Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දැක්වූ ලාංකීය පන්දු යවන්නන්

2021 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක් හිමිවුණා. එම තරගයේ දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණු ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ලකුණු 178කට කඩුලු 11ක් දවාගත්තා. ඒ අනුව සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 10ක් දවාගත් 16 වැනි පන්දු යවන්නා ලෙසින් ප්‍රවීන් වාර්තා අතරට එක්වුණා. එසේම එවැනි දස්කමක් දැක්වූ  පළමු ලාංකීය පන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණා.

ඉතින්, වසර 39ක ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මංගල ටෙස්ට් තරගයේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නන් 8 දෙනෙකු ගැන විස්තර යි මේ ලිපියෙන් ගෙන එන්නේ.

8) උපුල් චන්දන- 179/6 (179/6,0/0)- පාකිස්ථානයට එරෙහිව 1999 වසරේ දී 

උපුල් චන්දන ටෙස්ට් තරගයක දී කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

1999 වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව ද සුදුසුකම් ලබාගත්තා. ඩකා නුවර බංගබන්දු පිටියේ පාකිස්ථානය සමග පැවති අවසන් තරගයේ දී දකුණත් පා දඟපන්දු යවන්නෙකු වුණු උපුල් චන්දනට ටෙස්ට් වරම් හිමිවුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 77 වැනි ක්‍රීඩකයා ලෙස යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවුණේ ලකුණු 231ක් පමණ යි. 

ඉන් පසුව පන්දුවට පහරදුන් පාකිස්ථානු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිය පළමු ඉනිම සඳහා ලකුණු 594ක් ලබාගත්තා. එහි දී ඉජාස් අහමඩ් ලකුණු 211ක් ලබාගන්නා විට ඉන්සාමාම් උල් හක් නොදැවී ලකුණු 200ක් ලබාගත්තා. එදා යම් තරමකට පාකිස්ථානු පිතිකරුවන්ව පාලනය කළ උපුල් චන්දන ලකුණු 179කට කඩුලු 6ක් ලබාගත්තා. එය එම අවධියේ දී ලාංකීය පන්දු යවන්නෙකු මංගල ටෙස්ට් තරගයේ ඉනිමක දී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා.

පාකිස්ථානයට වඩා ලකුණු 363ක් පිටුපසින් සිට සිය  දෙවන ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 188ක් පමණ යි. එහි දී වසීම් අක්‍රම් විසින් අවිශ්ක ගුණවර්ධන, චමින්ද වාස්, සහ මහේල ජයවර්ධන යන පිතිකරුවන් දවාගෙන කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා. එදා ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 175ක පරාජයක් උරුම වුණු නිසා චන්දනට දෙවන ඉනිමේ දී පන්දු යැවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා සිය මංගල ටෙස්ට් තරගයේ දී චන්දනගේ පන්දු යැවීම 179/6 ලෙසින් සටහන් වුණා.

7) ලසිත් ඇඹුල්දෙණිය- 117/6 (51/1,66/5)- දකුණු අප්‍රිකානුවට එරෙහිව 2019 වසරේ දී 

ඇඹුල්දෙනිය කඩුලු 5ක් දවාගැනීමෙන් පසුව (gettyimages)

2019 වසරේ පෙබරවාරි මාසයේ දී කුසල් පෙරේරා නොදැවී ලකුණු 153ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවට කඩුලු 1ක තියුණු ජයක් ලබාදුන් ටෙස්ට් තරගය පිළිබඳව ඔබට හොඳින්ම මතක ඇති. ඩර්බන් නුවර කිංස්මීඩ් පිටියේ පැවති එම තරගයේ දී කුසල් පෙරේරා සේම එක්තරා යොවුන් ලාංකීය පන්දු යවන්නෙක් සියලුදෙනාගේම අවධානය දිනාගත්තා. ඒ පළමු ඉනිමේ දී ලකුණු 51කට කඩුලු 1ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 66කට කඩුලු 5ක් ලෙස සමස්ත තරගය පුරාවටම ලකුණු 117කට කඩුලු 6ක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය යි. 

එදා ඔහුගේ පන්දු යැවීම හමුවේ පළමු ඉනිමේ දී දැවීගියේ ඩේල් ස්ටේන් පමණ යි. නමුත් දෙවන ඉනිමේ දී හොඳින් තරගයට අවතීර්ණ වුණු ඇඹුල්දෙණිය ඩීන් එල්ගාර්, ටෙම්බා බවුමා, ක්වීන්ටන් ද කොක්, වර්නන් පිලැන්ඩර් සහ කගීසෝ රාබාඩා යන පිතිකරුවන්ව දවාගත්තා. එදා ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු එක්ව එක් අවස්ථාවක 251/5 ලෙස පැවති දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ලකුණු 259කට සීමා කළා. ඒ අනුව එදා කිංස්මීඩ් පිටියේ දී ලබාගත් ජයග්‍රහණය සඳහා ඇඹුල්දෙණියගේ දක්ෂ දඟ පන්දු යැවීම තීරණාත්මක සාධකයක් වුණු බව කිව යුතුම යි.

6) ලසිත් මාලිංග- 92/6 (50/2,42/4)- ඕස්ට්‍රේලියාවට එරෙහිව 2004 වසරේ දී 

මාලිංග මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

2004 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මරාරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එදා ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 99 වැනි ක්‍රීඩකයා බවට පත්වුණා. වේග පන්දු යවන්නන් හට වඩාත් යෝග්‍ය අයුරින් සකසා තිබුණු මරාරා ඕවල් තණතීරුවේ සාර්ථක පන්දු යැවීමක නිරත වුණු මාලිංග පළමු ඉනිමේ දී ලකුණු 50කට කඩුලු 2ක් දවාගත්තා. එහි දී මාලිංගගේ පන්දු හමුවේ ඩැරන් ලීමන් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් යන පිතිකරුවන් යුගලය දැවීගියා. 

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී වඩාත් සාර්ථක පන්දු යැවීමක නිරත වුණු මාලිංග ලකුණු 42කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා. එහි දී මාලිංගගේ පන්දු හමුවේ ඩේමියන් මාටින්, ඩැරන් ලීමන්, ෂේන් වෝන්, සහ මයිකල් කැස්ප්‍රොවික්ස් යන පිතිකරුවන් දැවීගියා. මාලිංග මංගල ටෙස්ට් තරගයේ දී පන්දුවෙන් මෙසේ දස්කම් දැක්වීමට සමත් වුණත් අවසානයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 149ක පරාජයක් උරුම වුණා.

5) ලක්ෂාන් සඳකැන්- 107/7 (58/4, 49/3)- ඕස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේ දී 

සඳකැන් මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දක්වමින් (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් විශිෂ්ටතම ටෙස්ට් ජයග්‍රහණයන් කිහිපය අතරට 2016 වසරේ පල්ලෙකැලේ පිටියේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් ඇතුළත් කරන්නට පුළුවන්. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 117ක් පමණ යි. ඉන්පසු පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ටත් සිය පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවුණේ ලකුණු 203ක් පමණ යි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රංගන හේරත් ලකුණු 49කට කඩුලු 4ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් ලක්ෂාන් සඳකැන් ලකුණු 58කට කඩුලු 4ක් ලබාගත්තා. එදා සිය මංගල ටෙස්ට් ඉනිමේ දී සඳකැන් විසින් දවාගත්තේ මිෂෙල් මාෂ්, ස්ටීව් ඕ කීෆී, මිචෙල් ස්ටාක්, සහ නේදන් ලයන් යන පිතිකරුවන් සිව්දෙනා යි. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී කුසල් මෙන්ඩිස් ලබාගත් අගනා ලකුණු 176 නිසා ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවුණා.

එදා ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කැංගරුවන්ට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 161ක් පමණ යි. එහි දී රංගන හේරත් ලකුණු 54කට කඩුලු 5ක් දවාගන්නා විට සඳකැන් ද මැනවින් පන්දු යවමින් ලකුණු 49කට කඩුලු 3ක් දවාගත්තා. එම ඉනිමේ දී සඳකැන්ගේ පන්දු හමුවේ ජෝ බර්න්ස්, මිචෙල් ස්ටාක්, සහ නේදන් ලයන් යන පිතිකරුවන් දැවීගියා. ඒ කඩුලු අතුරින් බර්න්ස්ව දවාගැනීමට සඳකැන් යැවූ සුපිරි පන්දු අදටත් බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී ඇති බවට සැකයක් නැහැ.

4) කෝසල කුරුප්පුආරච්චි- 85/7 (44/5,41/2)- පාකිස්ථානයට එරෙහිව 1986 වසරේ දී 

කුරුප්පුආරච්චි සිය මංගල ටෙස්ට් තරගයේ දී (ක්‍රිකට් ලොව)

1986 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා. ඒ ප්‍රබල පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව යි. කොළඹ CCC පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණේ තම මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකළ කෝසල කුරුප්පුආරච්චි නම් වමත් වේග පන්දු යවන්නා යි. එදා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානුවන්ට පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවුණේ ලකුණු 132ක් පමණ යි. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු කෝසල කුරුප්පුආරච්චි ලකුණු 44කට කඩුලු 5ක් දවාගත්තා. එම ඉනිමේ දී මොහොසින් ඛාන්, මුදාසර් නසාර්, සලීම් මලික්, වසීම් අක්‍රම්, සහ සුල්කර්නයින් යන පිතිකරුවන් කෝසලට ගොදුරු වුණා.

පාකිස්ථානු දෙවන ඉනිමේ දී යලි පන්දුවෙන් ක්‍රියාත්මක වුණු කෝසල ලකුණු 41කට කඩුලු 2ක් දවාගත්තා. එහි දී යළි මුදාසර් නසාර්, සහ සුල්කර්නයින් යන පිතිකරුවන් දෙදෙනා කෝසලගේ පන්දු හමුවේ දැවීගියා. ඒ අනුව කෝසල කුරුප්පුආරච්චි සමස්ත තරගය පුරාවටම ලකුණු 85කට කඩුලු 7ක් දවාගනිමින් ශ්‍රී ලංකාව ලබාගත් කඩුලු 8ක ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ලබාදුන්නා. 

මෙසේ සාර්ථකව සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ කෝසලට ආබාධ නිසා වැඩිකල් කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව හිමිවුණේ නැහැ. එසේම එකල ශ්‍රී ලංකාවට අඩුවෙන් ටෙස්ට් තරග ලැබීමත් කෝසල වැනි දක්ෂ පන්දු යවන්නෙකුගේ තරග දිවිය අකාලයේ නිමාව දැකීමට බලපෑවා.

3) අජන්ත මෙන්ඩිස්- 132/8 (72/4,60/4)- ඉන්දියාවට එරෙහිව 2008 වසරේ දී 

අජන්ත කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

2008 ඉන්දු-ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය කොළඹ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවුණු 109 වැනි ක්‍රීඩකයා ලෙස අජන්ත මෙන්ඩිස් ඉතිහාසගත වුණා. එදා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 600ක් ලබාගත්තා. එහි දී මලින්ද වර්ණපුර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, සහ තිලකරත්න දිල්ෂාන් ශතක වාර්තා කළා. සිය පළමු ඉනිමට ඉන්දීය පිතිකරුවන්ට ලබාගත හැකිවුණේ ලකුණු 223ක් පමණ යි. එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 84කට කඩුලු 5ක් දවාගනිද්දී අජන්ත මෙන්ඩිස් ද ලකුණු 72කට කඩුලු 4ක් දවාගත්තා. 

එදා මෙන්ඩිස්ගේ පන්දු හමුවේ රාහුල් ඩ්‍රාවිඩ්, වන්ගිපුරප්පු ලක්ෂ්මන්, අනිල් කුම්බ්ලේ, සහ සහීර් ඛාන් යන පිතිකරුවන් දැවීගියා. අනතුරුව පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 136ක් පමණ යි. එහි දී යලි පන්දුවෙන් ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 26කට කඩුලු 6ක් දවාගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් මෙන්ඩිස් ලකුනු 60කට කඩුලු 4ක් දවාගත්තා. එම ඉනිමේ දීත් ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, සහ සහීර් යන පිතිකරුවන් මෙන්ඩිස්ට ගොදුරු වුණා. ඊට අමතරව හර්බජාන් සිං ද මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. සමස්ථ තරගය පුරාවටම ලකුණු 132කට කඩුලු 8ක් දවාගත් මෙන්ඩිස් එකල ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේ දී හොඳම පන්දු යැවීම සිදුකළ පන්දු යවන්නා ලෙසින් වාර්තා අතරට එක්වුණා.

2) අකිල ධනංජය- 44/8 (20/3,24/5)- බංග්ලාදේශයට එරෙහිව 2018 වසරේ දී 

අකිල සිය මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

2018 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය මීර්පූර් නුවර ශෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. පිතිකරුවන්ගේ දස්කම්වලට වඩා පන්දු යවන්නන්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගයෙන් ලකුණු 215ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහි දී තරගයේ වීරයා බවට පත්වුණේ ඉනිම් 2 දීම අර්ධ ශතක වාර්තා කළ රොෂේන් සිල්වා යි. එදා රොෂේන්ට තරගයේ වීරයා සම්මානය හිමිවුණේ සමස්ත තරගය පුරාවට වාර්තා වුණු අර්ධ ශතක තුනෙන් 2ක්ම ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු නිසා යි. 

ඒ අයුරින් රොෂේන් පිත්තෙන් දස්කම් දක්වද්දී පන්දුවෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේ සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකළ අකිල ධනංජය නම් දඟපන්දු යවන්නා යි. එදා අකිල බංග්ලාදේශ පළමු ඉනිමේ දී මහමදුල්ලා රියාද්, සබ්බිර් රහමන්, සහ අබ්දුර් රසාක් යන පිතිකරුවන්ව දවාගත්තා. ඉන් අනතුරුව දෙවන ඉනිමේ දී යළි ඔවුන් තිදෙනාගේ කඩුලු දවාගත්තා. ඊට අමතරව ලිටන් දාස් සහ මෙහෙදි හසන් යන පිතිකරු යුගලය දවාගත්තා. ඒ අනුව අකිල පළමු ඉනිමේ දී 20/3ක් ලෙසත් දෙවන ඉනිමේ දී 24/5 ලෙසත් කඩුලු ලබාගෙන සමස්ත තරගය පුරාම 44/8 ලෙසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. එය අදටත් ලාංකීය පන්දු යවන්නෙකු සිය මංගල ටෙස්ට් තරගයේ දී විදෙස් රටක දී කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වනවා.

1) ප්‍රවීන් ජයවික්‍රම- 178/11 (92/6,86/5)- බංග්ලාදේශයට එරෙහිව 2021 වසරේ දී 

ප්‍රවීන් මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දක්වමින් (gettyimages)

2021 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පිටියේ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමිවුණේ සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකළ ප්‍රවීන් ජයවික්‍රමට යි. ප්‍රවීන් සමස්ථ තරගය පුරාවටම ලකුණු 178කට කඩුලු 11ක් දවාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 10ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්. එසේම ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 10ක් දවාගත් දඟපන්දු යවන්නන් 6 දෙනා අතරට ද ප්‍රවීන්ගේ නම එකතු වුණා.  

පහත දක්වා තිබෙන්නේ සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 10ක් දවාගත් දඟ පන්දු යවන්නන්ගේ දස්කම්:

1) නරේන්ද්‍ර හිර්වානි (ඉන්දියාව)- 136/16 (61/8, 75/8)- කොදෙව්වන්ට එරෙහිව 1988 වසරේ දී 

2) ජේසන් ක්‍රේසා (ඕස්ට්‍රේලියාව)- 358/12 (215/8, 143/4)- ඉන්දියාවට එරෙහිව 2008 වසරේ දී 

3) ක්ලැරී ග්‍රිමට් (ඕස්ට්‍රේලියාව)- 82/11 (45/5, 37/6)- එංගලන්තයට එරෙහිව 1925 වසරේ දී 

4) චාල්ස් මැරියට් (එංගලන්තය)- 96/11 (37/5, 59/6)- කොදෙව්වන්ට එරෙහිව 1933 වසරේ දී 

5) ප්‍රවීන් ජයවික්‍රම (ශ්‍රී ලංකාව)- 178/11 (92/6, 86/5)- බංග්ලාදේශයට එරෙහිව 2021 වසරේ දී 

6) ඇල්ෆ් වැලන්ටයින් (කොදෙව්)- 204/11 (104/8, 100/3)- එංගලන්තයට එරෙහිව 1950 වසරේ දී 

කවරයේ ඡායාරූපය- මාලිංග සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

මූලාශ්‍රයයන්- cricinfo

Related Articles