Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීම්

ක්‍රිකට් ක්‍රීඩාවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. කාලයෙන් කාලයට ප්‍රේක්ෂක අවධානය නොගිලිහෙනු වස් එය විවිධ නව්‍යකරණයන්ට බඳුන් වුණා. 1970 දශකයේ ආරම්භයත් සමග කරළියට පැමිණි එක්දින ක්‍රිකට් ඊට හොඳම උදාහරණයක්.

2000 වසරෙන් පසුව ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ කාරණාවක් ලෙස විස්සයි විස්ස ක්‍රිකට් තරග ගත හැකියි. 2005 වසරේ පෙබරවාරියේ ලොව ප්‍රථම විස්සයි විස්සේ ජාත්‍යන්තර තරගය පැවැත්වීමෙන් අනතුරුව අද වන විට පැවැත්වී ඇති විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ගණන 750 කට අධිකයි.

විස්සයි 20 ක්‍රිකට් තරගයක එක් ක්‍රීඩකයෙකුට පන්දු යැවීමට ලැබෙන්නේ ඕවර 4ක් පමණ යි. ඒ කාලය තුළ කඩුළු තුනහතරක් බිඳ හෙළීමත් උගහට යි. මේ හේතුව නිසා ටෙස්ට් හෝ එක්දින තරගවල මෙන් නොව විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කඩුළු 5ක් හෝ ඊට වැඩියෙන් එක් පන්දු යවන්නෙක් ඉණිමක් තුළ දවාගත් අවස්ථා වාර්තා වෙන්නේ 30කටත් අඩුවෙනුයි. මෙහිදී කඩුළු 6ක් දවාගත් අවස්ථා වාර්තා වන්නේ 3ක් පමණක් වන අතර, ලොව හොඳම විස්සයි විස්ස පන්දු යැවීම් හතර අතුරින් තුනක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලියැවී තිබීමත් සුවිශේෂී යි.

අජන්ත මෙන්ඩිස් – 6/8

AFP

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 263 වන තරගය පැවතියේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර යි. 2012 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක් ලෙස පැවති මෙය එම වසරේ සැප්තැම්බර් මස 18 වන දා හම්බන්තොට දී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටේලර් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන් උපරිම ඵල නෙලාගත් ශ්‍රී ලංකාව සිය ඕවර 20 අවසානයේ දී කඩුළු 4ක් දැවී ලකුණු 182ක් ලබාගන්නවා. පිළිතුරු ඉණිම දියත් කිරීමට පිටියට බට සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වන අතර අවසානයේ පන්දු ඕවර 17කුත් පන්දු 3ක් තුළ ඔවුන් සියළු දෙනා දැවී යන්නේ ලකුණු 100කට යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අජන්ත මෙන්ඩිස් සිය පන්දු ඕවර 4 තුළ ලකුණු 8ක් පමණක් ලබා දෙමින් සිම්බාබ්වේ කඩුළු 6ක්ම දඩයම් කර තිබුණා. මෙහිදී ඔහු නිලකුණු පන්දුවාර 2ක් ද යවා තිබීම සුවිශේෂී යි. මේ අනුව ඔහු ඔහුටම හිමිව පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව බිඳහෙළූ අතර එය අදටත් නොබිඳී පවතිනවා.

මේ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 82ක විශිෂ්ට ජයක් ලැබුණු අතර ඔවුන් තරගාවලියේ ඉදිරියටම යමින් අනුශූරයින් බවට පත් වෙනවා.

අජන්ත මෙන්ඩිස්- 6/16

AP

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 203 වන තරගය පැවතියේ 2011 වසරේ අගෝස්තු මස 8 වන දින මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී යි. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති මේ තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ටී.එම් ඩිල්ශාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කළ අතර සිතූ තරම් සාර්ථක වෙන්නට ඔවුනට නොහැකි වුණා. කෙසේ නමුත් එක් අන්තයකින් එක පෙළට කඩුළු දැවෙන විට අනෙක් අන්තය ආරක්ෂා කරගත් මහේල ජයවර්ධනගේ සටන්කාමී ලකුණු 86 නිසා නියමිත පන්දු ඕවර 20 අවසානයේ සතුටුදායක ලකුණු මට්ටමකට ළඟාවන්නට ඔවුනට හැකි වුණා. ඉණිම අවසන ශ්‍රී ලංකා ලකුණු පුවරුව 157/9ක් සේ දිස් වූ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට බට ඕස්ට්‍රේලියානුවන් එය පහසුවෙන් හඹා යන සෙයක් දිස් වුණා. විටෙක පන්දු ඕවර 5.4ක් අවසන ලකුණු 71කට කිසිවෙකු නොදැවී සිටි ඕස්ට්‍රේලියානු ඉණිමට කණකොකා හඬන්නට ගත්තේ අජන්ත මෙන්ඩිස් ශේන් වොට්සන් දවාගැනීමත් සමග යි. වොට්සන්ගෙන් පසු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර අවසානයේ ඕස්ට්‍රේලියානුවන්ගේ නියමිත පන්දු ඕවර 20 නිමා වූයේ ජයග්‍රාහී ඉළක්කයට ලකුණු 9ක් තිබිය දී යි. ඕස්ට්‍රේලියානු ඉණිම 149/9ක් සේ අවසන් වූ අතර ශ්‍රී ලංකාවට ලකුණු 8ක තියුණු ජයක් ලැබුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අජන්ත මෙන්ඩිස් ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස ජාත්‍යන්තර ඉණිමක දී ක්‍රීඩකයෙකු විසින් කඩුළු 6ක් දවාගත් අවස්ථාව සනිටුහන් කළ අතර ඔහු විසින් පන්දු ඕවර 4ම යවා එක් නිලකුණු ඕවරයක් ද සමග ලබා දී තිබුණේ ලකුණු 16ක් පමණ යි.

තරගාවලියේ දෙවන හා අවසන් තරගය වූ මේ තරගය ජයගැනීමත් සමග එම තරගාවලිය 2-0 ලෙස ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

යුෂ්වේන්ද්‍ර චහාල් – 6/25

PTI

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ 594 වැනි තරගය පැවතියේ ඉන්දියාව හා එංගලන්තය අතර බැංගලෝරයේ දී යි. මෙය තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක තෙවන තරගය වූ අතර 2017 වසරේ පෙබරවාරි මස පළමු වන දා පැවැත්වුණා. මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටි නිසා දෙපිළටම මේ තරගය ජයගැනීම වැදගත් වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් මුලින් පන්දු යැවීමට තීරණය කළ අතර එය වැරදි තීරණයක් බැව් පසක් කරමින් සිය පන්දු ඕවර 20 අවසන කඩුළු 6ක් දැවී ලකුණු 202ක් ලබාගන්නට ඉන්දියාව සමත්කම් පෑවා. ඉන්දියාව වෙනුවෙන් සුරේෂ් රයිනා හා මහේන්ද්‍ර සිං දෝනි අර්ධ ශතක ලබාගත්තා.

පිළිතුරු ඉණිම දියත් කළ එංගලන්තයට සාර්ථක වන්නට ඉන්දීය පන්දු යවන්නන් කිසි ලෙසකින් අවස්ථාව නොදුන් අතර අවසානයේ එංගලන්තයේ සියළු දෙනා දැවී යන්නේ පන්දු ඕවර 16.3ක් තුළ ලකුණු 127කට යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යුශ්වේන්ද්‍ර චහාල් සිය පන්දු ඕවර 4 තුළ ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කඩුළු 6ක්ම දඩයම් කර තිබුණා. ඔහුට අනගි සහයක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ද ලකුණු 14කට කඩුළු 3ක් බිඳ හෙළා තිබුණා.

ඉන්දීය කණ්ඩායමට මේ තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් ලැබුණු අතර ඔවුන් 2-1ක් ලෙස තරගාවලිය ද ජයගත්තා.

රංගන හේරත් – 5/3

Reuters

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 395 වෙනි තරගය ලොව එදා මෙදා තුර ක්‍රීඩා කරන ලද සුවිශේෂීම තරගයක් ලෙස ඉතිහාස පොත්වල සටහන් වී තිබෙනවා. මෙය සැලකෙන්නේ 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉරණම පෙරළූ තරගය ලෙස යි.

ලෝක කුසලානයේ දෙවන වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර චිතගොං හි, 2014 වසරේ මාර්තු මස 31 වන දා පැවති මේ තරගය ජයගැන්ම දෙපිළටම අනිවාර්ය වී තිබුනා. ඒ පරාජයව වන කණ්ඩායමට ලෝක කුසලාන සිහිනය අත්හැරීමට සිදුවන වටපිටාවක් නිර්මාණය ව්වෙ තිබූ නිසා යි.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට ලබා දුන් අතර එය සාර්ථක තීරණයක් බැව් මුල සිටම පෙනෙන්නට තිබුණා. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකාවේ සියළු කඩුළු පන්දු ඕවර 19කුත් පන්දු 2ක් තුළ දැවී ගියේ ලකුණු 119කට යි. කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ලකුණු 25 සීමාව පසු කිරීමට අපොහොසත් වූ අතර ඔවුන්ට නියත පරාජයක් ලැබී ලෝක කුසලාන සිහිනය නිමා කිරීමට සිදුවන පෙර ලකුණු පහළ වී තිබුණා. නවසීලන්තයට සිදු වූ එකම අභාග්‍යය වූයේ පන්දු රකිමින් සිටි කෝරි ඇන්ඩර්සන්ගේ ඇඟිල්ලක් ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට පන්දුවට පහර දීමට නොහැකි තත්ත්වයක් උදා වීම යි.

ජයග්‍රාහී මානසිකත්වයකින් පිළිතුරු ඉණිම ඇරඹූ නවසීලන්තය සිය ඉණිමේ පළමු පන්දු ඕවර කිහිපය හොඳින් ක්‍රීඩා කළ ද ඔවුන්ගේ ඉණිම උඩු යටිකුරු වන්නේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පන්දු යැවීමට පටන් ගැනීමත් සමග යි. ඔහුගේ පන්දුවලට කිසිදු පිළිතුරක් සොයාගන්නට කේන් විලියම්සන් හැර කිසිවෙකුට නොහැකි වන අතර අවසන ඔවුන්ගේ ඉණිම 16 වන පන්දු වාරයේ දී නිමාවන්නේ ලකුණු 60ක් වැනි සංඛ්‍යාවකට යි. විලියම්සන් ඉන් ලකුණු 42ක්ම ලබා තිබූ අතර විශ්මකර්ම පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් පන්දු ඕවර 3.3ක් තුළ නිළකුණු ඕවර 2ක් ද යවමින් නවසීලන්ත කඩුළු 5ක්ම දවාගෙන තිබුණේ ලකුණු 3ක් පමණක් ලබා දෙමිනුයි.

ලකුණු 59ක අනපේක්ෂිත ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඔවුන්ගේ ලෝක කුසලාන ගමන නිමා වූයේ ඉන් සතියකට පසු 2014 විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමෙන් අනතුරුව යි.

කවරයේ පින්තූරය- espncricinfo.com

Related Articles