Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චන්දනගේ පිත්ත හමුවේ කොදෙව්වන් අසරණ වුණු හැටි

2003 වසරේ දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර එක්දින තරගාවලියක් පැවැත්වුණේ කොදෙව් දේශයේ දී යි. තරග 3කින් සමන්විත වුණු එම එක්දින තරගාවලිය යටතේ පැවති පළමු තරගය ලකුණු 55කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. ඒ අනුව තරගාවලියේ  දෙවන තරගය සඳහා කොදෙව්වන් අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් මුලින්ම පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකාවට ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නා. ඉන් පසුව එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු චන්දන සිය කණ්ඩායම ජය මාවතට යොමු කළේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින්. එසේ නම් මෙම ලිපිය ලියවෙන්නේ එම අපූරු එක්දින තරගය පිළිබඳව ඔබගේ මතකය යළි අවදි කිරීමට යි. 

කාසියේ වාසිය දිනූ කොදෙව්වන් මුලින්ම පන්දුවට පහර දෙයි 

බ්‍රිජ්ටවුන්හි කෙන්සිංටන් ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ලාරා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණෙන්. නමුත් ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වුණු වාස් සහ නිස්සංක හමුවේ කොදෙව් පිතිකරුවන්ට ලෙහෙසියෙන් ලකුණු ලබාගැනීමට හැකි වුණේ නැහැ. එම නිසාම මුල් පන්දුවාර 10 අවසානයේ දී කොදෙව් ලකුණු පුවරුව සටහන් වුණේ 30/0 ලෙසින්. ඉන් අනතුරුව වාස් ක්‍රියාත්මක කළ 11 වැනි පන්දුවාරයේ දී කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් වේවල් හයින්ඩ්ස් දැවීගියා. තරග ආරම්භයේ සිටම දැඩි පීඩනයකට හසුව සිටි හයින්ඩ්ස් දැවීයන විට පන්දු 28කින් ලකුණු 10ක් ලබා සිටියා.

ගේල් සහ ලාරා ශ්‍රී ලංකාවට බැට දෙයි 

හයින්ඩ්ස්ගේ නික්ම යාමෙන් පසුව පිටියේ එක් වුණේ කොදෙව්වන් සතුව සිටි භයානකම පිතිකරුවන් දෙදෙනකු වුණු ක්‍රිස් ගේල් සහ බ්‍රයන් ලාරා යි. එම අවස්ථාව වන විට පහත වැටී තිබුණු ලකුණු ලබාගැනීමේ වේගය ක්‍රමයෙන් ඉහළ දැමූ ගේල් සහ ලාරා විශාල සබඳතාවයකට අඩිතාලම දැමුවා. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරව මුහුණදුන් මෙම පිතිකරු යුගලය පන්දු 155කින් ලකුණු 137ක් එකතු කළේ කොදෙව් ලකුණු පුවරුව 167/1 දක්වා ඉහළ නංවමින්. 

ගේල් පන්දුවට පහරදෙමින්  (gettyimages)

ශ්‍රී ලංකාව යළි තරගයට අවතීර්ණ වෙයි 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් තරගය ගිලිහී යමින් තිබුණු එම අවස්ථාව වන විට කොදෙව් ආරම්භක පිතිකරු ගේල් නොදැවී ලකුණු 94ක් ලබාසිටියේ සිය 6 වැනි එක්දින ශතකය ලබාගැනීමේ අරමුණෙන්. නමුත් එම අවස්ථාවේ දී ප්‍රභාත් නිස්සංක එවූ පන්දුවකට ලකුණක් ලබාගැනීමට යාමේ දී ක්‍රිස් ගේල් දුවද්දී දැවීගියේ  අවාසනාවන්ත අයුරින්. එලෙස ගේල් දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසියේ රාම්නරේෂ් සර්වාන් නම් කොදෙව් පිතිකරුවා යි. නමුත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී නොසිටි සර්වාන් ලකුණු 3කට දුවද්දී දැවීගියේ කොදෙව් ලකුණු පුවරුව 173/3 බවට පත්කරමින්.

ලාරා සහ සැමුවෙල්ස්  වේගවත් සබඳතාවයක් ගොඩනගයි 

තීරණාත්මක මොහොතක ඉක්මනින් කඩුලු 2ක් බිඳවැටීමෙන් පසුව පිටියේ එක් වුණු ලාරා සහ සැමුවෙල්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිර ප්‍රහාරයක් එල්ල කළා. එහි දී ඔවුන් දෙපල පන්දු 54කින් එකතු කළ වේගවත් ලකුණු 108 නිසා පන්දුවාර 47ක් අවසන් වන විට කොදෙව් ලකුණු පුවරුව දිස් වුණේ 282/3 ලෙස යි. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 116ක් ලබාසිටියේ සිය එක්දින දිවියේ 17 වැනි ශතකය වාර්තා කරමින්.

බ්‍රයන් ලාරාගේ ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක්

ලාරා සහ සැමුවෙල්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් දියත් කරමින් සිටි අවස්ථාවේ ලාරා ලකුණු 116කට දැවීයාම කොදෙව්වන්ට බලවත් පාඩුවක් වුණා. නමුත් එහි දී ලාරාගේ අඩුව මකා දැමූ සැමුවෙල්ස් පන්දු 36කින් නොදැවී ලකුණු 56ක් ලබාගත්තේ නියමිත පන්දුවාර 50 තුළ කොදෙව් ලකුණු පුවරුව 312/4 බවට පත්කරමින්.

සැමුවෙල්ස් පහරක් එල්ල කරමින් (gettyimages)

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක් 

ලකුණු 313ක ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන ප්‍රවේගකාරී පිතිකරුවන් යුගලය යි. එදා කොදෙව් වේගපන්දු යවන්නන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ මෙම පිතිකරු යුගලය පන්දු 65ක් තුළ ලකුණු 71ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින්.

තරගය දෙපිලටම විවෘත වෙයි 

ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයක පැවති අවස්ථාවේ ක්‍රියාත්මක වුණු කොදෙව් පන්දු යවන්නන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය දවාගත්තේ ඔවුන්ගේ ලකුණු පුවරුව 78/2 බවට පත්කරමින්. නමුත් එම තීරණාත්මක අවස්ථාවේ ලකුණු 75ක වටිනා සබඳතාවයක් ගොඩනැගූ අතපත්තු සහ සංගක්කාර ශ්‍රී ලංකා ලකුණු පුවරුව 153/2 දක්වා ඉහළ දැමුවා. එම මොහොත වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු 135කින් ලකුණු 160ක් අවශ්‍ය වුණා. එම නිසාම ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අතපත්තු ලකුණු 47කට දුවද්දී දැවී ගියා. නමුත් ඒ වන විට ශ්‍රී ලංකාව සතුව කඩුලු 7ක් ඉතිරිව තිබුණු නිසා තරගය දෙපිලටම විවෘත එකක් වුණා.

චන්දනට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් 

ජයග්‍රහණය සඳහා වැඩි වේගයකින් ලකුණු ලබාගැනීමට අවශ්‍ය වුණු එම මොහොතේ උපුල් චන්දනව අංක 5 පිතිකරු ලෙසින් පිටියට එවනු ලැබුවේ පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබාදෙමින්. එලෙස පිටියට එවූ චන්දන පන්දු 27කින් ලකුණු 30ක් ලබාගනිමින් සංගක්කාර සමග ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 192/3 දක්වා ඉහළ නංවමින්. 

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටෙයි 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 192/3 ලෙසින් දිස් වුණු අවස්ථාවේ සංගක්කාර ලකුණු 31කට දැවීගියේ කොදෙව්වන්ට තරගයේ වාසිය ලබාදෙමින්.එම මොහොත වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු 94කින් ලකුණු 121ක් ලබාගත යුතුව තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරු යුගලය දැඩි පීඩනයකට හසුව තිබුණා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු පන්දුවාර කිහිපය තුළත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එම නිසාම පන්දුවාර 40ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 221/4 ලෙස සටහන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 60ට ලකුණු 92ක් අවශ්‍ය වුණා.  

චන්දනගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකාව ජය මාවතට යොමු කරයි

සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි එම තීරණාත්මක මොහොතේ වේගයෙන් පන්දුවට පහරදුන් චන්දන සහ මහේල පන්දුවාර 40-45 අතර දී ලකුණු 54ක් ලබාගැනීමට සමත් වුණා. එලෙස ඔවුන් දෙදෙනා දියත් කළ දක්ෂ පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව යළි තරගයට අවතීර්ණ වුණා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු පන්දුවාර කිහිපය තුළ දීත් සුපුරුදු පිතිහරඹයෙහි යෙදුණු  චන්දන හයේ පහර 4ක් සමගින් පන්දු 71කින් ලකුණු 89ක් ලබාසිටිය දී දැවීගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 293/5 බවට පත්කරමින්. එලෙස චන්දන දියත් කළ මනරම් පිතිහරඹය නිසා ඔහු දැවී යන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ පන්දු 15කින් ලකුණු 20ක් පමණ යි.

උපුල් චන්දන (gettyimages)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක තියුණු ජයක් 

නොසිතූ මොහොතක සිදුවුණු චන්දනගේ නික්මයාම ශ්‍රී ලංකාවට බලවත් පාඩුවක් වුණා. එසේම එම දැවීයාමෙන් පසුව ලකුණු ලබාගැනීමේ වේගය අඩු වුණු නිසා ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 2ක තුළ ලකුණු 18ක් අවශ්‍ය වුණා. එම නිසාම තියුණු අතට හැරී තිබුණු තරගය ශ්‍රී ලංකා දෙසට හැරවූ දිල්ෂාන් 49 වැනි පන්දුවාරය තුළ හතරේ පහර 2ක් එල්ල කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 309/6 බවට පත්කරමින්. ඉන් අනතුරුව  කොලිමෝර් විසින් ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී සීරුවෙන් පන්දුවට පහරදුන් දිල්ෂාන් සහ ධර්මසේන සිය කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ පන්දුවාර 49.3ක් අවසානයේ දී යි. එදා ශ්‍රී ලංකාව ලබාගත් එක්දින තරග ජයග්‍රහණය නිසා ඔවුන්ට කොදෙව් දේශයේ දී මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම එම ජයග්‍රහණය වෙනුවෙන් උපුල් චන්දන දියත් කළ සුපිරි ඉනිම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන ඉනිමක් බවට පත්වනවා ඇති.

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළ මොහොත (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

බටහිර ඉන්දීය කොදෙව් – 312/4 (50), (ලාරා – 116, ගේල් – 94, සැමුවෙල්ස් – 56*, වාස් – 33/1)

ශ්‍රී ලංකාව – 313/6 (49.3), (චන්දන – 89*, මාවන් – 47, ජයසූරිය – 41, ඩ්‍රේක්ස් – 49/2)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා – උපුල් චන්දන

කවරයේ ඡායාරූපය- උපුල් චන්දන  (gettyimages)

Related Articles