බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කළ මරකනාසෝ පරාජය​

“මරකනා ක්‍රීඩාංගණයේ දී එක් අංගචලනයකින් 200,000ක් ජනයා නිහඬ කළ අය ඉන්නේ තුන් දෙනයි. ඒ ෆ්‍රෑන්ක් සිනාත්‍රා, දෙවන ජුවාම් පාවුලු පාප්වහන්සේ, සහ මම යි”

මෙසේ පවසා සිටියේ උරුගුවේ පාපන්දු ක්‍රීඩක අල්සිඩේස් ගිජ්ජා. 1950 ජූලි 16 වන ඉරිදා පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයේ දී බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් තුෂ්නිම්භූත කරමින් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ උරුගුවේ ක්‍රීඩකයා වූයේ ඔහු යි.

කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ එම පරාජය, බ්‍රසීල කණ්ඩායමට බොහෝ කාලයක් තිස්සේ ඇති කළ මානසික බලපෑම සුළුපටු නැහැ. මරකනාසෝ නමින් හඳුන්වනු ලබන මෙම සිද්ධිය පිළිබඳ අදටත් බ්‍රසීලයේ කතාබහ කෙරෙනවා.

මෙම පරාජයෙන් පසු වසර දෙකක් බ්‍රසීල ජාතික කණ්ඩායම පාපන්දු තරගයකට සහභාගී වූයේ නැහැ. එමෙන්ම ඔවුන් එම තරගයේ දී භාවිතා කළ නිල ඇඳුම ද ඉන්පසු භාවිතා කෙරුණේ නැහැ. එම කම්පනය ඒ තරමට ම ප්‍රබල ලෙස ඔවුනට දැනුණා.

අද අපි දකින කහ​, නිල්, සහ කොළ පැහැයෙන් යුතු සුප්‍රකට බ්‍රසීල නිල ඇඳුම භාවිතා කිරීමට මුල් වූ මරකානෝ පරාජය පිළිබඳ අපි සොයා බලමු.

1950 ලෝක කුසලානය

වසර 12කට පසු ව පාපන්දු ලෝක කුසලානය පවත්වන ලද්දේ 1950 දී බ්‍රසීලයේ. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1938 න් පසු එය පැවැත්විය නොහැකි වුණා. 1950 තරගාවලියට ද සහභාගී වූයේ රටවල් 13ක් පමණයි.

මෙම තරගාවලිය ඉතිහාසයට එක්ව ඇත්තේ අවසන් මහා තරගයක් නොපවත්වන ලද එකම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ලෙස යි. ඒ වෙනුවට අවසාන තරග වටයක් පවත්වනු ලැබුවා.

තරගාවලියට සහභාගී වූ රටවල් 13 කාණ්ඩ හතරකට බෙදනු ලැබුණා. ඒ එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහක පිල අවසාන තරග වටයට තෝරා ගත්තා. එම වටය ජයගන්නා පිල ලෝක ශූරයින්යැ යි නම් කිරීමට නියමිත වුණා.

උරුගුවේ, බ්‍රසීලය​, ස්වීඩනය, සහ ස්පාඤ්ඤය මේ අවසන් වටයට සුදුසුකම් ලැබුවා. අවසන් වටයේ අවසානයට පැවැත්වෙන තරගය වූයේ රියෝ ද ජනේරෝ නගරයේ මරකනා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද බ්‍රසීලය සහ උරුගුවේ තරගය යි.

අවසන් තරගයක් නොවූ අවසන් තරගය​

අවසන් වටයේ තරග පැවති ආකාරයෙන් මෙම අවසාන තරගය ඇත්තෙන්ම අවසන් තරගයක් මෙන් වුණා. ඊට හේතු වූයේ තරගය ඇරඹෙන විට දෙරටට ම ලෝක කුසලානය ජයගත හැකි තත්ත්වයක පැවතීම යි. බ්‍රසීලයට ලෝක කුසලානය ජයගැනීම සඳහා මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම ප්‍රමාණවත් වුණා. උරුගුවේ පිල එම තරගය අනිවාර්යයෙන් ම ජයගත යුතු වුණා.

බ්‍රසීල පිල ලෝක කුසලානය ජයගනු නරඹන්නට රිසි ව පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් මරකනා ක්‍රීඩාංගණය එදින අතුරු සිදුරු නැති ව පිරී ගියා. එකල ලෝකයේ ම විශාලම ප්‍රේක්ෂක පිරිසක් රැඳවිය හැකි වූ ක්‍රීඩාංගණය වූයේ මරකනා ක්‍රීඩාංගණය යි. ප්‍රවේශපත්‍ර ලබාගත් සහ නොගත් සම්පූර්ණ ප්‍රේක්ෂකයන් 200,000ක් පමණ එහි රැස් ව සිටියා.

ඇල්සීඩේස් ගිජ්ජා 2008 දී (Reuters)

පළමු භාගයේ දී දෙපිල ම ගෝල වාර්තා නොකළ අතර, දෙවන භාගයේ දී පළමුවෙන්ම ගෝලයක් වාර්තා කළේ බ්‍රසීලය යි. දෙවන භාගය ඇරඹි විගසම පාහේ, තරගයේ 47 වන මිනිත්තුවේ දී ෆ්‍රියාසා විසින් එම ගෝලය වාර්තා කළා.

උරුගුවේ පිල වෙනුවෙන් පෙපේ ශියාෆිනෝ තරගයේ ලකුණු සම කළේ 66 වන මිනිත්තුවේ දී ලබාගත් ගෝලයකින්. මෙම අවස්ථාවේ දී ද බ්‍රසීලය පරාජය වේයැ යි බොහෝ දෙනා විශ්වාස කළේ නෑ. නමුත් බ්‍රසීල කණ්ඩායම මනා ආරක්ෂාකාරී ආකාරයෙන් ක්‍රීඩා කළේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ලෝක කුසලානය ජයගැනීමේ ඉඩ ප්‍රස්තාව ඒ වන විට ද ඔවුනට තිබුණා. එම බලාපොරොත්තු සුන් වූයේ 79 වන මිනිත්තුවේ දී ගිජ්ජා විසින් ලබාගත් ගෝලයත් සමග යි.

අරුම පුදුම තිලිණ ප්‍රදානය​

බ්‍රසීල ක්‍රීඩාලෝලීන් සහ නිලධාරීන් කෙතරම් කම්පනයට පත් වී ද යත්, නිල තිලිණ ප්‍රදානෝත්සව ආදී කිසිවක් පැවතියේ නැහැ. මේ පිළිබඳ එවකට ලෝක පාපන්දු ෆෙඩරේශනයේ සභාපති වූ ජූල්ස් රිමේ සිය කෘතියෙහි විස්තර කරනවා.

ජූල්ස් රිමේ විසින් කුසලානය උරුගුවේ නායකයාට ලබාදෙයි (AFP)

“තරගය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී, ලකුණු සංඛ්‍යාව 1-1ක් ව පවතිද්දී, මයික්‍රෆෝන සූදානම් ව තිබිය දී, ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් නාදය මා තුළ දෝංකාර දෙද්දී, මම මගේ අසුනින් නැගිට ක්‍රීඩක කාමර දෙසට ගියෙමි. එහි සිට උමග ඔස්සේ පිටතට එන වෙලාව තුළ ක්‍රීඩාංගණය මීයට පිම්බාක් මෙන් නිහඬ වී තිබුණි. එදින ආචාර පෙළපාලි නොවී ය​; ජාතික ගී වාදනය නොවී ය​; උත්සව නොවී ය​. ජනයා මා එහා මෙහා තල්ලු කරදිදී මම කුසලානය ද කිහිලි ගන්වාගෙන සෙනඟ මැද තනි වීමි. උරුගුවේ නායකයා සොයාගැනීමට සමත් වූ මම කිසිවෙකුගේ විශේෂ අවධානයක් නොමැති ව එය ඔහු වෙත භාර දුනිමි.”

කම්පනය

මරකනාසෝ පරාජය රට ම බරපතල ලෙස කම්පනයට පත් කළා. බ්‍රසීලය ම මළගෙයක් මෙන් වූ බව පැවසීමෙහි වරදක් නැහැ.

බ්‍රසීල ජාතික කණ්ඩායමේ නිල් පැහැ කොලරය සහිත සුදු පැහැ නිල ඇඳුම වෙනස් කරනු ලැබුණා. අල්ඩිර් ගාර්සියා ෂ්ලී විසින් නිර්මාණය කරන ලද නව නිල ඇඳුම 1954 දී කලඑළි බැස්සා.

2014 දී නැවතත් බ්‍රසීලය ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදුන් අතර, එහි දී ද බේලු ඔරිසොන්ති හි මිනෙයිරාඕ ක්‍රීඩාංගණයේ දී ජර්මනිය සමග තරගයකින් 1-7ක් ලෙස බ්‍රසීලය අපකීර්තිමත් පරාජයක් ලැබුවා. මෙම තරගය මිනෙයිරාසෝ ලෙස හැඳින්වෙනවා. මෙය ද මරකනාසෝ තරම් අපකීර්තිමත් සිද්ධියකැ යි ඇතැමුන් ප්‍රකාශ කළත්, මරකනාසෝ හි බලපෑම වඩා කල් පැවති බව පැහැදිලි ව කිව හැකියි.

අදටත් උරුගුවේ පිල සහ බ්‍රසීලය තරග කරන අවස්ථවන් හි දී මරකනාසෝ පිළිබඳ මතකය අලුත් වෙනවා.

කවරයේ පින්තූරය: ප්‍රේක්ෂකාගාරය නිහඬ කළ අවස්ථාව (Getty)

 

 

Related Articles