Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘එල් ක්ලැසිකෝ’: ක්‍රීඩාවෙන් එහා ගිය ගැටුම් පිරුණු පාපන්දු සංග්‍රාමය

ලොව ජනප්‍රියත ම ක්‍රීඩාව ලෙසින් පාපන්දු ක්‍රීඩාව හැඳින්වෙනවා. මෙම පාපන්දු ක්‍රීඩාවේ පවතින තරග අතුරින් ක්‍රීඩා සමාජ පාපන්දුවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ලොව ක්‍රීඩා සමාජ පාපන්දු තරග අතරේ විශාලත ම අවධානයක් හිමි වන දෙපිළක් අතර පැවැත්වෙන පාපන්දු තරගය වන්නේ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩා සමාජ ද්විත්වයක් වන රියාල් මැඩ්රීඩ් සහ බාසිලෝනා අතරේ පැවැත්වෙන තරගය යි. 

මෙම තරගයට මෙතරම් අවධානයක් හිමි වීමට හේතු කිහිපයක් ම පවතිනවා. ඉන් එකක් වන්නේ මෙම කණ්ඩායම් දෙක වටා ලොව සිටින මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයන් පිරිස යි. මෙම පාපන්දු තරගය සම්බන්ධ අතීතය සහ කණ්ඩායම් ද්විත්වය අතර පාපන්දු තරගයකට එහා ගිය දේශපාලනික සාමාජීය ගැටුමක් නිර්මාණය වී තිබීම ද මේ විශේෂ අවධානයට හේතු පාදක වනවා.

මෙම ලිපියෙන් අප කතා බහ කරන්නේ ‘එල් ක්ලැසිකෝ’ ලෙසින් අන්වර්ථ නාමය ලද රියාල් මැඩ්රීඩ් සහ බාසිලෝනා අතරේ පැවැත්වෙන පාපන්දු තරගයේ ඉතිහාසය සහ විශේෂත්වය පිළිබඳව යි.

“එල් ක්ලැසිකෝ” තරඟයක අවස්ථාවක් – www.aa.com.tr

මුල් අවදිය සහ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය

1903 වසරේ මැයි මස 13 වනදා ස්පාඤ්ඤ පාපන්දු ඉතිහාසයේ පැරණිත ම කුසලානය වන කොපා ඩෙල් රේ (Copa Del Rey) කුසලානයේ තරගයක් පැවැත්වෙමින් තිබුණා. මේ තරගයට ක්‍රීඩා කළේ රියාල් මැඩ්රීඩ් සහ (එකල Madrid FC) බාසිලෝනා කණ්ඩායම් දෙක යි. මෙම තරගය ඉතිහාසගත එදිරිවාදීන් නිර්මාණය වූ පළමු තරගය ලෙසින් සටහන් වුණා. තරගයේ මුල් ම ගෝලය වාර්තා කළේ මැඩ්රීඩ් කණ්ඩායමේ ආතර් ජොන්සන්. තරගය ගෝල 3-1 ක් ලෙසින් බාසිලෝනා කණ්ඩායම ජයග්‍රහණය කළා. මෙම තරගයෙන් අනතුරුව දෙපිල එකිනෙකා නිතර මුණගැසුණු අතර එය වෙනත් ගැටුමක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වුණා. 

1930 දශකය මුළු මහත් යුරෝපයට ම එතරම් පහසු දශකයක් බවට පත් වුණේ නෑ. පළමු ලෝක යුද්ධය අවසන් වී කෙටි කාලයක් ගත වෙද්දී ම ඒකාධිපතියන් බිහි වීම, රටවල අස්ථාවර ආර්ථිකය වැනි දෑ බොහෝ යුරෝපා රටවල් පීඩාවට පත් කළා. ස්පාඤ්ඤ පසු කළේ සිවිල් යුදමය අවධියක්. 1936 වසරේ ආරම්භ වූ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අවසන් වූයේ 1939 වර්ෂයේදි යි. මේ සිවිල් යුද්ධය අවසන් වන්නේ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ, ස්පාඤ්ඤයේ පාලකයා බවට පත් කරමින්. ඔහු ස්පාඤ්ඤයේ පාලයකා වෙද්දී ස්පාඤ්ඤ නාමය වටා කළු පැල්ලම් රාශියක්  පැතිර තිබුණා. ෆ්‍රැන්කෝ එම කළු පැල්ලම් මකා දැමීමට යොදා ගත්තේ රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය යි.

ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ
ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ – www.historyextra.com

ස්පාඤ්ඤයේ සශ්‍රීක ම කැටලෝනියාව

ස්පාඤ්ඤයේ සශ්‍රීක ම පෙදෙස ලෙසින් හැඳින්වෙන්නේ කැටලෝනියා ප්‍රදේශයයි. බාසිලෝනා යනු කැටලෝනියාවේ අග නගරය යි. මැඩ්රීඩ් යනු ස්පාඤ්ඤයේ ම අගනුවර යි. මේ නිසා ම එකල සිට ම කැටලෝනියාවට වෙන ම රාජ්‍යයක් ලෙසින් වෙන් වීමට අවශ්‍ය වී තිබුණා. සිවිල් යුද්ධ ආදිය ද නිර්මාණය වුණේ මෙම වෙනම රාජ්‍යයක් ලෙසින් කැටලෝනියාවට වෙන් වීමට තිබූ අවශ්‍යතා මත යි. ස්පාඤ්ඤයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යක් ලෙසින් ජීවත් වීමට කැටලෝනියාවට අවශ්‍ය සියලු ම සම්පත් තිබූ නමුත් ස්පාඤ්ඤය කැටලෝනියාව අත හැරීමට අකමැති වුණා. මේ නිසා බාසිලෝනා සහ රියල් මැඩ්රීඩ් පාපන්දු තරගය තවත් එක් පාපන්දු තරගයකට එහා ඇදී ගිය දෙයක් බවට පත් වූවා.

බාසිලෝනා සහ රියල් මැඩ්රීඩ් පාපන්දු තරගය හරහා තමන්ගේ නගරයේ බලය විදහා දැක්වීමට දෙපිලේ සියල්ලන්ට ම අවශ්‍ය වුණා. මේ නිසා තරගයට එක් වන ක්‍රීඩකයන් ආයුධ රහිත සෙබළුන් ලෙසින් නම් කිරීම නිවැරදි වූවා. එල් ක්ලැසිකෝ ජයග්‍රහණය කරන්නා තමන්ගේ නගරයට ද ජයග්‍රහණය රැගෙන ආවා. මේ නිසා ඒ ජයග්‍රහණය හා ප්‍රේක්ෂක ගෞරවය සහ තමන්ගේ නගරයේ ගෞරවය ලෙසින් සලකන්නට දෙපිලේ ම කණ්ඩායම්වල ක්‍රීඩකයන් කටයුතු කළා. බාසිලෝනා සහ රියල් මැඩ්රීඩ් පාපන්දු තරගය මේ ආකාරයෙන් දේශපාලනික හා සාමාජීය වශයෙනුත් වැදගත්කමක් උසුලන්නට පටන් ගත්තේ එනිසා යි.

රියාල් මැඩ්රීඩ් ප්‍රේක්ෂකයෝ
රියාල් මැඩ්රීඩ් ප්‍රේක්ෂකයෝ – www.marca.com

ජෙනරාල් ෆ්‍රැන්කෝරියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය පෝෂණය කිරීමට සිවිල් යුද්ධයෙන් පසුත් දිගින් දිගට ම කටයුතු කළා. කැටලෝනියාව නියෝජනය කළ බාසිලෝනා ක්‍රීඩා සමාජයත් ඔවුන්ට නොදෙවෙනි පරිදි තම පාපන්දු කණ්ඩායම දියුණු කළා. මේ හේතුව නිසා ඒකාධිපති ෆ්‍රැන්කෝ එකල බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සභාපති මෙන් ම කැටලෝනියා ජනපද නියෝජිතවරයකු ද වූ ජෝසප් සැන්යෝල් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. සැන්යෝල් අත්අඩංගුවට ගෙන නොනවතින ඔහු සැන්යෝල් මරා දැමීමට කටයුතු කළේ සමස්ත කැටලෝනියාවට මැඩ්රීඩ් නගරය සමඟ තිබූ වෛරය දෙගුණ තෙගුණ කරවමින්.

1943 කොපා ඩෙල් රේ සිද්ධිය

1943 පැවති කොපා ඩෙල් රේ තරගාවලියේ පළමු තරගය බාසිලෝනා හි දි ආරම්භ වූ අතර එම තරගය ගෝල 3-0 ක් ලෙසින් බාසිලෝනා කණ්ඩායම ජයග්‍රහණය කළා. එහි දෙවන තරගය මැඩ්රීඩ් හි දි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වී තිබුණා. මෙහිදී තරගයට ප්‍රථම ව බාසිලෝනා ක්‍රීඩක විවේකාගාරය වෙතට පැමිණෙන ජෙනරාල් ෆ්‍රැන්කෝ ගේ ඉහළ නිලධාරියෙක් බාසිලෝනා ක්‍රීඩකයන්ට තර්ජනයක් සිදු කළා. 

බාසිලෝනා ප්‍රේක්ෂකයෝ
බාසිලෝනා ප්‍රේක්ෂකයෝ – www.catalannews.com

ඔහු එම තර්ජනය කරමින් ප්‍රකාශ කළේ බාසිලෝනා කණ්ඩායම මෙම තරගය හිතාමතා ම පරාජයට පත්විය යුතු බවත්, එසේ නොමැතිනම් ඔවුන්ට නැවත මැඩ්රීඩ් නගරයෙන් පිට වීමටවත් ඉඩ ලබා නොදෙන බවත් පවසමින්. අවසානයේදී එල් ක්ලැසිකෝ ඉතිහාසයේ විශාලත ම ජයග්‍රහණය වාර්තාකර ගන්නා රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය ගෝල 11-1ක් ලෙසින් බාසිලෝනා කණ්ඩායම පරාජයට පත් කළා. මෙම සිදුවීම නිසා පාර්ශව දෙක අතරේ තිබූ මතභේද තව දුරටත් ඉහළ ගියා.

ඇල්ෆ්‍රඩ් ඩි ස්ටෙෆානෝ කාටද?

කොලොම්බියාවේ ක්‍රීඩා කරමින් සිටි සුපිරි ක්‍රීඩකයකු ලෙසින් නැඟී එමින් සිටි ඇල්ෆ්‍රඩ් ඩි ස්ටෙෆානෝ නම් ක්‍රීඩකයා තමන්ගේ කණ්ඩායමට එක් කර ගැනීම සඳහා බාසිලෝනා කණ්ඩායම උත්සාහ කළා. ඔවුන් කොලොම්බියාවේ සිටිනා කැටලෝනියා ජාතිකයකුගේ උදවු ඇතිව ගිවිසුමක් පවා අත්සන් කළ අතරම ඩි ස්ටෙෆානෝ වෙනුවෙන් කැටලෝනියාවේ නිවසක් ද ඉදි කළ බවට සඳහන්. මේ මොහොතේදී ම ඩි ස්ටෙෆානෝ තමන්ගේ කණ්ඩායමට ලබා ගැනීම සඳහා රියාල් මැඩ්රීඩ් කණ්ඩායම ද උනන්දු වුණා.

මේ නිසා ඇල්ෆ්‍රඩ් ඩි ස්ටෙෆානෝ ලබා ගන්නේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමට සීතල යුද්ධයක් නිර්මාණය වුණා. මේ වන විට බාසිලෝනා ක්‍රීඩා සමාජයට අමතර ව රියාල් මැඩ්රීඩ් කණ්ඩායමත් ඔහු වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කොට තිබුණා. විමර්ශනයේ අවසන් තීරණය වූයේ ඩි ස්ටෙෆානෝ වසර 5ක් බාසිලෝනා ක්‍රීඩා සමාජයට ද, වසර 5ක් රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයට ද හිමි විය යුතු බව යි. එම තීරණයට උරණ වන බාසිලෝනා කණ්ඩායම තමන්ට ඩි ස්ටෙෆානෝ අනවශ්‍ය බව සඳහන් කළා.

ඇල්ෆ්‍රඩ් ඩි ස්ටෙෆානෝ තමන් ජයග්‍රහණය කළ යුරෝපීය ශූරතා සමඟ – www.managingmadrid.com

ඒ අනුව ඇල්ෆ්‍රඩ් ඩි ස්ටෙෆානෝ සම්පූර්ණයෙන්ම රියාල් මැඩ්රීඩ් කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලය මැඩ්රීඩ් දෙසින් අතිශයින් ම සාර්ථක වූ අතර ම ඔවුන් ඩි ස්ටෙෆානෝ ගේ උදවු ඇතිව පිට පිට ම යුරෝපා ශූරතා 5ක් ජයග්‍රහණය කළා. එය වාර්තාවක් ලෙසින් අදටත් සටහන් ව පවතිනවා. මීට අමතරව ලුයිස් ෆීගෝ ගේ හුවමාරුව වැනි ප්‍රශ්නත් කණ්ඩායම් ද්විත්වයේ මතභේද වැඩි කළ අවස්ථා වුණා. මෙම සිද්ධීන්ගෙන් අනතුරුව බාසිලෝනා සහ රියාල් මැඩ්රීඩ් එකිනෙක හමුවීම කෙදිකනවත් සාමාන්‍ය පාපන්දු තරගයක් බවට පත් වුණේ නෑ.

තරඟ සහ වාර්තා

එල් ක්ලැසිකෝ ඉතිහාසයේ දැනට පැවති ප්‍රදර්ශන තරග හැර පැවති තරග සංඛ්‍යාව 248ක්. මෙම තරග 248න් තරග 100ක ජය රියාල් මැඩ්රීඩ් කණ්ඩායමටත් තරග 96 ක ජය බාසිලෝනා කණ්ඩායමටත් හිමි යි. තරඟ 52ක් ජය පරාජයෙන් තොර ව නිමාව දුටුවා. ප්‍රදර්ශනාත්මක තරග 33ක් දෙපිල අතර පවත්වා ඇති අතර ඉන් 4 ක ජය රියාල් මැඩ්රීඩ් හට ද 19 ක ජය බාසිලෝනා හට ද හිමි වුණා. තරග 10ක් ජය පරාජයෙන් තොර ව නිමාව දුටුවා. 

රියාල් මැඩ්රීඩ් ගෝල 11-1 ක් ලෙස ලබාගත් ජයග්‍රහණය ඒ අතර විශාලත ම ජයග්‍රහණය ලෙසින් සටහන්. බාසිලෝනා කණ්ඩායම ලබා ගත් විශාලත ම ජයග්‍රහණය වන්නේ 1950 වසරේ ලබාගත් ගෝල 7-2 ක ජයග්‍රහණය යි. එල් ක්ලැසිකෝ ඉතිහාසයේ කණ්ඩායම් දෙක වෙනුවෙන් විශාල ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ක්‍රීඩා කළා. ඔවුන් අතරට ලොව දැනට බිහි වූ සුපිරිත ම පාපන්දු තරු රාශියක්ද ඇතුළත්. මේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා, සිය ජයග්‍රහණ ලබා ගැනීමට කණ්ඩායම් දෙකට ම අතිශයින් ම වැදගත් වුණා.

රියාල් මැඩ්රීඩ් වෙනුවෙන් වැඩිම තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කළ සර්ජියෝ රාමෝස් (වමේ) සහ වැඩිම ගෝල ලැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (දකුණේ)
රියාල් මැඩ්රීඩ් වෙනුවෙන් වැඩිම තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කළ සර්ජියෝ රාමෝස් (වමේ) සහ වැඩිම ගෝල ලැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (දකුණේ) – www.marca.com

වැඩි ම එල් ක්ලැසිකෝ තරග සංඛ්‍යාවක් නියෝජනය කළ වාර්තාව සම වාර්තාවක් ලෙස සටහන් වනවා. ඒ තරග 45 බැගින් ක්‍රීඩා කළ රියාල් මැඩ්රීඩ් ක්‍රීඩක සර්ජියෝ රාමෝස් සහ බාසිලෝනා ක්‍රීඩක ලියොනල් මෙසී අතරේ යි. එල් ක්ලැසිකෝ ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා වන්නේ ද මෙසී යි. ඔහු රැස්කර ගෙන තිබෙන ගෝල සංඛ්‍යාව 26ක්. රියාල් මැඩ්රීඩ් වෙනුවෙන් පිළිවෙළින් වැඩි ම ගෝල ලෙස ඇල්ෆ්‍රඩ් ඩි ස්ටෙෆානෝ සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 18 බැගින් ලබා ගෙන තිබෙනවා.

එල් ක්ලැසිකෝ ඉතිහාසයේ වැඩි ම ගෝල ලබා ගැනීමට සහාය වීම් (Assists) වාර්තා කොට තිබෙන්නේ ද ලියොනල් මෙසී යි. ඔහු වාර්තා කළ සහාය වීම් ගණන 14ක්. දැල් රකින්නන් අතරේ වැඩි ම ගෝල ලබා නොදී ක්‍රීඩා කිරීමේ තරග (Clean Sheets) වාර්තා කොට තිබෙන්නේ බාසිලෝනා දැල් රකින ක්‍රීඩක වික්ටර් වල්ඩෙස්. ඔහු වාර්තා කළ ගෝල ලබා නොදුන් තරඟ ගණන 7ක් ලෙසින් සටහන් වනවා.

පුහුණුකරුවන් අතරේ වැඩි ම එල් ක්ලැසිකෝ ජයග්‍රහණ හිමි පුහුණුකරු වන්නේ රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කලක් කටයුතු කළ මිගෙල් මූනියෝස්. ඔහු තරග 16ක් පුහුණුකරුවකු ලෙසින් ජයග්‍රහණය කළා. බාසිලෝනා වෙනුවෙන් පුහුණුකරුවකු ලෙසින් යොහාන් කෘයිෆ් සහ පෙප් ගාඩියෝලා ජයග්‍රහණ 9 බැගින් වාර්තා කොට තිබෙනවා.

“එල් ක්ලැසිකෝ” ඉතිහාසයේ වැඩි වාර්තා ගණනක් උසුලන ලියොනල් මෙසී – www.thestatesman.com

මේ ආකාරයෙන් වාර්තා සටහන් වන මෙම මහා පාපන්දු ගැටුමේ මීළඟ තරග අත්දැකීමට ඔබට මේ මස 20 වැනිදා සමවැදිය හැකි යි. ස්පාඤ්ඤයේ දී මාර්තු මස 20 වැනි දාත්, ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු මස 21 වැනි දාත් අලුයම 1.30 ට තරගය ආරම්භ වීමට නියමිත යි. ස්පාඤ්ඤ පාපන්දු දැවැන්තයන් දෙපළ නැවත එකිනෙක හමුවන මෙම තරගයටත් ලොව පුරා ම දැනට ම විශාල අවධානයක් යොමු ව තිබෙනවා.

 

කවරයේ ඡායාරූපය - රියාල් මැඩ්රීඩ් සහ බාසිලෝනා තරග අතරේ පැවැත්වෙන ගැටුම් - www.mirror.co.uk
 මූලාශ්‍ර :

www.fcbarcelona.com 

www.standard.co.uk

www.cbssport.com

www.transfermarkt.com

Related Articles