Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීල වීරයා

1958 වසරේ දී බ්‍රසීලය මුල්ම වරට පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළා. එම ජයග්‍රහණයත් සමගින් ඇරඹුණු බ්‍රසීල පාපන්දු ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය 1970 වසරේ දී නිමාව දකින විට ඔවුන් පාපන්දු ලෝක කුසලාන 3ක හිමිකරුවන් බවට පත්ව තිබුණා. නමුත් 1970 වසරේ සිට 1994 වසර දක්වා පැවැත්වුණු පාපන්දු ලෝක කුසලාන තරගාවලි 5ක දී කඳුළු සැලීමට බ්‍රසීල පාපන්දු ලෝලීන්ට සිදුවුණා. වසර 24ක් පුරාවට පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳගැනීමට නොහැකිව සිටි බ්‍රසීල පාපන්දු ලෝලීන්ට එම අවස්ථාව නැවතත් උදාකර දුන්නේ රොමාරියෝ නම් සුපිරි ක්‍රීඩකයා යි. මෙම ලිපිය වෙන්වන්නේ රොමාරියෝ 1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ සුපිරි දස්කම් පිළිබඳව කතා කිරීමට යි.

පළමු වටයේ තරගවල දී රොමාරියෝගෙන් සුපිරි දස්කම් 

පළමු වටයේ දී B කාණ්ඩය යටතේ තරග වැදුණු බ්‍රසීල කණ්ඩායමට ස්වීඩනය, රුසියාව, සහ කැමරූන් යන රටවල් සමග ක්‍රීඩා කිරීමට සිදුවුණා. එම තරග තුන තුළ දී ගෝල 3ක් ලබාගත් රොමාරියෝ ඒ සෑම තරගයක දීම බ්‍රසීලය වෙනුවෙන් ආරම්භක ගෝලය ලබාගත්තා. 

බ්‍රසීලය සහ රුසියාව අතර තරගය 

මූලික වටයේ තරගවල දී බ්‍රසීලයට මුලින්ම තරග වැදීමට සිදුවුණේ රුසියාව සමග යි. රුසියාව සමග පැවැත්වුණු එම තරගයේ 26 වැනි විනාඩිය එළඹෙන තුරුම දෙපිලටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් තරගයේ 26 වැනි විනාඩියේ දී බ්‍රසීල ක්‍රීඩක බෙබේටෝ විසින් ලබාගත් කෝණ පහර දැල වෙතට යොමුකළ අවස්ථාවේ රොමාරියෝ විසින් එල්ල කළ උපක්‍රමශීලී පහරකින් බ්‍රසීලය පළමු ගෝලය වාර්තා කළා.

රොමාරියෝ පළමු ගෝලය ලබාගත් අවස්ථාව ( gettyimages)

රොමාරියෝ ලබාගත් එම ගෝලය නිසා තරගයේ පළමු භාගය අවසන් වුණේ බ්‍රසීලය ගෝල 1-0 ලෙසින් පෙරමුණේ තබමින්. සාර්ථකව පළමු අර්ධය නිමා කිරීමෙන් අනතුරුව දෙවන භාගය සඳහා අවතීර්ණ වුණු බ්‍රසීල කණ්ඩායම වඩාත් ආක්‍රමණශීලි තරග රටාවක නිරත වුණා. තරගයේ 51 වැනි විනාඩියේ දී රොමාරියෝ රුසියානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් මුලා කරමින් ඉදිරියට ඇඳෙන විට රුසියානු ක්‍රීඩකයෙකු  දඬුවම් කලාපය තුළදී රොමාරියෝට අනිසි බලපෑමක් සිදුකරනු ලැබුවා. එදා රුසියානු ක්‍රීඩකයා විසින් සිදුකළ බලපෑම නිසා බ්‍රසීලයට ලැබුණ දඬුවම් පහර මඟින් ඔවුන් ලබාගත් ගෝලය නිසා අවසානයේ දී ඔවුන්ට 2-0ක පහසු ජයක් හිමිවුණා.

බ්‍රසීලය දඬුවම් පහර මඟින් ගෝලයක් ලබාගත් අවස්ථාව (gettyimages)

බ්‍රසීලය සහ කැමරූන් අතර තරගය 

බ්‍රසීලය සහ කැමරූන් කණ්ඩායම අතර පැවති තරගයේ දී මුල සිටම බ්‍රසීල කණ්ඩායම වේගවත් තරග රටාවක නිරත වුණත් 38 වැනි විනාඩිය අවසන් වන තුරුම ඔවුන්ට ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් තරගයේ 39 වැනි විනාඩියේ දී බ්‍රසීල ක්‍රීඩක ඩුන්ගා විසින් රොමාරියෝ වෙතට යොමුකළ පන්දුව මනාව පාලනය කරගත් රොමාරියෝ බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එහිදී ඔහු එම ගෝලය වාර්තා කළේ කැමරූන් ක්‍රීඩකයන් තිදෙනෙකු සහ ඔවුන්ගේ දැල් රකින්නා නොමඟ යවමින්.

කැමරූන් කණ්ඩායමට එරෙහිව රොමාරියෝ ගෝලය වාර්තා කළ අවස්ථාව ( gettyimages )

පළමු භාගය අවසන් වන විට 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටි බ්‍රසීලය දෙවන භාගය තුළත් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 66 වැනි විනාඩියේ දී සැන්ටොස් දෙවන ගෝලයත් වාර්තා කළා. එම ගෝලය වාර්තා කර විනාඩි 7කට පසුව රොමාරියෝ දැල වෙතට වේගවත් පහරක් එල්ල කළත් දැල් රකින්නා එය පාදයෙන් නවතනු ලැබුවා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු බෙබේටෝ එය නැවතත් දැල තුළට යොමු කරමින් තෙවන ගෝලයත් වාර්තා කළා. එදා බ්‍රසීල ක්‍රීඩකයන් කැමරූන් කණ්ඩායම හමුවේ දක්ෂ අයුරින් ක්‍රීඩාකළ නිසා අවසානයේ දී ඔවුන්ට 3-0ක පහසු ජයක් ලැබුණා.

බ්‍රසීලය සහ ස්වීඩනය අතර තරගය 

පළමු වටයේ දී බ්‍රසීලය මුහුණදුන් අවසන් තරගයේ දී හමුවුණේ ස්වීඩන් කණ්ඩායම යි. ආරම්භයේ සිටම කරට කර සටනක් පැවතුණු මෙම තරගයේ පළමු ගෝලය ස්වීඩන් ක්‍රීඩක ඇන්ඩර්සන් විසින් වාර්තා කළේ තරගයේ 23 වැනි විනාඩියේ දී යි. එතැන් පටන් බ්‍රසීල ක්‍රීඩකයන් ගෝලයක් ලබාගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වුණා. අවසානයේ දී බ්‍රසීල කණ්ඩායමේ එම පැතුම ඉටු කරමින් රොමාරියෝ 46 වැනි විනාඩියේ දී බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. ඉන් අනතුරුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළත් තරගය නිමාවට පත්වුණේ 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව යි.

රොමාරියෝ ස්වීඩනයට එරෙහිව තරග කරමින්  ( gettyimages )

රොමාරියෝ සහ බෙබේටෝ එක්ව බ්‍රසීලය අවසන් කණ්ඩායම් 8 අතරට රැගෙන යයි 

පළමු වටය අවසන් වන විට B කාණ්ඩයේ පෙරමුණ ගත් බ්‍රසීලයට 16 දෙනාගේ වටයේ දී හමුවුණේ සත්කාරක ඇමරිකානු කණ්ඩායම යි. මුල සිටම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ උණුසුම තවත් වැඩිවුණේ 43 වැනි විනාඩියේ දී බ්‍රසීල ක්‍රීඩක ලියනාඩෝ රතු කාඩ්පතක් ලැබ පිටියෙන් ඉවත්වීම නිසා යි. එලෙස ලියනාඩෝ ඉවත්වීමෙන් පසුව ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවුණත් රොමාරියෝ කලබලයට පත්වුණේ නැහැ. එදා ඉතාමත් උපක්‍රමශීලී අයුරින් ක්‍රීඩාකළ රොමාරියෝ තරගයේ 72 වැනි විනාඩියේ දී ඇමරිකානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් මුලා කරමින් බෙබේටෝ වෙත යොමුකළ පන්දුව ඔහු සාර්ථකව දැල තුළට එල්ල කළේ බ්‍රසීලයට ජයග්‍රාහී ගෝලය ලබාදෙමින්.

බෙබේටෝ ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් ( gettyimages )

අර්ධ අවසන් පූර්ව තරගයේ දී රොමාරියෝ නැවතත් දස්කම් අතරට 

බ්‍රසීලයට අර්ධ අවසන් පූර්ව තරගයේ දී තරග වැදීමට සිදුවුණේ ප්‍රබල නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව යි. තරගයේ 53 වැනි විනාඩිය වන තුරුම දෙපිලටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් 53 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු බෙබේටෝ උපක්‍රමශීලීව රොමාරියෝ වෙතට යොමුකළ පන්දුව ඔහු දැල තුළට එල්ල කළේ බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින්. 

රොමාරියෝ ගෝලය ලබාගත් අවස්ථාව ( gettyimages )

එලෙස තරගයේ පෙරමුණ ගත් බ්‍රසීලය වෙනුවෙන් දෙවන ගෝලය බෙබේටෝ විසින් ලබාගත්තේ 63 වැනි විනාඩියේ දී යි. ඒ අවස්ථාව වන විට බ්‍රසීලය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියත් 76 වැනි විනාඩිය අවසන් වන විට ලකුණු තත්ත්වය 2-2 බවට පත්වුණේ බර්ග්කෑම්ප් සහ වින්ටර් ලබාගත් ගෝල නිසා යි. බලාපොරොත්තු නොවුණු අවස්ථාවක නෙදර්ලන්තය ලබාගත් ගෝල 2ක සමගින් තරගයේ තියුණු බව වැඩිකළත් 81 වැනි විනාඩියේ දී බ්‍රැන්කෝ නිදහස් පහරක් මඟින් ලබාගත් ගෝලය බ්‍රසීල ජයග්‍රහණය තහවුරු කළා.

රොමාරියෝ වසර 24කට පසුව බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට රැගෙන යයි 

1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ බ්‍රසීලය සහ ස්වීඩනය අතර යි. තරගයේ මුල සිටම බ්‍රසීල කණ්ඩායම ගෝල ලබාගැනීමට උත්සාහ කළත් ස්වීඩන් දැල් රකින්නාගේ දක්ෂ දැල් රැකීම නිසා තරගයේ 79 වැනි විනාඩිය අවසන් වන විටත් ලකුණු තත්ත්වය 0-0 ලෙසින් සටහන් වුණා. නමුත් තරගයේ 80 වැනි විනාඩියේ දී බ්‍රසීල ආරක්ෂක පෙළ ක්‍රීඩක ජෝර්ගින්හෝ දැල දෙසට යොමුකළ පන්දුවට හිසින් පහරක් එල්ල කළ රොමාරියෝ ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එදා රොමාරියෝ ලබාගත් එම ගෝලය නිසා බ්‍රසීලය වසර 24කට පසුව පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබුවා.

රොමාරියෝ ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

බ්‍රසීලය සිව්වන වරටත් පාපන්දු ලෝක ශූරයන් බවට පත්වෙයි 

වසර 24කට පසුව පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබූ බ්‍රසීලයට, 1970 අවසන් තරගයේ දී මෙන් ම මෙවර අවසන් තරගයේ දීත් හමුවුණේ ඉතාලි කණ්ඩායම යි. ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ දී නියමිත විනාඩි 90 ඇතුළත කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඉන් පසුව ලැබුණු අතිරේක කාලයේ දීත් කිසිදු ගෝලයක් වාර්තා නොවුණු නිසා දඬුවම් පහර මඟින් ලෝක ශූරයන් තේරීමට සිදුවුණා. එහිදී ඉතාලිය පරාජය කරමින් දඬුවම් පහර  3-2ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළ බ්‍රසීලය සිව්වන වරටත් පාපන්දු ලෝක ශූරතාවය දිනාගත්තා. 

බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාව  (gettyimages)

රොමාරියෝ  තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා පත්වෙයි 

සමස්ත තරගාවලිය පුරාවටම ගෝල 5ක් ලබාගත් රොමාරියෝ තවත් ගෝල 3ක් ලබාගැනීමට සහාය ලබාදුන්නා. එලෙස රොමාරියෝ දැක්වූ සුපිරි දස්කම් නිසාම ඔහුට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට ලබාදෙන  රන් පන්දුව හිමිවුණා. ලියෝනිඩාස්, සිසින්හෝ, ඩිඩි, ගරින්චා, සහ පේලේට පසුව එම සම්මානය දිනාගත් 6 වැනි බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයා බවට පත්වීමට රොමාරියෝට හැකිවුණා.

කවරයේ ඡායාරූපය - රොමාරියෝ පාපන්දු ලෝක කුසලානය සමග  (gettyimages)

Related Articles