Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවට බිළි වුණු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

වර්තමානය වන විට කොරෝනා වසංගතය වඩාත් දරුණු ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින රටවල් ත්‍රිත්වය අතරට ඉන්දියාව ද අයත්. පසුගිය 17 වැනිදා වන විට ලක්ෂ 27කට අධික කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වන විට ඉන් 51,936ක් මරු වැළඳගෙන තිබුණා. ගෙවුණු මාසය තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 16කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමගම බොහෝ විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ ඉදිරියේ දී මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට වැඩි ඉඩකඩක් පවතින බව යි. 

ඉන්දියාව කොරෝනාවෙන් බැටකමින් සිටින අවස්ථාවක එරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කණගාටුදායක පුවතක් අසන්නට ලැබුණා. ඒ 70 සහ 80 දශකවල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චේතන් චෞහාන් කොරෝනාවට ගොදුරු වී මරණයට පත්වීම පිළිබඳ පුවත යි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු සේම දේශපාලඥයෙකු ලෙස ද කටයුතු කළ චෞහාන්ගේ හදිසි මරණය පිළිබඳව ඔහුගේ සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් කණගාටුව පළ කර තිබුණා.

චෞහාන්ගේ පාසල් කාලය

1947 වසරේ ජූලි 21 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වල දී උපත ලැබූ චේතන් චෞහාන්ගේ පියා ඉන්දීය යුද හමුදාවේ සේවය කළා. චෞහාන් 13 වැනි වියේ පසුවෙද්දී ඔහුගේ පියාට රැකියා ස්ථානයෙන් ලැබුණු මාරුවක් නිසා ඔවුන්ගේ පවුල පූනේ නුවර පදිංචියට පැමිණියා. ඉන් අනතුරුව පූනේ නුවර පිහිටා තිබුණු වාඩියා නම් පාසලට ඇතුළත් වුණු චෞහාන් එහි අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව පූනේ විශ්වවිද්‍යාලයට ගොස් උසස් අධ්‍යාපන කටයුතු සිදු කළා.

ක්‍රිකට් දිවියේ ඇරඹුම සහ දස්කම් අතර පැමිණීම 

චෞහාන් වාඩියා විදුහලේ ඉගෙනුම ලැබූ කාල සමයේ කමල් බණ්ඩර්කාර් ඔහුගේ ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. ඔහුගෙන් ලද මනා පුහුණුව නිසා පූනේ විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම චෞහාන්ට හිමි වුණා. ඔහු පූනේ විශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ දස්කම් හේතුවෙන් විසී කුසලානය සඳහා සහභාගි වුණු බටහිර කලාපීය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් උදා වුණා. එහි දී චෞහාන් උතුරු සහ දකුණු කලාපීය කණ්ඩායම්වලට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. එදා ඔහු ලද සාර්ථකත්වය නිසා 1967 වසරේ දී රංජි කුසලානය සඳහා සහභාගි වුණු මහරාෂ්ට්‍ර කණ්ඩායම නියෝජනයට ඔහු සුදුසුකම් ලැබුවා. ඉන් පසුව දිගින් දිගටම දස්කම් අතර සිටි චෞහාන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය දිනාගත්තේ 1969 දුලීප් කුසලාන අවසන් තරගයේ දී දකුණු කලාපීය කණ්ඩායමට එරෙහිව ලකුණු 103ක් ලබාගැනීමත් සමග යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1969 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ඉන්දු-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී චේතන් චෞහාන්ට ටෙස්ට් වරම් හිමි වුණා.

මංගල ටෙස්ට් තරගය 

1969 වසරේ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රැබෝන් පිටියේ දී ආරම්භ වුණු ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දී අබිඩ් අලී සහ ඉනිම ආරම්භ කළේ චේතන් චෞහාන් නම් යොවුන් පිතිකරුවා යි. පන්දු යවන්නන්ට උචිත අයුරින් සාදා තිබුණු තණතීරුවක ඉනිම ආරම්භ කළ චෞහාන්ට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 18ක් පමණ යි. චෞහාන් මෙන්ම එදා සෙසු ඉන්දීය පිතිකරුවන් ද අසාර්ථක වුණු නිසා ඉන්දීය පළමු ඉනිම ලකුණු 156 දී නිමාව දුටුවා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 229ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 73ක් ඉදිරියෙන් සිටිමින්. 

අනතුරුව මේ අවාසිදායක තණතීරුවේ සිය කණ්ඩායම වෙනුවෙන් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වුණු චෞහාන් දෙවන ඉනිමේ දී ලකුණු 34ක් ලබාගත්තේ කිවියන්ට ලකුණු 188ක අභියෝගාත්මක ඉලක්කයක් ලබාදීමට සහාය වෙමින්. පළුදු වුණු හොඳින් දඟ කැවෙන තණතීරුවක ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය කිවියන් ලකුණු 127කට දැවීගියේ බිෂන් බෙසි සහ එරප්පලි ප්‍රසන්නා විසින් සිදු කළ මනරම් පන්දු යැවීම නිසා යි. 

අසාර්ථක වසර 4ක්

1969 වසරේ දී ටෙස්ට් වරම් ලබාගත් චෞහාන් 1973 වසර වන විට සහභාගි වී තිබුණේ ටෙස්ට් තරග 5කට පමණ යි. එම ටෙස්ට් තරග 5 තුළ ඉනිම් 10ක දී පන්දුවට පහරදුන් චෞහාන් ලකුණු 139ක් ලබාගෙන තිබුණා. එහි දී ඔහු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වුණේ මංගල ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ලබාගත් ලකුණු 34යි. එලෙස අපේක්ෂිත දස්කම් අතරට නොපැමිණීම නිසා චෞහාන්ට ඉන්දීය කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වුණා. නමුත් ඉන් නොසැලුණු චෞහාන් අඛණ්ඩව පළමු පෙළ තරග ක්‍රීඩා කළේ යළි ජාතික කණ්ඩායමට එක් වීමේ අරමුණ ඇතිව යි.

 1973 වසරේ දී එංගලන්තයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

යළි ජාතික කණ්ඩායමට 

1975 වසරේ දී චෞහාන් දිල්ලි නුවර පදිංචියට යාමෙන් පසුව රංජි කුසලාන තරගවල දී දිල්ලි කණ්ඩායමත් දුලිප් කුසලාන තරගවල දී උතුරු කලාපීය කණ්ඩායමත් නියෝජනය කළා. 1976/77 රංජි කුසලාන තරග වාරයේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ චෞහාන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ලකුණු 200ක්, හර්යානා කණ්ඩායමට එරෙහිව ලකුණු 158ක්, සහ කර්ණාටක කණ්ඩායමට එරෙහිව ලකුණු 147ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. එසේම දුලිප් කුසලාන තරගාවලියේ දී මධ්‍යම කලාපයට එරෙහිව ලකුණු 150ක් ලබාගත්තා. එලෙස ඔහු අඛණ්ඩව දැක්වූ දස්කම් නිසා 1977 වසරේ දී යළි ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබුවා.

සාර්ථක මාස 40ක් 

1977 වසරේ දී යළි කණ්ඩායමට එකතු වුණු චෞහාන් මාස 40ක කාලයක් තුළ ටෙස්ට් තරග 35ක දී සිය රට නියෝජනය කළා. එම කාල සමය තුළ අර්ධ ශතක 16ක් සමගින් ලකුණු 1945ක් ලබාගැනීමට ඔහු සමත් වුණා. එසේම 1978 වසරේ දී එක්දින වරම් ලබාගත් චෞහාන් තරග 7ක දී සිය කණ්ඩායම නියෝජනය කළා. එහි දී එතරම් සාර්ථක නොවුණු චෞහාන් ලබාගත්තේ ලකුණු 153ක් පමණ යි. එදා සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර්ගේ සහායක ආරම්භක පිතිකරුවා ලෙස නමක් දිනා සිටි චෞහාන් 1979 ඕවල් ටෙස්ට් තරගයේ දී ඔහු සමගින් එක්ව පළමු කඩුල්ලට ලකුණු 213ක සබඳතාවයක් ගොඩනැගුවා. එම සබඳතාවයට අමතරව පාකිස්ථානයට එරෙහිව ලකුණු 192ක, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 153ක සබඳතාවයන් ගොඩනගමින් ගවස්කාර්-චෞහාන් යුගලය එදා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. 

පාකිස්ථානයට එරෙහිව ලකුණු 93ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අහිමි වුණු ශතක 7ක් 

චේතන් චෞහාන්ට සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ කිසිදු ශතකයක් ලබාගැනීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. නමුත් ඔහු ලකුණු 80-100 අතර දැවීගිය අවස්ථාවන් 7ක් හමුවනවා. පහත දැක්වෙන්නේ චෞහාන් ශතකය අභියස දැවීගිය අවස්ථාවන් පිළිබඳව යි.

1) 97- ඕස්ට්‍රේලියාවට එරෙහිව (1981)

2) 93- පාකිස්ථානයට එරෙහිව (1978)

3) 88- ඕස්ට්‍රේලියාවට එරෙහිව (1977)

4) 85- ඕස්ට්‍රේලියාවට එරෙහිව (1981)

5) 84- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව (1978)

6) 84- ඕස්ට්‍රේලියාවට එරෙහිව (1979)

7) 80- එංගලන්තයට එරෙහිව (1979)

පළමු පෙළ තරග දස්කම් 

චේතන් චෞහාන් 1967-1985 කාල සමය තුළ ඉන්දීය පළමු පෙළ තරග සඳහා සහභාගි වුණා. එහි දී ඔහු දිල්ලි සහ මහරාෂ්ට්‍ර යන කණ්ඩායම් නියෝජනය කළා. එම කාල සමය තුළ තරග 179කට සහභාගි වුණු චෞහාන් ලකුණු 11143ක් ලබාගත්තේ ශතක 21ක් සහ අර්ධ ශතක 59ක් ලබාගනිමින්. එසේම ඇතැම් අවස්ථාවල පන්දුවෙන් ද දස්කම් දැක්වූ ඔහු කඩුලු 51ක් ලබාගත්තා.

දේශපාලනය දිවිය පිළිබඳව කෙටියෙන් 

චේතන් චෞහාන් සිය දේශපාලන දිවිය තුළ දී නියෝජනය කළේ භාරතීය ජනතා පක්ෂය යි. උත්තර් ප්‍රදේශයේ අම්රෝහා අසුන නියෝජනය කරමින් තරග බිමට පිවිසුණු චෞහාන් 1991 සහ 1998 මැතිවරණවල දී සිය අසුන ජයග්‍රහණය කළා. නමුත් 1996, 1999, සහ 2004 මැතිවරණවල දී ඔහු සිය අසුන පරාජයට පත් වුණා. පසුකලෙක ජාතික මැතිවරණවල දී දක්නට නොලැබුණු චෞහාන් 2017 වසරේ පැවති උත්තර් ප්‍රදේශ ව්‍යවස්ථාදායක මැතිවරණය සඳහා තරග කරමින් විදාන් සභාවට සුදුසුකම් ලැබුවා.

දේශපාලනයේ නිරතවෙමින් (gettyimages)

කොරෝනාවට ගොදුරු වීම 

පසුගිය ජූලි 12 වැනිදා චෞහාන්ගේ PCR පරීක්ෂණ ප්‍රථිඵල ලැබීමෙන් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී තිබුණා. ඉන් අනතුරුව ඔහු ස්වයං නිරෝධායනයේ නිරත වෙමින් සිටියත් ඔහුගේ තත්ත්වය බරපතළ වීම නිසා ගුරුග්‍රාම් රෝහලට ඇතුළත් කර තිබුණා. එහි දී ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉන්දීය වෛද්‍යවරු විශාල පරිශ්‍රමයක් දැරුවා. නමුත් 73 හැවිරිදි චෞහාන් නිදන්ගත රෝගාබාධවලින් ද පෙළුණු නිසා ඔහුගේ ප්‍රතිශක්තිය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. එහෙයින් කොරෝනාවට ජය හිමිවුණේ චේතන් චෞහාන්ගේ ජීවන ඉනිම නිමා කරමින්. ඔහු මියගිය පුවත ඇසීමත් සමගම ඔහුගේ සමකාලීනයන් වුණු සුනිල් ගවස්කාර්, බිෂන් බෙඩි, කපිල් දේව්, මොහින්දර් අමර්නාත් වැනි ක්‍රීඩකයන් ඔවුන්ගේ ශෝකය පළ කර තිබුණා. චේතන් චෞහාන් ජීවන රඟමඩලෙන් නික්ම ගියත් ඔහු ඉතිරි කළ මතකයන් හැමදාමත් ක්‍රිකට් පිටිය තුළ රැඳී තිබේවි.

කවරයේ ඡායාරූපය- චෞහාන් 1979 ඕවල් ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles