Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තව තවත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පෞද්ගලික ඉණිම්

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර පිතිකරුවෙක් විසින් ක්‍රීඩා කරන ලද ඉහළම ඉණිම් කිහිපය අතුරින් හොඳම ඉණිම් 6 පිළිබඳ තොරතුරු අපි මේ ලිපි පෙළෙහි පළමු හා දෙවන ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා. එම ලිපි පෙළෙහි අවසාන ලිපියෙන් අපි ඔබ වෙත සනත් ජයසූරිය, හනිෆ් මොහොමඩ් හා වොලී හැමන්ඩ් රැස් කළ ත්‍රිත්ව ශතකයන් පිළිබඳ තොරතුරු ගෙන එන්නට තීරණය කළා. වර්තමානය වන විට මේ ඉණිම් ත්‍රිත්වය ටෙස්ට් ඉණිමක වැඩිම පෞද්ගලික ලකුණු ලැයිස්තුවේ පිළිවෙලින් අංක 7, 8 හා 9 ස්ථාන හොබවනවා.

සනත් ජයසූරිය 340

ජයසූරිය (දකුණුපස) මහනාම සමඟ-m.dailyhunt.in

ක්‍රි.ව 1997 දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වූ අතර එයට ටෙස්ට් තරඟ 2ක් ඇතුළත්ව තිබුණා. මින් පළමු ටෙස්ට් තරඟය ලෝක ටෙස්ට් වංශකතාවේ 1374 වන තරඟය වූ අතර පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ අගෝස්තු මස 2 වන දා සිට 6 වනදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස හෙවත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේයි.

ඉන්දීය කණ්ඩායම සතුව ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම සිටිය අතර කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කාර් පීත්ත පටියක් වැනි තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන අතර ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රබලත්වයත්, තීරණයේ නිවැරදිතාවත් පෙන්වමින් ලකුණු 537 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. කඩුළු 8ක් පමණක් දැවී ලබාගත් මෙම ලකුණු ප්‍රමාණයට ලඟා වීමට නව්ජොට් සිධු, නායක තෙන්ඩුල්කාර් හා මොහොමඩ් අසාරුඩීන්ගේ ශතක වලින් ලැබුණේ මහත් පිටිවහලක්.

තරඟය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට නතු වී ඇති බව බහුතර ප්‍රේක්ෂකයන් විශ්වාස කළ අතර එය වඩාත්  තහවුරු කරමින් ශ්‍රී ලංකා පළමු ඉණිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 26ක් ලබා සිටි මාවන් අතපත්තු දැවී යනවා. ඒ මංගල තරඟය ක්‍රීඩා කළ නිලේෂ් කුල්කර්නි ගේ කුළුඳුල් කඩුල්ල ලෙසයි. ඒ වන විට ලකුණු පුවරුව 39/1 ලෙස දිස් වූ අතර ඉතා ඉක්මණින් තව කඩුළු දවාගෙන පළමු ඉණිමේ වැඩි වාසියක් ගැනීමට ඉන්දීය කණ්ඩායම සිතූ මුත් එම සිහිනය සෙමින් සෙමින් බොඳ කරමින් අනෙක් ආරම්භක පිතිකරු වන සනත් ජයසූරියට එක් වූ රොෂාන් මහනාම සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟනවා. ලකුණින් ලකුණ එකතු වූ මේ සම්බන්ධතාව දෙදෙනාම ද්විත්ව ශතක ලබාගන්න තුරුත් බිඳ වැටෙන්නේ නැහැ. අවසානයේ ලොව ඒ වන විට පැවැත්වූ හොඳම ටෙස්ට් සම්බන්ධතාව ඔවුන් නමට ලියැවෙනවා. ලකුණු 615 දී ලකුණු 225 කට මහානාම දැවී යද්දී සම්බන්ධතාව ලකුණු 576ක් වූ අතර අනෙක් අන්තයේ සිටි සනත් ජයසූරිය ඒ වන විට ආසියාතිකයෙක් ටෙස්ට් ඉණිමක ලබා ගෙන සිටි වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන 340ක් ලබාගෙන සිට්යා. ඔහු පහසුවෙන් බ්‍රයන් ලාරාගේ ලෝක වාර්ථාව බිඳලනු ඇතැයි බෝහෝ දෙනා අනාවැකි කීවත් ඉතා අවාසනාවන්ත අයුරින් ලකුණු පුවරුවට තව එක් ලකුණක්වත් එකතු වීමට පෙර දැවී යනවා. ජයසූරියට මේ සඳහා පන්දු 578ක් වැය වී තිබුණා.

තරඟයේ අවසාන ලකුණු පුවරුව- cricketique.wordpress.com

මහානාම හා ජයසූරිය ගෙන් පසු පිටියට පිවිසි අරවින්ද ද සිල්වා ලබාගත් ශතකයක්, නායක අර්ජුන රණතුංග හා කෝඩුකාර මහේල ජයවර්ධන ලබාගත් අර්ධ ශතකත් නිසා තවමත් නොබිඳී පවතින ලෝක වාර්ථාවකට යන්නට ශ්‍රී ලංකා පිළට හැකි වෙනවා. ඒ එදා මෙදා තුර ලෝකයා දුටු ඉහළම ටෙස්ට් ලකුණු පුවරුව නිර්මාණය කරමිනුයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 1000 සීමාවට ළඟා වෙතැයි සමහරු සිතුවත්, දින නිමා වීම නිසා කඩුළු 6 කට ලකුණු 952 කින් සෑහීමකට පත් වීමට ඔවුනට සිදු වුණා.

තරඟාවලියේ දෙවන තරඟයත් ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර එහිදීද සනත් ජයසූරිය ලකුණු 199ක් රැස් කිරීම විශේෂත්වයක්.

හනිෆ් මොහොමඩ් 337

outlookindia.com

1958 වසරේ දී පාකිස්තානු කණ්ඩායම ටෙස්ට් තරඟ 5ක් ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් හි සංචාරය කරන්නට සැළසුම් කරන විට එම සංචාරයේදී ඉතිහාසගත වන ත්‍රිත්ව ශතක දෙකක්ම වාර්තා පොත් වල ලියැවේ යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. (මෙම තරඟාවලියේ තෙවන තරඟයේදී ගාෆීල්ඩ් සෝබස් ලකුණු 365 ක් නොදැවී ලබාගෙන ලෝක වාර්ථාවක් තබනවා). ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 446 වන තරඟය ලෙස මේ සංචාරයේ පළමු තරඟය පවත්වන්නට සැළසුම් කර තිබුණේ 1958 ජනවාරි 17 -23 අතර සය දින තරඟයක් ලෙස බාබඩෝස් හි බ්‍රිජ් ටවුන් නුවරයි.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ගෙරී ඇලෙක්සැන්ඩර් පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරාගන්නා අතර කොදෙව්වන් තරඟයේ සියළු වාසි තමා සතු කරගනිමින් කඩුළු 9 කට ලකුණු 579 ක් ලබා ඉණිම අත්සිටුවනවා. ආරම්භක පිතිකරු කොන්රඩ් හන්ට් හා මැද පෙළ පිතිකරු එවර්ටන් වීක්ස් අගනා ශතක දෙකක් ලබා ගන්නවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තානයේ සියළු දෙනා දැවී යන්නේ කිසිවෙක් නොසිතූ අයුරින් ලකුණු 106 කටයි. ලකුණු 473 පළමු ඉණිමේ යෝධ වාසියක් සමඟ කොදෙව්වන් පාකිස්තානයට පිට පිටම දෙවන වර පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙන්නේ ඉණිමකින් හා තවත් විශාල​ ලකුණු ගණනකින් තරඟය ජය ගැනීමේ බලාපොරොත්තුවත් සමඟයි.

පාකිස්තානු දෙවන ඉණිම ආරම්භයේ සිටම අධිෂ්ඨානශීලී එකක් වුණා. ලකුණු පුවරුවේ 152 සටහන් වන තුරුම ප්‍රතිවාදීනට කිසිදු කඩුල්ලක් නොදීමට ඔවුන් වග බලාගත්තා. ඉණිමක ජයක් ලැබීමේ කොදෙව් සිහින බොඳ කරමින් පාකිස්තානු දෙවන ඉණිම ඕවර 319 ක් පුරා ඇදී ගිය අතර මහා පවුරක් ලෙස නැඟී සිටි ආරම්භක පිතිකරු හනිෆ් මොහොමඩ් මිනිත්තු 970ක් පිටියේ රැඳෙමින් ලකුණු 337ක් ලබා ගන්නවා. මෙය එකළ ලෙන් හටන්ගේ ලකුණු 364 ට පමණක් දෙවනි වූ අතර මෙය අදටත් පිට පිට දෙවන වර පන්දුවට පහර දී (Follow On) හෝ දෙවන ඉණිමක ක්‍රීඩකයෙක් ලද ඉහළම ළකුණු සංඛ්‍යාවයි. මෙය මෙතක් ක්‍රීඩකයෙක් ක්‍රීඩා කළ දිගුම ඉණිම ලෙසත් වාර්ථා පොත් වල සටහන් වෙනවා. 8 වෙනි කඩුල්ල බිඳ වැටීමත් සමඟ ලකුණු 657 දී පාකිස්තානය සිය ඉණිම අත්සිටුවන්නේ ජග්‍රහණය සඳහා ජයග්‍රහනය සඳහා ලකුණු 185 ක ඉළක්කයක් කොදෙව්වන්ට ලබා දෙමින්. මෙය ඔවුන් කිසි සේත්ම බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවුණු අතර තරඟයේ ඉතිරිව තිබූ පන්දු ඕවර 11 කිසිවෙක් නොදැවී පහර දී ජය පැරදුමෙන් තොරව අවසන් කරගන්නවා. ඒ කෙසේ වෙතත් තරඟාවලිය අවසානයේ 2-1 ලෙස ජය ලැබෙන්නේ කොදෙව්වන්ටයි.

වොලී හැමන්ඩ් 336

cricketcountry.com

එංගලන්තය 1933 වසරේ නවසීලන්තයට සංචාරය කළේ තරඟ 2කින් යුතු ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීම සඳහායි. ලෝක ටෙස්ට් තරඟ ඉතිහාසයේ 226 වන ටෙස්ට් තරඟය ලෙස මෙහි දෙවන ටෙස්ට් තරඟය පවත්වන්න්ට යෙදුණේ ඕක්ලන්ඩ් නුවරයි. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක මිල්ෆෝර්ඩ් පේජ් පළමුව පන්දුවට පහර දීමේ වාරය ලබාගන්නා අතර නවසීලන්තයට එතරම් සාර්ථක වීමට නොහැකි වන්නේ ලකුණු 158 කට සියළු දෙනාම දැවී යාමත් සමඟයි.

පිළිතුරු ඉණිම දියත් කළ ප්‍රභල එංගලන්තය පන්දු ඕවර 156 ක් තුල කඩුළු 8 ක් දැවී ලකුණු 548ක් ලබාගත් අතර එහිදී ඉතිහාසගත වන ඉණිමක් ක්‍රීඩා කිරීමට වොලී හැමන්ඩ් ට හැකි වෙනවා.  මිනිත්තු 318 ක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 336 ක් ලබාගෙන වැඩිම ටෙස්ට් ලකුණු සඳහා ලෝක වාර්ථාව තමන් සතු කරගත් ඔහුගේ ඉණිමට 4 පහර 34 ක් හා යෝධ 6 පහර 10 ක් ඇතුළත් වුණා. ඔහුගේ ඉණිමේ 58% කටත් වඩා ලකුණු 6 හා 4 පහර වලින් රැස් වී තිබුණා.

මෙම ටෙස්ට් තරඟය සැළසුම් කර තිබුණේ තුන් දින තරඟයක් ලෙස නිසා නවසීලන්ත දෙවන ඉණිම ඇරඹී නොබෝ වේලාවකින්ම කාලය අවසන් වී තරඟය ජය පැරදුමෙන් නිමා වෙනවා. ටෙස්ට් තරඟාවලියද 0-0 ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වෙනවා.

කවරයේ පින්තූරය -( cricwizz.com)

Related Articles