Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල වාර්තා වුණු ශතක

ඕනෑම පිතිකරුවෙකුගේ ක්‍රිකට් ජීවිතේ ඔහු දකින සිහින අතුරින් එකක් වන්නේ එක්දින  ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට වරම් ලැබීම යි. එලෙස අවසන් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට සිහින දකින පිතිකරුවෙකුට අවසන් තරගයේ දී ශතකයක් ලබාගැනීමට හැකි වුවහොත්, එය ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ඔහුට ලබාගැනීමට හැකි උපරිම සතුට යි. නමුත්, ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේ දී එම සුමිහිරි අත්දැකීම ලබාගත් පිතිකරුවන් අපට හමුවන්නේ 6 දෙනෙක් පමණයි. එම නිසාම මෙම ලිපිය වෙන් වන්නේ ඔවුන් සඳහා යි.

1975 ලෝක කුසලාන අවසන් තරගයේ දී ක්ලයිව් ලොයිඩ් ලකුණු 102ක් ලබාගත්තේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින්.

ක්ලයිව් ලොයිඩ්ස්ගේ අගනා ඉනිමේ එක් අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ලෝඩ්ස් පිටියේ දී පැවැති 1975 ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 50කට දැවී ගොස් තිබූ අවස්ථාවේ පිටියට පිවිසි ක්ලයිව් ලොයිඩ්, පන්දු 85ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 102ක් ලබාගත්තේ ලෝක කුසලාන අවසන් තරගයක දී ශතකයක් ලබාගත් මුල්ම පිතිකරුවා මෙන්ම මුල්ම නායකයා ලෙසින් ද ඉතිහාසයට එක් වෙමින්.

1979 ලෝක කුසලාන අවසන් තරගයේ දී විවියන් රිචඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණේ විශිෂ්ට ලකුණු 138ක්.

විවියන් රිචඩ්ස් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

1979 වසරේ ලෝඩ්ස් පිටියේ දී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගෝර්ඩන් ග්‍රිනිජ් ලකුණු 9කට දැවී යාමෙන් අනතුරුව විවියන් රිචඩ්ස් පිටියට පිවිසියා. නමුත්, ඉන්පසුව රිචඩ්ස්ව එක් අන්තයක තනි කරමින් කොදෙව්වන්ගේ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටුණේ කොදෙව් ලකුණු පුවරුව 99/4 බවට පත් කරමින්. කොදෙව් කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු විවියන් රිචඩ්ස් හතරේ 11ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 157ක දී නොදැවී ලකුණු 138ක් ලබාගත්තේ නියමිත පන්දුවාර 60 අවසානයේ දී කොදෙව් ලකුණු පුවරුව 286/9 බවට පත් කරමින්. එදා රිච්ඩ්ස් දියත් කළ එම සුපිරි ඉනිම 2002 වසරේ එළිදැක්වූ විස්ඩන් හොඳම ඉනිම් 100 අතර දෙවන ස්ථානය දිනාගත්තේ එම ඉනිම තුළ දක්නට ලැබුණු විශිෂ්ටත්වය නිසාම යි.

අරවින්ද ද සිල්වා 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ලබාගත් ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට කිසිදා අමතක නොවන ඉනිමක් වුණා.

අවසන් තරගයේ දී අරවින්ද පන්දුවට පහරදෙමින් (gettyimages)

ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගත්තා. ඉන්පසුව, ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 23ක් වෙත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. නමුත්, එම අවස්ථාවේ ඉන් නොසැලුණු අරවින්ද ද සිල්වා ඉතාමත් වගකිමෙන් ක්‍රීඩා කරමින් හතරේ පහර 13ක් සමගින් පන්දු 124කින් නොදැවී ලකුණු 107ක් ලබාගත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක ක්‍රිකට් කිරුළ හිමිකර දෙමිනුයි. එදා අරවින්ද ලබාගත් ශතකයේ ඇති වැදගත්කම වන්නේ ලෝක කුසලාන අවසන් තරගයක දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායමක ක්‍රීඩකයෙකු ලබාගත් එකම ශතකය එය වීම යි.

2003 ලෝක කුසලාන අවසන් තරගයේ දී රිකී පොන්ටිං ලබාගත් ලකුණු 140 ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉහළ ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන ගියා.

රිකී පොන්ටිංගේ ඉනිමේ එක් අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ජොහැනස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේ දී පැවති 2003 ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වී ගිල්ක්‍රිස්ට් සහ හේඩ්න් ලකුණු 105ක් පළමු කඩුල්ල වෙනුවෙන් එක් කළා. හර්බජාන් සිංගේ පන්දුවක් හමුවේ ගිල්ක්‍රිස්ට් ලකුණු 57කට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං අනතුරුව ඉන්දීය පන්දු යවන්නන් හට අනුකම්පා විරහිතව පහරදෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමගින් පන්දු 121ක දී නොදැවී ලකුණු 140ක් ලබාගත්තේ, නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 359/2 වැනි ඉහළ ලකුණු ප්‍රමාණයකට රැගෙන යමින්. එදා පොන්ටිං දියත් කළ එම අනර්ඝ ඉනිම නිසා කොදෙව්වන්ට පසුව පිට පිටම දෙවන වරට ලෝක කුසලානය දිනූ කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වුණා.

ඇඩම් ගිල්ක්‍රිස්ට් 2007 ලෝක කුසලාන අවසන් තරගයේ දී ලබාගත් ප්‍රචණ්ඩ ලකුණු 149 නිසා ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ වුණා.

ගිල්ක්‍රිස්ට් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිජ්ටවුන් හි දී පැවති 2007 ලෝක කුසලාන අවසන් තරගය වර්ෂාව නිසා පන්දුවාර 38කට සීමා වුණා. එහි දී තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වුණු ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවකින් තොරව පහර දෙමින් පන්දු 104ක දී ලකුණු 149ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමිනුයි. එදා ගිල්ක්‍රිස්ට් ලබාගත් එම ලකුණු 149 එක්දින ලෝක කුසලාන අවසන් තරගයක පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක්වුණා.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී මහේල ජයවර්ධන ලබාගත් ලකුණු 103 පීඩනය ඔස්සේ ගොඩනැගූ අපූරු ඉනිමක් බවට පත්වුණා.

 මහේලගේ ඉනිමේ සොඳුරු දසුනක් (gettyimages)

මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම යම් පීඩනයකට ලක්ව සිටි අවස්ථාවේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් දක්ෂ පිතිහරඹයක නියැලුණු මහේල හතරේ පහර 13ක් සමගින් පන්දු 88ක දී නොදැවී ලකුණු 103ක් ලබාගත්තේ, නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 274ක් දක්වා ඔසවා තබමින්. මහේල එදා ලබාගත් ශතකයත් සමගින් ලෝක කුසලාන අවසන් තරගයක සහ අවසන් පූර්ව තරගයක ශතක ලබාගත් එකම පිතිකරුවා බවට පත්වූයේ එක්දින ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින්.

කවරයේ ඡායාරූපය- අරවින්ද 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

Related Articles