Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීලයට මෙවර පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට හැකිවේද?

බ්‍රසීල පාපන්දු කණ්ඩායම පිළිබඳ​ නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ජාත්‍යන්තර​ පාපන්දු කණ්ඩායම් අතරින් වඩාත්ම ජනප්‍රිය කණ්ඩායම ලෙසින් බ්‍රසීල පාපන්දු කණ්ඩායම හැඳින්වුවහොත් ඔබ එයට විරුද්ධ නොවනු ඇත. කවදත් විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයින් බිහිකරන බ්‍රසීලය, ලෝකයේ වැඩිම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින් සිටින රට ලෙසින්ද වාර්තා වේ. එයට අමතරව බ්‍රසීලයේ යනු පාපන්දු උන්මාදය ඉහලින්ම තිබෙන රටකි. එසේනම් මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින බ්‍රසීල පාපන්දු කණ්ඩායම පිළිබඳව අද අපි “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් සාකච්ඡා කරමු.

7-1 පරාජය

“ජර්මනිය හමුවේ 7-1 ක් ලෙසින් ලද පරාජයෙන් අනතුරුව බ්‍රසීලයේ ඩේවිඩ් ලුයිස් (වමේ) සහ තියාගෝ සිල්වා” (fourfourtwo.com)

පසුගිය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය හමුවේ බ්‍රසීලය ලැබූ 7-1 පරාජය ඔබ සියලු දෙනාටම හොඳින් මතක ඇතුවාට කිසිඳු සැකයක් නොමැත. තමන්ගේ රටේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ දීම බ්‍රසීලය ලැබූ එම පරාජය බ්‍රසීල ක්‍රීඩකයින්ට ද ක්‍රීඩා පරිපාලකයින්ට ද ක්‍රීඩා ලෝලීන්ට ද දැඩි පහරක් වූ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. වාර්තා බොහෝ ප්‍රමාණයක් අලුත් වූ එම තරඟයේ දී බ්‍රසීල ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ලද්දේ කුඩා ළමුන් ආකාරයෙන් ය. බ්‍රසීල ක්‍රීඩකයින් විසින් කිසිදු වෘත්තීයභාවයක් පෙන්නුම් නොකළ අතර යම් තරමකට හෝ බ්‍රසීලය වෙනුවෙන් දක්ෂතා දැක්වූයේ ඔස්කාර් සහ දැල රකින ක්‍රීඩක ජුලියෝ සෙසාර් පමණි.

කෙසේ නමුත් එම තරඟය වෙනුවෙන් බ්‍රසීලයේ සුපිරි තරුව වන නේමාර් සහ එවකට කණ්ඩායමේ නායකත්වය දැරූ තියාගෝ සිල්වා යන දෙදෙනාටම සහභාගී වීමට නොහැකි වීම (නේමාර් ආබාධයකට ලක්වූ අතර සිල්වා කහ කාඩ් පත් දෙකක් ලැබූ නිසා ඔහුට මේ තරඟයට ක්‍රීඩා කිරීමට නොහැකි විය.) බ්‍රසීලයන්ට බොහෝ අවාසියක් වූවද ක්‍රීඩා පිටියේ දී බ්‍රසීලය විසින් ප්‍රදර්ශනය කරන ලද දුර්වල ක්‍රීඩා විලාශයට එය කිසිසේත්ම සමාවට කාරණයක් නොවේ.  

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ බ්‍රසීලයේ දක්ෂතා

“බ්‍රසීලය 1970 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කල පසු පේලේ” (adelaidenow.com.au)

7-1 පරාජය බ්‍රසීලයේ විශිෂ්ට පාපන්දු ඉතිහාසයට යම් කැළලක් එක් කලද තවදුරටත් ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ බ්‍රසීලය යනු විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමකි. බ්‍රසීලයේ පාපන්දු සම්මේලනය හැඳින්වෙන්නේ CBF නමිනි. Confederacao Brasileira de Futebol යනු එහි අර්ථයයි (පෘතුගාල භාෂාවෙන්). 1914 වසරේ දී පිහිටුවා ඇති බ්‍රසීල පාපන්දු සම්මේලනය 1916 වසරේ දී දකුණු ඇමෙරිකානු පාපන්දු සංගමයේ සාමාජිකත්වයත් 1923 වසරේ දී ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) සාමාජිකත්වයත් හිමිකරගෙන ඇත. මේ දක්වා පාපන්දු ලෝක කුසලාන වලදී බ්‍රසීලය විසින් දක්වා තිබෙන දක්ෂතා සහ ඔවුන්ට හිමි වාර්තා කිහිපයක් පහත දැක්වේ.

බ්‍රසීලය මේ දක්වා ලෝක කුසලාන 5 ක් ජයග්‍රහණය කර ඇත. 1958, 1962, 1970, 1994 සහ 2002 එම ලෝක කුසලාන 5 වේ. වැඩිම ලෝක කුසලාන සංඛ්‍යාවක් දිනා තිබෙන රට වන්නේ බ්‍රසීලයයි.

එයට අමතරව අවස්ථා දෙකකදී අනුශූරතාවය ද (1950,1998) අවස්ථා දෙකකදී තෙවැනි ස්ථානය ද (1938,1978) අවස්ථා දෙකකදී සිව්වැනි ස්ථානය ද (1974, 2014) හිමිකරගැනීමට බ්‍රසීලයට හැකිවී තිබේ.

මේ දක්වා පැවති සියලුම පාපන්දු ලෝක කුසලාන වලට ක්‍රීඩා කර ඇති එකම රට වන්නේද බ්‍රසීලයයි.

මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරඟ 104 ට ක්‍රීඩා කර ඇති බ්‍රසීලය ඉන් තරඟ 70 ක් ජයගෙන ඇත. එය වාර්තාවකි.

පාපන්දු ලෝක කුසලාන වල දී වැඩිම ප්‍රසාද ලකුණු (227) හිමිකරගෙන සිටින රට වන්නේ බ්‍රසීලයයි.

පාපන්දු ලෝක කුසලාන වලදී වැඩිම ගෝල වෙනස හිමි රට වන්නේ ද බ්‍රසීලයයි. සංඛ්‍යාත්මකව එය 119 කි. (වාර්තා කර තිබෙන ගෝල ගණනින් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දී තිබෙන ගෝල සංඛ්‍යාව අඩු කල විට ගෝල වෙනස ලැබේ.)

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව (Golden Ball) වැඩිම වාර ගණනක් හිමිකරගෙන තිබෙන්නේ (7 වරක්) බ්‍රසීල ක්‍රීඩකයින් විසිනි.
 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක වැඩිම ගෝල ලාභියාට පිරිනමන රන් පාවහන (Golden Boot) වැඩිම වාර ගණනක දී හිමිකරගෙන තිබෙන්නේ ද (5 වරක්) බ්‍රසීල ක්‍රීඩකයින් විසිනි.

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තා කර තිබෙන ක්‍රීඩකයින් වන්නේ රොනාල්ඩෝ (15) සහ පේලේ (12) ය.

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන ක්‍රීඩකයා වන්නේ කෆූ (20) ය. (එයට අමතරව පිට පිටම ලෝක කුසලාන අවසාන මහා තරඟ ත්‍රිත්වයකට ක්‍රීඩා කරන ලද එකම ක්‍රීඩකයාගේ වාර්තාවට හිමිකම් කියන්නේ ද කෆූ ය. ඒ 1994,1998 සහ 2002 අවසාන මහා තරඟ වලට ක්‍රීඩා කරමිනි.)

ලෝක කුසලාන තරඟ වලදී බ්‍රසීලය වැඩිම වාර ගණනක් ක්‍රීඩා කර තිබෙන්නේ ස්වීඩනය සමඟින්ය. ඒ තරඟ 7 කි. ඉන් 5 ක් ජයගැනීමට බ්‍රසීලයට හැකිවී තිබේ.

කණ්ඩායම නැවත ගොඩනැගීම සහ සුදුසුකම් ලැබීමේ වටය

“මෙවර බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන්නේ හිටපු සුපිරි ක්‍රීඩක ටිටේ විසිනි” (sportreff.com)

7-1 පරාජය හමුවේ තව තවත් ශක්තිමත් වූ බ්‍රසීලය තම කණ්ඩායම ගොඩනැගීමට කටයුතු කරන ලදී. ජේෂ්ඨ ක්‍රීඩකයින් සමඟින් නවක ක්‍රීඩකයින් ද කණ්ඩායමට එකතුකරගනිමින් ඉන් ශක්තිමත් කණ්ඩායමක් ගොඩනගාගැනීමට මේ වනවිට බ්‍රසීලයට හැකිවී තිබේ.

2018 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා බ්‍රසීලය ක්‍රීඩා කරන ලද්දේ දකුණු ඇමරිකානු කලාපය යටතේ ය. ජේෂ්ඨ – නවක ක්‍රීඩකයින්ගේ සුසංයෝගය එහිදී විශිෂ්ට ලෙසින් පල දැරූ අතර තේරීම් තරඟ ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමටත් බ්‍රසීලයට හැකිවිය. බ්‍රසීලය ක්‍රීඩා කල තරඟ 18 අතුරින් 12 ක් ජයග්‍රහණය කල අතර එක් තරඟයක් පමණක් පරාජයට පත්විය. දකුණු ඇමෙරිකානු තේරීම් තරඟවල අඩුම පරාජ සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම වූයේ ද බ්‍රසීලයයි.

ඊට අමතරව දකුණු ඇමරිකානු තේරීම් තරඟ වල වැඩිම ගෝල ලබාගත් කණ්ඩායම (41), ප්‍රතිවාදීන්ට අඩුම ගෝල ලබාදුන් කණ්ඩායම (11) සහ වැඩිම ගෝල අතර පරතරය වැඩිම කණ්ඩායම (+30) බවට පත්වූයේද ප්‍රබල බ්‍රසීල කණ්ඩායමයි. සුදුසුකම් ලැබීමේ තරඟවලදී ගේබ්‍රියල් ජේසුස්, නේමාර් සහ පවුලීනියෝ බ්‍රසීලය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත්වූහ.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී බ්‍රසීලයේ කණ්ඩායමේ සංයුතිය

තේරීම් තරඟ වලදී සහ ක්‍රීඩා සමාජ මට්ටමේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් 23 දෙනෙකුගෙන් යුතු බ්‍රසීල සංචිතය මීට දින කිහිපයකට පෙර බ්‍රසීල පුහුණුකරු ටිටේ විසින් නම් කරන ලදී. (පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමක සංචිතය 23 ක් විය යුතුයි.) එසේනම් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන බ්‍රසීල කණ්ඩායම පිලිබඳ විමසීමක් කරමු. පහත සඳහන් රූපයේ දැක්වෙන පරිදි මෙවර බ්‍රසීලය ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

“මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරනු ඇතියි අනුමාන කල හැකි බ්‍රසීල කණ්ඩායම”

මෙම සටහනේ සිටින ක්‍රීඩකයින්, ඔවුන් ක්‍රීඩා කරන ස්ථාන වෙනස් විය හැක. එය පුහුණුකරුගේ තීරණ අනුව වෙනස් විය හැක. නමුත් ඔබට දල අදහසක් ලබාගැනීම සඳහා ඉහත සටහන ඉදිරිපත් කරන ලදී.

මෙවර බ්‍රසීලය බොහෝ දුරට 4-3-3 අනුව ක්‍රීඩා කරනු ඇත. මෙහි අර්ථය වන්නේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් 4 දෙනෙක්, මැදපෙළ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ ඉදිරිපෙළ ක්‍රීඩකයින් තිදෙනෙක් ක්‍රීඩා කරනු ඇති බවයි.

ඉදිරිපෙළ

“කුටීනියෝ (වමේ) සහ නේමාර්” (eurosport.com)

ඉතිහාසය පුරාම ඉතාම ප්‍රබල ඉදිරිපෙලක් බ්‍රසීලය සතුවිය. මෙවරත් එය එසේමයි. මෙහි CF (Centre Forward) යනුවෙන් හැඳින්වෙන්නේ ගෝල වාර්තා කරන ක්‍රීඩකයා යි. CF ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ ප්‍රධාන කාර්යය වන්නේ ගෝල වාර්තා කිරීමය. මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී CF ස්ථානයේ ෆිර්මිනෝ (ලිවර්පූල්) හෝ ගේබ්‍රියල් ජේසුස් (මැන්චෙස්ටර් සිටි) දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු යොදාගනු ඇත. LW (Left Wing) ස්ථානයේ නේමාර් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනු ඇත. RW (Right Wing) ස්ථානයේ කුටීනියෝ (බාසිලෝනා) යොදාගැනීමට ඉඩ ඇති නමුත් ඔහු වම් අර්ධයෙහි වඩාත් හොඳින් ක්‍රීඩා කරන බැවින් කුටීනියෝ මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙකු ලෙසින් ද භාවිතා කිරීමට ඉඩ තිබේ. කුටීනියෝට අමතරව විලියන් (චෙල්සි) ද බ්‍රසීලයට සිටින දක්ෂ RW ක්‍රීඩකයෙකි. LW,  RW ස්ථානවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමත්, ගෝල වාර්තා කිරීම සඳහා CF ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයාට සහාය දැක්වීමත් සිදුකරනු ලබයි.

මැදපෙළ

“කැසෙමීරෝ (වමේ) සහ පවුලීනියෝ” (Twitter/Selecao Brasileira)

ඉතා ශක්තිමත් මැදපෙලකින් ද සමන්විත බ්‍රසීලය CM (Central Midfield) ස්ථානය සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකු යොදාගනු ඇත. බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන පවුලීනියෝ CM ස්ථානයේ ක්‍රීඩා කරන එක් ක්‍රීඩකයෙකු ලෙසින් බොහෝ දුරට යොදාගනු ඇති අතර අනෙක්  ක්‍රීඩකයා ලෙසින් ෆර්නැන්ඩීනියෝ (මැන්චෙස්ටර් සිටි) හෝ රෙනාටෝ අගස්ටෝ (බීජිං ග්වෝන්) ක්‍රීඩා කරනු ඇත. මැදපෙළ ක්‍රීඩකයින්ගේ ප්‍රධාන කාර්යය වන්නේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් වෙත පන්දුව ලබාදීමයි. DM (Defensive Midfield) යනු පාපන්දු කණ්ඩායමක ඉතා වටිනා ස්ථානයක් වූවත් අනෙකුත් ස්ථාන වලට සාපේක්ෂව මෙම ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැත. ආරක්ෂක පෙලට ද සහයෝගය දෙමින් මැදපෙළ සහ ඉදිරිපෙළ සමඟින් ද හොඳ සම්බන්ධයක් තබාගනිමින් DM හි ක්‍රීඩකයා ක්‍රීඩා කල යුතුය. මෙවර බ්‍රසීලයේ DM ස්ථානයට  රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ කැසෙමීරෝ යොදාගනු ඇත.

ආරක්ෂක පෙළ

“මිරැන්ඩා (වමේ), රෙනාටෝ අගස්ටෝ (මැද) සහ මර්සෙලෝ (වමේ)” (goal.com)

බොහෝ කණ්ඩායම් ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් 4 දෙනෙකු යොදාගනී. ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් අතුරින් LB (Left Back) සහ RB (Right Back) ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනා ආරක්ෂක පෙළ ක්‍රීඩා කරන අතරෙහි ඉදිරියට පැමිණ ඉදිරිපෙළ සහ මැදපෙළ ක්‍රීඩකයින්ට සහය දැක්වීම ද සිදුකරයි. (DM හි ක්‍රීඩකයාගේ වටිනාකම වඩාත්ම ඉස්මතු වන්නේ මෙහිදී ය.) රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ මර්සෙලෝ LB ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති අතර මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ඩැනීලෝ හෝ කොරින්තියන්ස් කණ්ඩායමේ ෆෑග්නර් RB ස්ථානයෙහි ක්‍රීඩා කරනු ඇත. මෙවර බ්‍රසීල කණ්ඩායමේ නායකත්වය දැරීමට සිටි PSG කණ්ඩායමේ ඩැනී අල්වෙස්ට ආබාධයක් හේතුවෙන් තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව​ අහිමිවිය. ඔහු RB ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි.

ආරක්ෂක පෙළ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ CB (Central Back) ක්‍රීඩකයින් දෙදෙනාය. කණ්ඩායමේ සිටින ප්‍රධානම ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ CB ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනාය. මොවුන්ගේ ප්‍රධානම කාර්යය වන්නේ පන්දුව රැගෙන එන ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට සිය දැල අසලට පැමිණෙන්නට ඉඩ නොදීමත් පන්දුව කිසි ලෙසකින් හෝ සිය දැල වෙත යාමට ඉඩ නොදීමත්ය. ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය CB ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් ලුයිස් මෙවර බ්‍රසීල සංචිතයට තෝරාගෙන නොමැති නමුත් මෙවර බ්‍රසීලය සතුව අති දක්ෂ CB ක්‍රීඩකයින් තිදෙනෙකු සිටී. PSG කණ්ඩායම නියෝජනය කරන තියාගෝ සිල්වා සහ මාර්ක්වීනියස්, ඉන්ටර් මිලාන් කණ්ඩායම නියෝජනය කරන මිරැන්ඩා අතුරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු CB ස්ථානය සඳහා යොදාගනු ඇත.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී බ්‍රසීලයේ දැල් රකින්නා වශයෙන් රෝමා කණ්ඩායමේ ඇලිසන් යොදාගැනීමට වැඩි ඉඩක් ඇති අතර මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරන එඩර්සන් ද බ්‍රසීලයට සිටින දක්ෂ දැල් රකින්නෙකි.

මෙවර ලෝක කුසලානය බ්‍රසීලයට ජයග්‍රහණය කල හැකිද?

ක්‍රීඩාව පිළිබඳ​ අනාවැකි පැවසීම ඉතා දුෂ්කර කාර්යයකි. නමුත් සමස්ථයක් ලෙසින් බැලූ කල මෙවර පාපන්දු ලෝක කුසලානය හිමිකරගැනීමට අවැසි සියලුම සාධක බ්‍රසීලය සතුව ඇත. ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානය හිමිකරගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින රට බ්‍රසීලය ලෙසින් හැඳින්වූවහොත් එහි වරදක් නැතැයි සිතමි. වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 2 වැනි ස්ථානයේ සිටින බ්‍රසීලය ශක්තිමත් ඉදිරිපෙලකින් ද වරදක් දැකිය නොහැකි මැදපෙලකින් ද ශක්තිමත් ආරක්ෂක පෙලකින් ද සමන්විත වේ.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී බ්‍රසීලය ක්‍රීඩා කරන්නේ E කාණ්ඩයෙන් වන අතර E කාණ්ඩයෙන් තරඟ වදින අනෙකුත් කණ්ඩායම් වන්නේ ස්විට්සර්ලන්තය, කොස්ටාරිකාව සහ ස්වීඩනයයි. E කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බොහෝ දුරට බ්‍රසීලයට හැකිවනු ඇත.

E කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බ්‍රසීලයට හැකිවූවහොත් අවසාන 16 දෙනාගේ වටයේ දී බ්‍රසීලයට මෙක්සිකෝව හෝ ස්වීඩනය මුණගැසීමේ වැඩි අවස්ථා පවතී. එය එසේ වූවහොත් සාපේක්ෂව පහසු අර්ධ අවසාන තරඟයක් හිමිකරගැනීමට ද බ්‍රසීලයට හැකිවනු ඇත. තවම ඒවා පිළිබඳ අවධානය යොමු කිරීමට බොහෝ කාලය ඇති බැවින් තරඟාවලිය ආරම්භ වූවාට පසුව අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු.

Cover – thesefootballtimes.co

Related Articles