විට ලොව වැඩිම ටෙස්ට් කණ්ඩායම් ලකුණු ප්‍රමාණය ද ලබාගැනීමට සමත් වී තිබුණා. පන්දු වාර 271 ක දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 952/6 ලෙස සටහන්ව තිබූ අතර, තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. දෙවන ටෙස්ට් තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වූ නිසා තරග 2 කින් යුතු තරගාවලිය ද ජය පැරදුමෙන් තොර වුණා.

 

කවරයේ පින්තූරය: AFP

Related Articles