ශ්‍රී ලංකාවේදී පවා අත් හදා බලන ලද බොඩිලයින් පන්දු යැවීමේ ක්‍රමය

අළු බඳුන තරඟාවලිය ලොව ප්‍රකට තරඟාවලියක් වී අවසන්. එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මේ අළු බඳුන තරඟාවලිය මේ වනවිටත් පැවැත්වේ. මේ තරඟාවලිය හා බැඳුනු රසවත් සිදුවීම් බොහොමයක් ඇතත් අදටත් වැඩියෙන්ම කතා කර ඇති සිදුවීම ශරීරය ඉලක්ක කර පන්දු යැවීමේ ක්‍රමය හෙවත් බොඩිලයින් ය. ඔස්ට්‍රේලියාව සහ එංගලන්ත ක්‍රිකට් ආයතන අතර සීතල යුද්ධයකට ද පදනම් වූ බොඩිලයින් තරඟාවලියේ සියලු සිදුවීම් සැකෙවින් ඉදිරිපත් කිරීම අපගේ අදහසයි. එමෙන්ම මෙම ආන් දෝලනාත්මක ක්‍රමය ලංකාවේදීද භාවිතා කළ අවස්ථාවක් පිළිබඳ වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව ද මෙම ලිපියෙහි සඳහන් වනු ඇති.

1932/33 වර්ෂයේ පැවති අළු බඳුන තරඟාවලිය ඉහත සිදුවීම් වලට පාදක වූ තරඟාවලිය විය. එංගලන්තයේ එවකට නායකත්වය දැරූ ඉන්දියාවේ උපත ලද ඩග්ලස් ජාර්ඩින් ස්කොට්ලන්ත සම්භවයක් හිමි අයෙකි. ඔහුගේ දෙමව්පියන් ස්කොට්ලන්ත පරපුරකින් පැවත එන්නන් වූ අතර ඩග්ලස් ගේ පියා ද පළමු පෙළ ශතකයක් හිමි ක්‍රීඩකයෙක් විය. ඩග්ලස් එංගලන්ත නායකයා ලෙස පත්කළ අවස්ථාවේ දී ඔහුගේ මුල් ක්‍රිකට් ගුරුවරයෙක් වූ රොක්ලි විල්සන් පවා එම තීරණයට එකඟ නොවුනේ එය එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට යම්තාක් හෝ හානියක් විය හැකි බවට ඔහුට තේරුම් ගිය හෙයින්.

ඩග්ලස් ජාර්ඩින්, බොඩිලයින් තරඟාවලියේ එංගලන්ත නායකයා ලෙස කටයුතු කලේ මොහු යි. Credit – Alloutcricket.com

1932 වර්ෂයේ අවසන් භාගයේ දී එංගලන්තයට අළු බඳුන තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට යෑමට තරඟ වෙන්කර තිබු අතර එංගලන්තයේ ප්‍රධානතම ඉලක්කය වුයේ එවකට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරඟ 19 කට පමණක් දායකත්වය සපයා, ඒ වන විට පිතිකරණ සාමන්‍යය 112.29ක් ලෙස රඳවාගත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් වෙතට යි. ඔහු දවාගැනීමට තෝරාගත් ක්‍රියාමාර්ගය වුයේ පන්දු රකින්නන් පා ප්‍රදේශයේ (leg side) ස්ථානගත කරමින් ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවීම යි. එමෙන්ම බ්‍රැඩ්මන් 1930 අළු බඳුන තරඟාවලියේ දී ලකුණු 974ක් රැස්කරගනිමින් පිහිටවූ ලෝක වාර්තාව නිසාම ඔහු ඒ වනවිටත් එංගලන්ත ක්‍රිකට් සැලසුම් අතර ප්‍රබල ඉලක්කයක් විය.

ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන්, බොඩිලයින් සංකල්පය බිහිවීමට හේතු වුයේ බ්‍රැඩ්මන් ගේ අතිසාර්ථක පිතිකරණය මෙල්ල කිරීම සඳහා යි. Credit – Bradman Foundation

මේ බොඩිලයින් ක්‍රමය පිලිබඳ තවමත් දැඩිව විවේචනයට ලක් කරන්නේ ඩග්ලස් ජාර්ඩින් වුවත් ඔහු මේ තීරණය ගත් කිහිපදෙනාගෙන් අයෙක් පමණයි. මේ සඳහා නායක ඩග්ලස් ජාර්ඩින් විසින් තෝරාගත් ප්‍රබලතම තුරුම්පුව වුයේ 28 හැවරිදි හැරෝල්ඩ් ලාර්වුඩ් ය. ඔහුගේ සහායක පන්දුයවන්නා ලෙස බිල් වෝස් ද විය. එමෙන්ම බිල් බෝව්ස් සහ ගබි ඇලන් ද වේග පන්දු බලඇණියේ ප්‍රබල ක්‍රීඩකයින් විය. කෙසේ වෙතත් වාර්තා වල සඳහන් වන පරිදි ගබි ඇලන් ඉහත බොඩිලයින් ක්‍රමය දැඩිව හෙලාදකින ලද ක්‍රීඩකයෙක් විය. එමෙන්ම එංගලන්ත පිලේ එවකට නවකයෙකු වූ ඉෆ්තිකාර් අලි ඛාන් පටාඋඩි පවා ජාර්ඩින්ගේ මේ ක්‍රියාමාර්ගය ට එරෙහි වෙමින් පා ප්‍රදේශයේ පන්දු රැකීමෙන් වැලකි සිටියේ ය. මෙම කරුණුවලින් පෙනී යන්නේ මෙම ක්‍රමයට එරෙහිව එංගලන්ත පිළ තුලින්ම යම් හඬක් නැගුණ බවයි.

හැරෝල්ඩ් ලාර්වුඩ්, එකල ක්‍රීඩා කළ වේගවත්ම පන්දුයවන්නෙකු වූ ලාර්වුඩ්, නායක ජාර්ඩින් විසින් යොදාගත් ප්‍රබලතම තුරුම්පුව විය. Credit – history.trentbridge.co.uk

තරඟාවලිය ආරම්භ කරමින් 1932 දෙසැම්බර් මස 2 වන දා සිඩ්නි හි දී ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වී ය. සියලුම ප්‍රේක්ෂකයින් නැරඹීමට බලාපොරොත්තු වූ ඕස්ට්‍රේලියානු ප්‍රබලතම පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හට මේ ප්‍රථම තරඟය අහිමි වුයේ අසනීප තත්වයක් උදාවීම හේතුවෙනි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම ඉනිමේ දී ම විශිෂ්ට ශතකයක් රැස්කිරීමට මැදපෙළ පිතිකරු ස්ටැන් මැකබ් (187) සමත් විය. ලාර්වුඩ් සහ වෝස්, නායක ජාර්ඩින් ගේ සැලසුම් අකුරටම ක්‍රියාත්මක කරමින් එම ඉනිමේ කඩුලු 10න් 9ක්ම බිඳ දැමීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්තයේ හැමන්ඩ්,සට්ක්ලිෆ් සහ ප්‍රථම ටෙස්ට් තරඟය ක්‍රීඩා කල ඉෆ්තිකාර් අලි ඛාන් පටාඋඩි ශතක රැස්කිරීමට සමත් විය. ලකුණු 164ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිලට එම ඉනිමේ දී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 164ක් පමණි. නැවතත් ලාර්වුඩ් ක්‍රියාත්මක වෙමින් කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. ඒ අනුව පහසුවෙන් ඉලක්කය හඹා ගිය එංගලන්ත පිලට ප්‍රථම ටෙස්ට් තරඟයම ජයගැනීමට හැකිවිය.

දෙවන ටෙස්ට් තරඟය සුප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. එංගලන්තයේ සියලු සැලසුම් බිඳ දමමින් ඕස්ට්‍රේලියානු පිලට මේ තරඟය ජයග්‍රහණය කිරීමට හැකි විය​. ප්‍රථම ඉනිමේ දී අසාර්ථක වුවත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් දෙවන ඉනිමේදී නොදැවී ශතකයක් රැස්කළේ ය. එමෙන්ම දෙවැනි ඉනිමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බිල් ඕ’රීලි කඩුලු 5ක් ද බර්ට් අයන්මොන්ගර් කඩුලු 4ක් ද බිඳ දැමු හ.

තරඟ දෙකකින් අනතුරුව තරඟාවලිය 1-1 ක් ලෙස සමවුවත් ඉන් අනතුරුව පැවති තරඟ සියල්ලම ජයගනිමින් එංගලන්ත පිල විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගන්නා ලදී. මේ තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඉහත බොඩිලයින් ක්‍රමවේදය අතිශය සාර්ථක විය. තෙවන තරඟය එනම් ඇඩ්ලෙඩ් ටෙස්ට් තරඟයේ දී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් හට කිසිදු අවස්ථාවක් නොදෙමින් ලාර්වුඩ් සහ වෝස් දිගින් දිගටම ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවූ අතර එම ටෙස්ට් තරඟය මේ බොඩිලයින් තරඟාවලියේ දැඩිව කතාබහට ලක්වූ තරඟය විය.

මේ බොඩිලයින් තරඟාවලිය හා බැඳී විශේෂ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.

  • ඇඩ්ලෙඩ් හි දී ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා වූ බර්ට් ඕල්ඩ්ෆීල්ඩ් ගේ හිසේ වැදුණු හැරෝල්ඩ් ලාර්වුඩ් විසින් යැවූ පන්දුව නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවිය.

ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා වූ බර්ට් ඕල්ඩ්ෆීල්ඩ් ආබාධයට ලක්වූ අවස්ථාව – Credit – Realestate.com.au

  • ඕස්ට්‍රේලියානු නායක බිල් වුඩ්ෆුල් ද මේ පන්දු යැවීම ට හසුවූ පිතිකරුවෙකි. දිගින් දිගටම පන්දුව ශරීරයේ වැඩිම නිසාම හෙම්බත් වූ ඔහු එවකට එංගලන්ත කළමනාකරු වූ පෙල්හම් “ප්ලම්” වෝර්නර්ට පැවසුවේ පිටියේ කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරන බවත් එක් කණ්ඩායමක් ක්‍රිකට් ක්‍රීඩා කරන අතර අනෙක් කණ්ඩායම එසේ නොකරන බවත් ය (“There are two sides out there. One is playing cricket and one is not.”)
  • බ්‍රැඩ්මන් ඔහුගේ ටෙස්ට් දිවියේ තරඟාවලියක වාර්තා කළ අඩුම පිතිකරණ සාමන්‍යය 56.57 ක් වූ අතර එය වාර්තා වුයේ මේ තරඟාවලියේ දී ය.
  • වර්තමාන ගණනය කිරීම් වලට අනුව හැරෝල්ඩ් ලාර්වුඩ්ගේ පන්දු යැවීමේ වේගය පැයට සැතපුම් 96ක් බව වාර්තා වේ. (පැයට කිලෝමීටර 154 යි) එනම් ඔහු අධි වේගී යවන්නකු විය. වර්තමානයේ පවා පැයට කිලෝමීටර 150 සීමාව පසුකරන පන්දු යවන්නන් ඉතාමත් අල්පයි. ලාර්වුඩ් ක්‍රීඩා කල අවසන් තරඟාවලිය වුයේ ද මෙයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලාර්වුඩ් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය.
  • එංගලන්ත නායක ජාර්ඩින් තෙවන ටෙස්ට් තරඟයේ දී ඇඩ්ලේඩ් ක්‍රීඩාංගනය ප්‍රේක්ෂකයින්ගෙන් පිරි ඉතිරව තිබිය දී පවා ඔහුගේ බොඩිලයින් ක්‍රමවේදය අකුලා ගැනීමට සුදානම් වුයේ නැත. ප්‍රේක්ෂකයින්ගේ දැඩි විරෝධය හමුවේ ඕස්ට්‍රේලියානු පොලිසිය ඕනෑම හදිසි අවස්තාවක දී ක්‍රියාත්මක වීමට සුදානමින් සිටි බවට වාර්තා වේ.
  • බොඩිලයින් ක්‍රමවේදයට විරුද්ධ වූ තුන් ඉරියව් ක්‍රීඩක ගබි ඇලන් මේ තරඟාවලියේ දී කඩුලු 21ක් දවාගැනීමට සමත් වූ අතර එය දෙවැනි වුයේ හැරෝල්ඩ් ලාර්වුඩ් හට පමණයි.
  • බර්ට් ඕල්ඩ්ෆීල්ඩ්ගේ හිස් වැදුණු අවස්ථාව ඔහුගේම දුර්වලතාවයක් මත සිදුවූ බව ඔල්ඩ්ෆිල්ඩ් පසුකලක දී පැවසුවේ ය.
  • එංගලන්ත පිල ඔස්ට්‍රේලියාව බලා යන අතරතුර මෙරට දී නැංගුරම් ලෑ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර එක් දින තරඟයක නිරත විය. එකල සිලෝන් ලෙස හැඳින්වූ මෙරට සමඟ පැවති ඒ තරඟය නිමාවුයේ ජය පරාජයකින් තොරවයි. කොළඹ විහාර මහා දේවි ක්‍රීඩාංගනයේ දී පැවති (වර්තමානයේ නෙළුම් පොකුණ ඉදිකර ඇති ස්ථානයේ) මේ තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිලෝන් පිල කඩුලු 3 කට ලකුණු 125ක් ද පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත MCC පිල කඩුලු 7ක් දැවී ලකුණු 186ක් ද රැස්කිරීමට සමත්කම් දැක්වුහ. MCC පිල වෙනුවෙන් ඉෆ්තිකාර් අලි ඛාන් පටාඋඩි ලකුණු 62ක් රැස්කළ අතර සිලෝන් පිලේ අංක එකේ පන්දු යවන්නෙක් වූ එඩ්වර්ඩ් කෙලාර්ට්, පටාඋඩි සහ නායක ජාර්ඩින් දෙදෙනාම දවා ගැනීමට සමත් වුහ.

එංගලන්ත පිල මෙරටට පැමිණි අවස්ථාවේදී ගත් ඡායාරුපයක් (වමේ සිට: එඩී පේන්ටර්, හෙඩ්ලි වෙරිටි, බිල් වෝස්, ලෙස් අමෙස්, හැරෝල්ඩ් ලාර්වුඩ්) Credit – Getty Images

  • මේ බොඩිලයින් ක්‍රමවේදය අනුකරණය කරමින් 1933 වසරේ මාර්තු මස මෙරට දී පැවති සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරඟයේ දී බෙනඩික්ට් පිලේ පන්දු යවන්නා වූ A.V. ආර්නොල්ඩා ප්‍රතිවාදී සාන්ත තෝමස් පිතිකරුවන් අසරණ කරමින් පා ප්‍රදේශයේ පන්දු රකින්නන් 7ක් ස්ථානගත කර ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවුවේ ය. එයද දැඩි ලෙස විවේචනය බඳුන් වූ සිදුවීමක් විය.

COVER – ස්ටැන් මැකබ් තරඟාවලිය ආරම්භ කරමින් ප්‍රථම දිනයේ දී ම ශතකයක් රැස්කළේ ය. – Getty Images

මුලාශ්‍ර :

The Janashakthi Book of Sri Lanka Cricket – S.S. Perera

Related Articles