Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට පෑයූ අලුත් ම තරුව- චරිත් අසලංක

2016 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් පසුබෑමකට ලක් වුණා. එම පසුබෑම ආරම්භ වුණේ දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මහේල, සංගක්කාර සහ දිල්ෂාන් වැනි දක්ෂ ක්‍රීඩකයන්  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමත් සමඟ යි. ඒ අයුරින් විශ්වාසනීය පිතිකරුවන් තිදෙනකු අහිමි වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය තරමක් දුර්වල තත්ත්වයකට පත්වුණා. සීමිත පන්දුවාර තරගවල දී එම පසුබෑම හොඳින් ම දැකගන්නට ලැබුණා. 

 ගෙවුණු වසර කිහිපය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දක්ෂ තරුණ පිතිකරුවන් කරළියට රැගෙන ඒමට උත්සාහයක නිරත වුණා. ඒ විදිහට මෑත යුගයේ ජාතික කණ්ඩායමට පිවිසි තරුණ ක්‍රීඩකයන් අතුරින් චරිත් අසලංක කාගේත් අවධානය දිනාගත් දක්ෂ පිතිකරුවෙක්. නිමා වුණු ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී සුපිරි දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා සම්මානය පවා දිනා ගත් අසලංක පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ පෙන්නුම් කළා. පාසල් අවධියේ සිට ම කැපී පෙනෙන දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා මුල්ම වරට කාගේත් අවධානය දිනාගත්තේ 2015 වසරේ පැවති යොවුන් ටෙස්ට් තරගයක දී ක්‍රීඩා කළ සුපිරි ඉනිමක් නිසා යි.

චරිත් අසලංක යොවුන් වියේ දී  – Batsman

පාකිස්තානය හමුවේ ලබා ගත් සුපිරි ද්විත්ව ශතකය 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර යොවුන් ටෙස්ට් තරගයක් හම්බන්තොට දී 2015 ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වුණා. එම තරගයේ දී මුලින් ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 347ක් ලබා ගත්තා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අසලංක හතරේ පහර 24ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 200ක් වාර්තා කළා.

ඒ අයුරින් අසලංක ලබාගත් ලකුණු 200 යොවුන් ටෙස්ට් තරගයක දී ශ්‍රී ලාංකීය නායකයකු ලබා ගත් මුල්ම ද්විත්ව ශතකය ලෙසින් වාර්තා අතරට එක් වුණා. ඊට පෙර ශ්‍රී ලංකා නායකයකු යොවුන් ටෙස්ට් තරගයක දී ලබාගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණේ 2009 වසරේ දී දිනේෂ් චන්දිමාල් බංගලිදේශයට එරෙහි ව ලබා ගත් ලකුණු 184 යි. ඒ විදිහට කරළියට පැමිණි චරිත් අසලංක නම් සුපිරි තරුව ඉන් මාස කිහිපයකට පසුව පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී තවත් දස්කම් දැක්වීමට සමත් වුණා.

යොවුන් ලෝක කුසලානයක දී රටට නායකත්වය ලබා දුන් තරුවක් 

2016 යොවුන් ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවරුණා. එදා චරිත්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, ෂම්මු අෂාන්, ජෙහාන් ඩැනියල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත් ව සිටියා. එවර තරගාවලියේ දී දක්ෂ ලෙස තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී B කාණ්ඩය යටතේ තරග වදිමින් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

 අසලංක සහ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් යොවුන් ලෝක කුසලානයේ දී – espncricinfo.com 

 

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. නමුත් තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම අභිබවා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණේ නැහැ. එම පරාජයත් සමඟින් අවසන් තරගයට සහභාගි වීමේ වරම් අහිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය තේරීම සඳහා පැවති තරගයෙන් ද පරාජයට පත්වුණා.

ඒ අනුව යොවුන් ලෝක කුසලානයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් පූර්ව තරගය දක්වා රැගෙන ගිය දෙවන නායකයා ලෙසින් අසලංක ඉතිහාසයට එක් වුණා. ඊට පෙර එම දස්කම පෑ මලින්ත ගජනායක 2000 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන ගියා.

2016 යොවුන් ලෝක කුසලානයේ දී දැක්වූ සුපිරි දස්කම් 

2016 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ චරිත් අසලංක නම් සුපිරි තරුව යි. එහි දී කැනඩාවට එරෙහිව පැවති මුල් ම තරගයේ දී පන්දු 69කින් අගනා ලකුණු 76ක් ලබාගත් අසලංක තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. අසලංක සිය සටන්කාමී බව මැනවින් ප්‍රදර්ශනය කළේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරාගයේ දීයි.

එදා මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් රෂීඩ් ඛාන් ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන පන්දු බළ ඇණිය ඉදිරියේ අසීරු අඩියකට වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 96ක් ඇතුළත බිඳ වැටුණා. ඒ අවස්ථාවේ දී නායකත්වයේ වගකීම මනාව ඉටු කළ අසලංක ලකුණු 71ක් ලබා ගෙන සිය කණ්ඩායම ලකුණු 184ක් දක්වා රැගෙන ගියා. ඉන් නොනැවතුණු මෙම ක්‍රීඩකයා ලකුණු 18කට කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. ඒ අයුරින් තුන් ඉරියව්වෙන් පෑ හපන්කම් නිසා අසලංකට යළිත් වරක් තරගයේ වීරයා සම්මානය හිමි වුණා. 

අසලංක ඇෆ්ගනිස්තාන තරගයේ දී තරගයේ වීරයා සම්මානය ලබාගනිමින් – ft.lk

 

තරගාවලිය තුළ සහභාගි වුණු ඉතිරි තරග හතරේ දී ලකුණු 129ක් ලබාගත් අසලංක තෙවන ස්ථානය තේරීම සඳහා බංග්ලාදේශයට එරෙහි ව පැවති තරගයේ දී ලබාගත් ලකුණු 76 ඉවසිලිවන්ත ඉනිමක් වුණා. ඒ අනුව සමස්ත තරගාවලිය පුරා ම පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ අසලංක අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 276ක් ලබා ගත්තා.

ඊට අමතර ව පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 4ක් දවා ගත්තා. එදා යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි ම ලකුණු ලාභියා බවට පත්වුණු අසලංක ඉතාමත් ඉක්මනින් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇති බව කාගේත් බලාපොරොත්තුව වුණා. 

ඓතිහාසික එංගලන්ත යොවුන් තරග සංචාරය 

2016 වසරේ ජූලි/අගෝස්තු මාසවල දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කළා. ඒ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා යි. චරිත් අසලංකගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, අශේන් බණ්ඩාර වැනි ක්‍රීඩකයන් ඇතුළත් වුණා.

එදා ශ්‍රී ලංකා යොවුන්  ක්‍රීඩකයන් තරග 2කින් සමන්විත වුණු ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කළ නොදම්ප්ටන් ටෙස්ට් තරගයේ දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු ළහිරු කුමාර ලකුණු 134කට කඩුලු 11ක් දවා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා අඩු පන්දුවාර ගණනකින් ලකුණු 94ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණු අවස්ථාවේ නායක අසලංක පන්දු 18කින් ලබාගත් ලකුණු 40 විශේෂ ඉනිමක් බවට පත් වුණා. 

ළහිරු කුමාර – getty images

 

ටෙස්ට් තරගාවලියෙන් පසුව පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබුණා. එහි දී විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දෙවන සහ තෙවන එක්දින තරගවල දී පිළිවෙළින් ලකුණු 117ක් සහ ලකුණු 138ක් ලබාගෙන තරගාවලිය පුරාවට ලකුණු 285ක් ලබාගත්තා.

පළමු තරගයේ දී ලකුණු 70ක් ලබා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම ලකුණු ප්‍රමාණය වාර්තා කළ අසලංක සමස්ත තරගාවලිය තුළ ලකුණු 127ක් ලබා ගත්තා. පිතිකරුවන් එසේ දස්කම් දක්වද්දී පන්දුවෙන් සිය වගකීම ඉටුකළ ළහිරු කුමාර කඩුලු 6ක් දවා ගනිමින් වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. ඒ අනුව එංගලන්ත බිමේ දී යොවුන් ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළ එකම ශ්‍රී ලාංකීය නායකයා ලෙසින් චරිත් අසලංක ඉතිහාසගත වුණා.  

අවිශ්ක එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ ශතකයක් ලබාගත් අවස්ථාව- getty images

කැප කිරීම් කළ සිව් වසරක් 

2016/17 තරග වාරයේ දී සිංහල ක්‍රීඩා සමාජයට එකතු වුණු අසලංක ඊට ආසන්න කාලයක දී ශ්‍රී ලංකා A කණ්ඩායමට සුදුසුකම් ලබා ගත්තා. නමුත් පළමු පෙළ තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අසලංක සමත් වුණේ නැහැ. එහි දී ඔහුට පළමු ඉනිම් 65කදී ශතකයක් සමඟින් ලබාගැනීමට හැකියාව ලැබුණේ  ලකුණු 1752ක් පමණ යි. නමුත් List A තරගවල දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ අසලංක ඉනිම් 48කදී ශතක 5ක් සමඟින් ලකුණු 1860ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී පොලිස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී නොදැවී ලබාගත් ලකුණු 178ක් අමතක නොවන ඉනිමක් බවට පත්වුණා. ඒ අයුරින් List A  තරගවල දී දැක්වූ දස්කම් නිසා 2021 එංගලන්ත සංචාරයේ දී අසලංකට එක්දින වරම් ලැබුණා.

වේදනාත්මක මංගල එක්දින තරගයෙන් පසුව නැගී සිටීම 

2021 ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවර රිවර්සයිඩ් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී එක්දින වරම් ලබා ගත් අසලංක, ඩේවිඩ් විලීගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියා. කෙනිංටන් ඕවල් පිටියේ පැවති දෙවන එක්දින තරගයේ දී යළිත් අසාර්ථක වුණු අසලංක ලකුණු 3කට දැවී ගියා. නමුත් තේරීම් කමිටුව මෙම යොවුන් ක්‍රීඩකයා පිළිබඳව දිගින් දිගටම විශ්වාසය තැබුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ දී යළිත් වරක් අසලංකට අවස්ථාවක් ලබා දුන්නා. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් මෙම යොවුන් ක්‍රීඩකයා තරග 3ක දී ලකුණු 127ක් ලබා ගත්තා. දෙවන එක්දින තරගයේ දී අසලංකගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 65 ඔහුගේ එක්දින දිවියේ මංගල අර්ධ ශතකය බවට පත්වුණා. ඉන් නොනැවතුණු අසලංක ඉන්දියාවට එරෙහිව සහභාගි වුණු මංගල 20/20 තරගයේ දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබාගෙන කාගේත් අවධානය දිනා ගත්තා.

මංගල එක්දින අර්ධ ශතකය ලබාගත් අවස්ථාව- getty images

 

දකුණු අප්‍රිකානුවන් මට්ටු කළ හැටි 

පසුගිය සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වුණු ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියෙන් තරග 2-1ක ජයක් හිමිවුණේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එය ශ්‍රී ලංකාව වසර 8කට පසුව දකුණු අප්‍රිකානුවන් හමුවේ ලබා ගත් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

එහි දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණු අසලංක 72, 77, 47 ලෙස ලකුණු ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව තරග තුනක දී ලකුණු 196ක් ලබාගත් අසලංක තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එසේම තරගාවලියේ වීරයා සම්මානයත් අසලංකට හිමි වුණා. 

අසලංක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව දස්කම් දක්වමින් – getty images

 

අනාගත බලාපොරොත්තුවක් 

 පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරන චරිත් අසලංක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබෙනවා. මෙම ක්‍රීඩකයා නිසි පරිදි කළමනාකරණය කළහොත් අනාගතයේ දී දක්ෂ පිතිකරුවකු වනු ඇති බවට සැකයක් නැහැ. එසේම අසලංකට නායකත්වය දැරීමේ හැකියාව ද හොඳින් ම තිබෙනවා. ඔහු සිය යොවුන් ක්‍රිකට් දිවියේ දී ඒ බව මැනවින් ඔප්පු කිරීමට සමත් වුණා. ඉදිරි අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට වඩාත් සුදුසු ක්‍රීඩකයන් අතුරින් අසලංක ඉදිරියෙන් ම සිටිනවා.  ඒ නිසා ම මෙම වටිනා ක්‍රීඩකයා රැකගැනීම අදාළ බලධාරීන් සතු වගකීමක්. 

කවරයේ ඡායාරූපය- චරිත් අසලංක - getty images

මූලාශ්‍ර-

espncricinfo.com 

howstat.com

Related Articles