Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාව නිසා අසරණ වුණු ලංකාවේ ක්‍රීඩා පුහුණුකරුවන්

නොසිතූ මොහොතක ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා වසංගතය නිසා පසුගිය මාස කිහිපය තුළ ලාංකීය ජනයාගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. රට අකර්මණ්‍ය වී තිබුණු මාස කිහිපය තුළ බොහෝ රැකියා ක්ෂේත්‍රවල ගැටළු මතුවන ආකාරය දක්නට ලැබුණා. විශේෂයෙන්ම සමහර වෘත්තීන්වල නිරත වුණු අයට සිය රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණු නිසාම ඔවුන්ට අසීරුතා රැසකට මුහුණදීමට සිදුවුණා. එලෙස කොරෝනා නිසා අසරණ වුණු එක් පාර්ශවයක් වන ක්‍රීඩා පුහුණුකරුවන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගතකරමින් සිටිනවා. 

අතීතයේ සිටම ක්‍රීඩාව ලාංකිකයන්ගේ හදවතට සමීප වී තිබුණා 

1970 දශකය ආරම්භ වන විට ලංකාව ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය, සහ ආසියානු වැනි ප්‍රසිද්ධ ක්‍රීඩා තරගාවලිවලින් පදක්කම් දිනාගෙන තිබුණා. 1973 වසරේ දී මොහොමඩ් ලාෆීර් ආධුනික බිලියඩ් ලෝක ශූරතාවය දිනාගැනීමත් සමගම ලාංකිකයන් ක්‍රීඩාවට තවත් ඇළුම් කිරීමටට පටන්ගත්තා. 70 දශකයේ මැද භාගයේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගි වීම ආරම්භ කළා. ඉන් අනතුරුව අඛණ්ඩව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 1996 ලෝක කුසලානය දිනාගැනීමට සමත් වුණා. ඉන් පසුව ක්‍රිකට් උන්මාදය ලංකාවේ ගම් දනව් සිසාරා පැතිරී යන්නට වුණා. වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව තවත් ක්‍රීඩා රැසකින් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට අප රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී තිබෙනවා. එලෙස අඛණ්ඩව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය රටට ලබාදුන් ජයග්‍රහණයන් නිසා ක්‍රීඩාව ලාංකිකයන්ගේ හදවතට වඩාත් සමීප වී තිබෙනවා.

ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාව (gettyimages)

ලංකාවට හොඳ ක්‍රීඩකයන් දායාද කරන පාසල් පද්ධතිය

ලංකාවේ පාසල් පද්ධතිය තුළ අතීතයේ සිටම විවිධ ක්‍රීඩාවන්ට ඉහළ නිපුණතාවයක් දැක්වූ පුහුණුකරුවන් සිටියා. එම නිසාම පාසල් පද්ධතිය හරහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වුණා. අර්ජුණ රණතුංග, රුමේෂ් රත්නායක, අරවින්ද ද සිල්වා, මාවන් අතපත්තු වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් පාසල් අවධියේ දීම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීම ඊට හොඳම උදාහරණයක්. එසේම අනිකුත් ක්‍රීඩාවල නිරත වුණු බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ද පාසල් වියේ දීම ජාතික කණ්ඩායම් සඳහා සුදුසුකම් ලබාගන්නා ආකාරය පසුගිය දශක කිහිපය තුළ සුලබවම දක්නට ලැබුණා.

අර්ජුණ රණතුංග පාසල් ක්‍රීඩකයෙකු ලෙසින් මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් 

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය පුහුණුකරුවන් බිහි වීම 

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිටි ක්‍රීඩා පුහුණුකරුවන් වැඩි ප්‍රමාණයක් වෙනත් රැකියාවක නිරතවන අතරතුර ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කරනු ලැබුවා. නමුත් පසුගිය දශක 2ක පමණ කාලය තුළ විවිධ ක්‍රීඩා සඳහා යොමුවන දරු දැරියන්ගේ ප්‍රමාණය වැඩි වන විට ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා තිබුණු ඉල්ලුම වැඩි වුණා. ඒ අනුව සමහර පුහුණුකරුවන් සිය රැකියාවට සමු දී වෘත්තීමය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා. විශේෂයෙන්ම වර්තමානය වන විට දරු දැරියන් වැඩිපුර යොමුවන ක්‍රීඩා ආශ්‍රිතව වැඩි වෘත්තීය පුහුණුකරුවන් ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. 

ක්‍රීඩාවන් පුහුණු කිරීම සඳහා පෞද්ගලික ආයතන බිහිවීම

ක්‍රීඩාව සඳහා තිබෙන තරගකාරීත්වය පසුගිය දශක කිහිපය තුළ ඉහළ මට්ටමකට පැමිණි නිසා පෞද්ගලික ක්‍රීඩා පුහුණු ඇකඩමි, පුහුණු පාසල් වැනි දේවල් නිර්මාණය වුණා. ඊට අමතරව සමහර ක්‍රීඩාවන් වෙනුවෙන් පෞද්ගලික උපකාරක පන්ති පවා නිර්මාණය වුණා. එම නිසාම වෘත්තීය පුහුණුකරුවන්ට සෑහිමකට පත්විය හැකි ආකාරයේ මාසික ආදායමක් ලබාගැනීමට හැකි වුණා. ඒ අනුව ක්‍රීඩා පුහුණුකරු යන රැකියාව සිය ජීවන වෘත්තීය කරගැනීමට බොහෝ පුහුණුකරුවන් ප්‍රමාණයක් පෙළඹුණේ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව විශ්වාසයක් ගොඩනැගෙමින් තිබුණු නිසායි. 

ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කිරීමේ ආයතනයක් (SA Cricket Academy) 

කොරෝනා වසංගත තත්ත්වය නිසා ක්‍රීඩාවට වුණු හානිය 

පසුගිය මාර්තු මාසයේ දී කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම ආරම්භ වීමත් සමගම ලංකාවේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කළා. එදා සිට මෙම ලිපිය ලියන අවස්ථාව වන තුරුම පාසල් නැවතත් විවෘත කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. එලෙස පාසල් පද්ධතිය වැසීයාමත් සමගම සියලුම පාසල් ක්‍රීඩා තරගාවලි දින නියමයක් නොමැතිව කල් ගියා. එසේම ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලි ද කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇණහිට තිබෙනවා. ඒ අනුව වර්තමානය වන විට පාසල් සහ ජාතික මට්ටමේ ක්‍රීඩා පද්ධතීන්  අකර්මණ්‍ය වී තිබෙනවා.

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ආදායම් මාර්ග වැසී යාම 

වෘත්තීය මට්ටමේ ක්‍රීඩා පුහුණුකරුවන්ට සැලකිය යුතු ආදායම් මාර්ගයක් පාසල් පද්ධතිය තුළින් ලැබෙනවා. එම නිසා පාසල් අඛණ්ඩව වසා දැමීම මඟින් බොහෝ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ආදායම් මාර්ග වැසී තිබෙනවා. ඒ අනුව පසුගිය මාස තුන ඇතුළත ක්‍රීඩා පුහුණුකරුවන්ට පාසල් තුළින් කිසිදු ආදායමක් නොලැබීම නිසා ඔවුන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව තිබීම කණගාටුදායක කරුණක්. එසේම පසුගිය මාස කිහිපය තුළ ක්‍රීඩා පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුද්ගලික ක්‍රීඩා පූහුණු පාසල්, පන්ති හෝ ඇකඩමි තුළින් ද කිසිදු ආදායමක් නොලැබෙන ආකාරය දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් මසකට සැලකිය යුතු මට්ටමේ ආදායමක් ලබන මෙම පුහුණුකරුවන්ගේ ආදායම් මාර්ග ඇහිරී යාම නිසා ඔවුන් කිසිවෙකුගේ පිළිසරණක් නොලැබෙන තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙවැනි තත්ත්වයක දී ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැහැ 

දැනට රටේ පවතින තත්ත්වය අනුව පාසල් පද්ධතිය යළි විවෘත වී ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ වීමට සැලකිය යුතු කාලයක් ගතවීමට ඉඩ තිබෙනවා. එසේම ක්‍රීඩා පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුද්ගලික ආයතනවල ක්‍රීඩා පුහුණු කටයුතු ආරම්භ කිරීමට ද තවත් කාලයක් බලා සිටීමට සිදුවනවා. එම නිසා ක්‍රීඩා පුහුණුකරුවන්ට සුපුරුදු ආදායම් මාර්ග විවෘත කරගැනීම සඳහා තවත් ටික කාලයක් ගතවනු ඇති. යම් හෙයකින් කොරෝනා දෙවන රැල්ලක් ශ්‍රී ලංකාවට පැමිණියහොත් මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරීමට තිබෙන ඉඩ වැඩියි. ඒ අනුව කොරෝනා වසංගතය නිසා ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වෘත්තීමය අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇතිවී තිබෙන ආකාරය දක්නට ලැබෙනවා.

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි

ක්‍රීඩා පුහුණුකරුවන් මෙම වාතාවරණය යටතේ ඉතාමත් අසීරු තත්ත්වයකට පත් වුණු බව කීම අතිශ්‍යයෝක්තියක් නෙවෙයි. එම නිසා  ඔවුන් ඉදිරියේ දී වඩාත් සුරක්ෂිත රැකියාවන් තෝරාගැනීමට තිබෙන ඉඩ වැඩියි. ඒ අනුව අනාගතයේ දී අප රට තුළ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ හිඟයක් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම අනිවාර්ය වනවා. එලෙස වැඩ පිළිවෙලක් සකස් වුණොත් ක්‍රීඩා පුහුණුකරුවන්ට අනාගතයේ දී දැඩි විශ්වාසයකින් සිය වෘත්තීයේ නියැලීමට හැකියාවක් ලැබෙනු ඇති. එමඟින් ලංකාවේ ක්‍රීඩා අනාගතයේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන බවට කිසිදු සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- gettyimages

Related Articles