Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළු බඳුන තරගාවලි ඉතිහාසයේ තියුණු ම ටෙස්ට් තරග 5ක්

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කාගේත් අවධානය දිනා ගන්නා තරගාවලියක් වන අළු බඳුන එළඹෙන දෙසැම්බර් 8 වැනි දින බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී ආරම්භ වීමට නියමිත යි. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලෝකයේ පැරණිත ම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙනවා. 

1882/83 තරගවාරයේ සිට ක්‍රියාත්මක වන අළු බඳුන තරගාවලිය 71 වාරයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණා. ඒ අතුරින් තරගාවලි 33ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමිවෙද්දී තරගාවලි 32ක ජයග්‍රහණය එංගලන්තයට හිමි වුණා.

අළු බඳුන කුසලානය – gettyimages.com

එහි දී දෙරට අතර පැවැත්වුණු ටෙස්ට් තරග 335 අතුරින් 136ක් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරද්දී ප්‍රතිවාදී එංගලන්තයට හිමි වුණේ ජයග්‍රහණ 108ක් පමණ යි. එලෙස දෙපාර්ශවය ලබා ගත් ජයග්‍රහණ අතුරින් සමහර ඒවා විශාල ජයග්‍රහණ බවට පත්වන විට තවත් සමහර ඒවා ඉතාමත් තියුණු ජයග්‍රහණ බවට පත්වුණා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එදාමෙදා තුර අළු බඳුන තරගාවලියේ දී වාර්තා වුණු තියුණු ම තරග ජයග්‍රහණ 5 පිළිබඳව යි. 

5) ඕස්ට්‍රේලියාවට ලකුණු 3ක ජයක්- 1902 අළු බඳුන තරගාවලිය

1902 අළු  බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා ම දැවී ලකුණු 299ක් ලබා ගත්තා. එහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු වික්ටර් ට්‍රම්පර් අගනා ලකුණු 104ක් වාර්තා කරද්දී එංගලන්තය වෙනුවෙන් විලියම් ලොක්වුඩ් ලකුණු 48කට කඩුලු 6ක් දවා ගත්තා. 

වික්ටර් ට්‍රම්පර් – gettyimages.com

 

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම ට්‍රම්බල්ගේ සහ සෝන්ඩර්ස්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ අසීරු අඩියකට වැටුණා. එනිසා එංගලන්ත ලකුණු පුවරුව 44/5 ලෙසින් දිස්වුණා. ඒ අයුරින් එංගලන්තය පරාජය කරා යමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු ස්ටැන්ලි ජැක්සන් අගනා ලකුණු 128ක් ලබාගෙන සිය කණ්ඩායම ලකුණු 262ක් කරා රැගෙන ගියා.

පළමු ඉනිමේ දී ලකුණු 37ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන් යළිත් වරම් විලියම් ලොක්වුඩ්ගේ සුපිරි වේගපන්දු යැවීම හමුවේ අන්ද මන්ද වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 86කට සීමා වුණා.

විලියම් ලොක්වුඩ් – gettyimages.com

 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලැබුණේ ලකුණු 124ක් වැනි ඉතාමත් පහසු ඉලක්කයක්. එම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් එක් අවස්ථාවක කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 107ක් ලබාගෙන ජයග්‍රහණයට සමීප ව සිටියා.

නමුත් ඒ මොහොතේ කිසිවකු නොසිතූ අයුරින් සුපිරි පන්දු යැවීමක නිරත වුණු හියූ ට්‍රම්බල් ලකුණු 53කට කඩුලු 6ක් දවා ගෙන එංගලන්ත ඉනිම ලකුණු 120කට සීමා කළා. එනිසා ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 3ක තියුණු ජයක් උරුම වුණා. 

හියූ ට්‍රම්බල් – gettyimages.com

ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 299/10, (ට්‍රම්පර්- 104, හිල්- 65, ඩෆ්- 54, ලොක්වුඩ්- 48/6, රෝඩ්ස්- 104/4)

එංගලන්ත පළමු ඉනිම- 262/10, (ජැක්සන්- 128, බ්‍රවුන්ඩ්- 65, ට්‍රම්බල්- 75/4, සෝන්ඩර්ස්- 104/3)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 86/10, (ඩාලිං- 37, ලොක්වුඩ්- 28/5, රෝඩ්ස්- 26/3, ටේට්- 7/2)

එංගලන්ත දෙවන ඉනිම- 120/10, (මැක්ලරන්- 35, ට්‍රම්බල්- 53/6, සෝන්ඩර්ස්- 52/4)

ඕස්ට්‍රේලියාවට ලකුණු 3ක ජයක් 

4) එංගලන්තයට කඩුල්ලක ජයක්- 1908 අළු බඳුන තරගාවලිය

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මෙල්බර්න් පිටියේ දී 1908 ජනවාරි 1 වැනිදා ආරම්භ වුණා. එදා පන්දුවට මුලින් ම පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 266ක් ලබා ගත්තා. එහි දී මොන්ටෙගූ නෝබල් පමණක් පිත්තෙන් සාර්ථක වෙමින් ලකුණු 61ක් ලබා ගනිද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ජෝන් ක්‍රෝව්ෆඩ් ලකුණු 79කට කඩුලු 5ක් බිඳ දැමුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 382ක් ලබා ගත්තා. එහි දී එංගලන්ත ඉනිම වර්ණවත් කළ කෙනත් හචිංග්ස් අගනා ලකුණු 126ක් වාර්තා කරද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් ජැක් හොබ්ස් ලකුණු 83ක් වාර්තා කළා. එසේ එංගලන්ත පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙද්දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් විස්කම් පෑ ඇල්බට් කොටර් ලකුණු 142කට කඩුලු 5ක් දවා ගත්තා.

කෙනත් හචිංග්ස්  – gettyimages.com

 

එංගලන්තයට වඩා ලකුණු 116ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සිය දෙවන ඉනිම සඳහා ලකුණු 397ක් ලබා ගත්තා. එහි දී වර්වික් ආම්ස්ට්‍රෝන්ග් ලකුණු 77ක් වාර්තා කරද්දී ට්‍රම්පර්, නෝබල්, මැකාති සහ කාටර් යන පිතිකරුවන් අර්ධ ශතක ලබා ගත්තා.

එම ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සිඩ්නි බාන්ස් ලකුණු 72කට කඩුලු 5ක් දවා ගත්තා. ඉන් පසුව ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ කඩුලු 9ක් ලකුණු 243කට දැවී ගියා. නමුත් ඉන් නොසැලුණු සිඩ්නි බාන්ස් සහ ආතර් ෆීල්ඩර් අවසන් කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 39ක සබඳතාවක් ගොඩ නඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම අමතක නොවන සිදුවීමක් වුණා.

සිඩ්නි බාන්ස් – gettyimages.com

 

ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 266/10, (නෝබල්- 61, ට්‍රම්පර්- 49, ක්‍රෝව්ෆඩ්- 79/5)

එංගලන්ත පළමු ඉනිම- 382/10, (හචිංග්ස්- 126, හොබ්ස්- 83, කොටර්- 142/5)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 397/10, (ආම්ස්ට්‍රෝන්ග්- 77, නෝබල්- 64, බාන්ස්- 72/5)

එංගලන්ත දෙවන ඉනිම- 282/9, (ෆේන්- 50, හචිංග්ස්- 39, බාන්ස්- 38*, ආම්ස්ට්‍රෝන්ග්- 53/3)

එංගලන්තයට කඩුල්ලක ජයක් 

3) එංගලන්තයට ලකුණු 3ක ජයක්- 1982 අළු බඳුන තරගාවලිය

1982 අළු බඳුන තරගාවලියේ සිව්වන තරගය මෙල්බර්න් පිටියේ දී ආරම්භ වුණා. ඒ වන විට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටියා. එනිසා තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා එංගලන්තයට සිව්වන තරගයේ ජයග්‍රහණය අවශ්‍ය ම වුණා.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 284ක් ලබා ගත්තා. එහි දී දක්ෂ පිති හරඹයක නිරත වුණු ක්‍රිස් ටැවරේ සහ ඇලන් ලෑම්බ් පිළිවෙළින් ලකුණු 89ක් සහ 83ක් ලබා ගනිද්දී රොඩ්නි හොග් සහ බෘස් යාඩ්ලි අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියා. 

ටැවරේගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 261ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසු වුණා. නමුත් ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු අවසන් කඩුලු 5 ලකුණු 26ක් තුළ දවා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

එලෙස ලකුණු 287ක දී නිමාව දුටු ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් කිම් හියුස් ලකුණු 66ක් ද, ඩේවිඩ් හූක්ස් සහ රොඩ්නි මාෂ් ලකුණු 53 බැගින් ද වාර්තා කළා. එංගලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු බොබ් විලිස් සහ ජෙෆ් මිලර් කඩුලු 3 බැගින් දවා ගත්තා. 

කිම් හියුස්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 3ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවසරයක් ලැබුණේ නැහැ. එනිසා එංගලන්ත දෙවන ඉනිම ලකුණු 294කට සීමා වුණා. එහි දී ආරම්භක පිතිකරු ග්‍රැහැම් ෆවුලර් අගනා ලකුණු 65ක් වාර්තා කරද්දී ජෙෆ් ලෝසන් ලකුණු 66කට කඩුලු 4ක් බිඳ දැමුවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 171ක් ලබාගෙන ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියා. ඒ වන විට තරගය ඕස්ට්‍රේලියාව දෙසට දෝලනය වෙමින් පැවතුණා. එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු නෝමන් කවන්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු බළඇණිය ඕස්ට්‍රේලියානු කඩුලු 6ක් ලකුණු 47ක් තුළ දවාගැනීමත් සමඟින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 218/9ක් දක්වා පල්ලම් බැස්සා.

කවන්ස්ගේ පන්දුවක් හමුවේ මාෂ් දැවීගිය අවස්ථාව – gettyimages.com

 

ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට අකමැති වුණු පිතිකරු ඇලන් බෝඩර් අවසන් පිතිකරුවා වුණු ජෙෆ් තොම්සන් රැකගෙන සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 288/9 බවට පත්වුණා. ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි බෝඩර් සහ තොම්සන් ලකුණු 62ක් සහ 21ක් ලබා ගෙන කඩුල්ලේ ස්ථාවර වී සිටියා. එනිසා එංගලන්ත ක්‍රීඩා ලෝලීන් තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටියා.

එම තීරණාත්මක මොහොතේ පන්දුව අතට ගත් ඉයන් බොතම් ප්‍රතිවාදී පිතිකරු තොම්සන් වෙත යැවූ පන්දුව ඔහුගේ පිත්තේ වැදී දෙවන ස්ලිප්හි පන්දු රැකි ක්‍රිස් ටැවරේ වෙත ඇදී ගියා. ඒ මොහොතේ ටැවරේගේ අතේ වැදී ඉහළ ගිය පන්දුව සුරැකි ව රැකගැනීමට පළමු ස්ලිප් හි පන්දු රැකි ජෙෆ් මිලර්ට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්තයට ලකුණු 3ක තියුණු ජයක් උරුම වුණා. 

ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 284/10, (ටැවරේ- 89, ගවර්- 83, හොග්- 49/4, යාඩ්ලි- 89/4)

ඕස්ට්‍රේලියානු  පළමු ඉනිම- 287/10, (හියුස්- 66, හූක්ස්- 53, මාෂ්- 53, විලිස්- 38/3, මිලර්- 44/3)

එංගලන්ත දෙවන ඉනිම- 294/10, (ෆවුලර්- 65, බොතම්- 46, ලෝසන්- 66/4)

ඕස්ට්‍රේලියානු  දෙවන ඉනිම- 288/10, (හූක්ස්- 68, බෝඩර්- 62*, කවන්ස් – 77/6)

එංගලන්තයට ලකුණු 3ක ජයක් 

තරගයේ වීරයා- නෝමන් කවන්ස්

ජයග්‍රාහී උඩපන්දුව රැකගත් මොහොත – gettyimages.com

2) එංගලන්තයට ලකුණු 2ක ජයක්- 2005 අළු බඳුන තරගාවලිය

2005 අළු බඳුන තරගාවලියේ දෙවන තරගය බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වෙද්දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියා. එනිසා ජයග්‍රහණයක් අවශ්‍ය මොහොතක සටන් බිමට පිවිසි එංගලන්තය පන්දුවට මුලින් ම පහර දී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 407ක් ලබා ගත්තා.

එහි දී ආරම්භක පිතිකරු මාකස් ට්‍රෙස්කොතික් වේගවත් ලකුණු 90ක් ලබා ගනිද්දී පීටර්සන් සහ ෆ්ලින්ටොප් පිළිවෙළින් ලකුණු 71ක් සහ 68ක් ලබා ගෙන එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවන්ට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 308ක් පමණ යි. ඒ සඳහා වැඩි දායකත්වයක් ලබාදුන් ජස්ටින් ලැංගර් වටිනා ලකුණු 82ක් ලබා ගනිද්දී ෆ්ලින්ටොප් සහ ජයිල්ස් කඩුලු 3 බැගින් බිඳ දැමුවා.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ෆ්ලින්ටොප් – gettyimages.com

ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 99ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත පිතිකරුවන් ෂේන් වෝන්ගේ සහ බ්‍රෙට් ලීගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ අන්දමන්ද වුණා. එනිසා එංගලන්ත මුල් කඩුලු 6 ලකුණු 75ක් තුළ බිඳ වැටුණා.

එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු ඇන්ඩෘ ෆ්ලින්ටොප් පන්දු 86කින් ලබා ගත් වේගවත් ලකුණු 73 නිසා එංගලන්ත ඉනිම ලකුණු 182ක දී නිමාව දුටුවා. එදා එංගලන්ත ඉනිම බිඳ දැමූ වෝන් ලකුණු 46කට කඩුලු 6ක් දවා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් බ්‍රෙට් ලී ලකුණු 86කට කඩුලු 4ක් දවා ගත්තා.

ෂේන් වෝන්ගෙන් ප්‍රබල ඉල්ලීමක් – gettyimages.com

 

ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆ්ලින්ටොගේ දක්ෂ වේග පන්දු යැවීම හමුවේ අසීරු අඩියකට වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලකුණු 220ක් තුළ ඕස්ට්‍රේලියානු කඩුලු 9ක් බිඳ වැටුණා. ඉන් නොසැලුණු ඕස්ට්‍රේලියානු අවසන් පිතිකරුවන් යුගළය වුණු මයිකල් කැස්ප්‍රොවික්ස් සහ බ්‍රෙට් ලී අවසන් කඩුල්ල වෙනුවෙන් සටන්කාමී සබඳතාවක් පවත්වමින් කණ්ඩායමේ ලකුණු තත්ත්වය 279ක් දක්වා ඉහළ දැමුවා.

ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් පමණක් අවශ්‍ය ව තිබුණු එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු ස්ටීව් හාර්මිසන් ලකුණු 20ක් ලබා සිටි කැස්ප්‍රොවික්ස් දවා ගනිමින් එංගලන්තය ජයග්‍රහණය වෙත කැඳවා ගෙන ගියා. එය අළු බඳුන තරගාවලි ඉතිහාසයේ අඩුම ලකුණු පරතරයකින් ජයගත් ටෙස්ට් තරගය බවට පත්වුණා.

එංගලන්තය තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 407/10, (ට්‍රෙස්කොතික්- 90, පීටර්සන්- 71, ෆ්ලින්ටොප්- 68, වෝන්- 116/4)

ඕස්ට්‍රේලියානු  පළමු ඉනිම- 308/10, (ලැංගර්- 82,  පොන්ටිං- 61, ෆ්ලින්ටොප්- 52/3, ජයිල්ස්- 78/3)

එංගලන්ත දෙවන ඉනිම- 186/10, (ෆ්ලින්ටොප්- 73, වෝන්- 46/6, ලී- 82/4)

ඕස්ට්‍රේලියානු  දෙවන ඉනිම- 279/10, (ලී- 43*, වෝන්- 42, ෆ්ලින්ටොප් – 79/4)

එංගලන්තයට ලකුණු 2ක ජයක් 

තරගයේ වීරයා- ඇන්ඩෘ ෆ්ලින්ටොප් 

1) එංගලන්තයට කඩුල්ලක ජයක්- 2019 අළු බඳුන තරගාවලිය

2019 අළු බඳුන තරගාවලියේ තෙවන තරගය ලීඩ්ස් හි හෙඩිංග්ලි පිටියේ දී පැවැත්වුණා. පන්දු යවන්නන්ගේ දස්කම් හොඳින් ම මතුවුණු එම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවට සිය පළමු ඉනිම සඳහා ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 179ක් පමණ යි.

එහි දී ඕස්ට්‍රේලියානු ඉනිම සුණුවිසුණු කළ ජොෆ්රා ආචර් ලකුණු 45කට කඩුලු 6ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණා. ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 67කට සීමා කළා. එදා එංගලන්තය හමුවේ දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ජෝස් හේසල්වුඩ් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තා.

සුපිරි පන්දු යැවීමක නිරත වුණු ආචර් – gettyimages.com

 

එංගලන්තයට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 246ක් පමණ යි. ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා.

එදා ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බළඇණිය හමුවේ ලකුණු 359ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ කඩුලු 9ක් ලකුණු 286ක් ඇතුළත බිඳ වැටුණා. එනිසා තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු බෙන් ස්ටෝක්ස් අවසන් පිතිකරුවා වුණු ජැක් ලීච් රැකගෙන වේගවත් පිති හරඹයක් සිදු කළා. 

එංගලන්ත කණ්ඩායමේ 9 වන කඩුල්ල දැවී ගිය අවස්ථාව – gettyimages.com

 

නොසිතූ මොහොතක එල්ල වුණු එම ප්‍රහාරය නැවැත්වීමට කිසිදු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකුට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා ස්ටෝක්ස් හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 135ක් ලබා ගෙන එංගලන්තයට කඩුලු 1ක ජයක් උරුම කර දුන්නා. එය අළු බඳුන තරගාවලි ඉතිහාසයේ වාර්තා වුණු අමතක නොවන ඉනිමක් බවට පත්වුණා. 

ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 179/10, (ලබුෂේන්- 74, වෝනර්- 61,ආචර්ඩ- 45/6)

එංගලන්ත පළමු ඉනිම- 67/10, (ඩෙන්ලි- 12, හේසල්වුඩ්- 30/5, කමින්ස්- 23/3)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 246/10, (ලබුෂේන්- 80, ස්ටෝක්ස්- 56/3)

එංගලන්ත දෙවන ඉනිම- 282/9, (ස්ටෝක්ස්- 135*, රූට්- 77, හේසල්වුඩ් – 85/4)

එංගලන්තයට කඩුලු 1ක ජයක් 

තරගයේ වීරයා- බෙන් ස්ටෝක්ස් 

ස්ටෝක්ස් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව -gettyimages.com

 

 

 

කවරයේ ඡායාරූපය- 2005 එජ්බැස්ටන් ටෙස්ට් තරග අවසානය - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com 

Related Articles