Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු බළ ඇණියේ නව සෙන්පතියා – ප්‍රභාත්

1990 දශකයේ මුල් භාගයේ දී මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගත්තා. එතැන් සිට වසර කිහිපයක් ගෙවී යද්දී ඔහු ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලත ම දඟපන්දු යවන්නෙක් බට පත් වුණා.

ඉන් අනතුරුව දිගින් දිගට ම ටෙස්ට් කඩුලු දඩයමේ යෙදුණු මුරලිදරන් 2010 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා විට කඩුලු 800ක් දවා ගෙන තිබුණා. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ යම් පන්දු යවන්නෙක් දවා ගත් වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙස අදටත් වාර්තා අතර රැඳී තිබෙනවා.

මුත්තයියා මුරලිදරන් – gettyimages.com

 

මුරලිදරන්ගේ සමු ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් දඟපන්දු බළ ඇණියේ සුක්කානම හිමිවුණේ රංගන හේරත්ට යි. රංගන ද සිය වගකීම මනාව ඉටුකරමින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

 2018 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහුගේ නම ඉදිරියේ කඩුලු 433ක් සටහන් වී තිබුණා. 

 රංගන හේරත් – gettyimages.com

 

රංගන ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව ශ්‍රී ලංකා දඟ පන්දු බළ ඇණියට දක්ෂ දඟපන්දු යවන්නකුගේ අඩුව තදින් ම දැනුණා. එසේ දක්ෂ දඟ පන්දු යවන්නකුගේ අඩුව තදින් ම දැනෙමින් තිබුණු මොහොතක ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගත්තා.

සිය මංගල ටෙස්ට් තරගයේ සිට විශිෂ්ට අයුරින් පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය මේ වන විට ටෙස්ට් තරග 3කදී කඩුලු 29ක් දවා ගෙන සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා.

ප්‍රභාත් ජයසූරිය – gettyimages.com

 

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී විශිෂ්ට දස්කම් දක්වන ප්‍රභාත් ජයසූරිය දෙස සමස්ත ක්‍රිකට් ලෝකය ම අද වන විට බලා ගෙන සිටිනවා. එවැනි මොහොතක ප්‍රභාත් මෙතෙක් ක්‍රිකට් පිටියේ පැමිණි ගමන් මඟයි මේ.

 ක්‍රිකට් දිවියේ ආරම්භක යුගය 

ප්‍රභාත් ජයසූරිය මාතලේ පුරවරයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත් දෙවන ක්‍රීඩකයා යි. ඔහුට පෙර එම වරම ලබාගත්තේ වේග පන්දු යවන්නෙක් වුණු චානක වෙලගෙදර යි.

2007 සිට 2014 දක්වා ටෙස්ට් තරග 21ක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ චානක කඩුලු 55ක් දවා ගනිමින් සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා. 

චානක වෙලගෙදර – gettyimages.com

 

1991 නොවැම්බර් 5 වැනිදා උපත ලැබූ ප්‍රභාත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණේ මාතලේ ක්‍රිස්තුදේව විදුහල හරහා යි. මුලින් ම එම විදුහලේ 13න් පහළ කණ්ඩායම නියෝජනය කළ ප්‍රභාත් පසුව 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් ද නියෝජනය කළා.

ඉන් අනතුරුව කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වුණු මෙම ක්‍රීඩකයා එහි 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට වසර 2ක් ක්‍රීඩා කළා. එහි දී 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දෙවන වසරේ දී කඩුලු 100ක් බිඳ දැමූ ප්‍රභාත් එවර පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ හොඳ ම පන්දු යවන්නා සම්මානයේ අනුශූරතාව දිනා ගත්තා. 

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එකතු වීම 

සිය පාසල් දිවිය හමාර කිරීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවත් ඉදිරියට යාමට මාන බලමින් සිටි ප්‍රභාත්ට කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එකතු වීමට වරම් ලැබුණා. ඒ 2011/12 තරග වාරය සඳහා යි. එහි දී ප්‍රභාත් කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහි ව පළමු පෙළ වරම් දිනා ගත්තා. ඔහුට එම තරගය පුරාවට ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 2ක් පමණ යි. එහි දී ඔහුගේ මුල් ම පළමු පෙළ කඩුල්ල ලෙස දැවී ගියේ දර්ශන මහවත්ත යි. 

කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවති පුහුණු තරගයක් අතරතුර – gettyimages.com

 

එවර තරග වාරයේ දී ඔහු සිය මුල් ම List A තරගය ලෙසින් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහි ව තරග වැදුණා. නමුත් එම තරගයේ දී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වුණේ නැහැ. පළමු පෙළ සහ List A තරගවල දී අසාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ  මුල්ම 20/20 තරගයේ දී දස්කම් දැක්වීමට ප්‍රභාත්ට හැකි වුණා. ඒ ලන්කන් කණ්ඩායමට එරෙහි ව ලකුණු 26කට කඩුලු 4ක් බිඳ දමමින්. එහි දී ඔහුගේ මුල් ම 20/20 කඩුල්ල ලෙස දැවීගියේ සාලිය සමන් නම් පිතිකරුවා යි.

නිකරුණේ ගෙවුණු වටිනා වසර කිහිපයක් 

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු තරග වාරයේ දී ප්‍රභාත්ට ක්‍රීඩා කිරීමට ලැබුණේ පළමු පෙළ තරග 2ක්, List A තරග 3ක් සහ 20/20 තරග 2ක් පමණ යි. එහි දී ඔහු පළමු පෙළ සහ 20/20 තරගවල දී කඩුලු 4 බැගින් දවා ගනිද්දී, List A තරගවල දී දවා ගැනීමට හැකි වුණේ එක කඩුල්ලක් පමණ යි. ඒ අයුරින් දක්ෂතා අතර නොසිටි ප්‍රභාත්ට කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමඟ රැඳීමට ලැබුණේ වසර 2ක කාලයක් පමණ යි. 

ප්‍රභාත් ජයසූරිය දේශීය එක්දින තරගයක දී පන්දු යවමින් – dailyft.lk

 

ඉන් පසුව සැරසන්ස් වැනි කුඩා ක්‍රීඩා සමාජ කිහිපයකට ක්‍රීඩා කළ ප්‍රභාත්ට සැලකිය යුතු තරම් දස්කම් පෙන්වීමට හැකි වුණේ නැහැ. එනිසා ඔහුට 2015  වසරේ අග භාගය දක්වා ම  ප්‍රබල ක්‍රීඩා සමාජයකට එකතු වීමට අවස්ථාව ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 20-24 කාල සීමාව ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ක්‍රිකට් ජීවිතයේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක් ලෙසින් සැලකෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ප්‍රභාත්ට අවුරුදු 24ක් සම්පූර්ණ වෙද්දීත් වැඩි පළමු පෙළ තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වුණා.  

 කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හරහා දස්කම් අතරට පිවිසීම 

ප්‍රභාත් ජයසූරිය නම් ක්‍රීඩකයා සතු ව සුවිශේෂී කුසලතාවක් තිබෙන බව අවබෝධ කරගත් කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ බලධාරීන් 2015/16 තරග වාරය සඳහා ඔහු සිය ක්‍රීඩා සමාජයට එකතු කර ගත්තා. එවර තරග වාරයේ දී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමට ලැබුණු මුල් ම අවස්ථාවේ දී ම ප්‍රභාත් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තා. 

ඉන් නොනැවතුණු ප්‍රභාත් එම තරග වාරයේ දී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ඉනිම් 15ක දී කඩුලු 38ක් දවා ගත්තා. එහි දී ඔහු සිය පැරණි ක්‍රීඩා සමාජය වුණු කොළඹ ක්‍රීඩා සමාජයට එරෙහි ව පැවති තරගයක දී ලකුණු 120කට කඩුලු 12ක් දවා ගත්තා. බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහි ව පැවති තරගයක දී ලකුණු 83කට කඩුලු 10ක් දවා ගනිමින් තවත් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. එවර පළමු පෙළ තරගාවලියේ දී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා බවට පත්වීමට ද ප්‍රභාත්ට හැකි වුණා.

ප්‍රභාත් කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් – thepapare.com

 

එවර තරග වාරයේ එක්දින තරගාවලියේ දීත් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ප්‍රභාත් තරග 5කදී කඩුලු 12ක් දවා ගනිමින් තරගාවලියේ සිවු වන වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. එම තරගාවලියේ දී ප්‍රබල බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී ලකුණු 19කට කඩුලු 5ක් දවා ගත් ප්‍රභාත් සිය කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන ගියා.

එන්.සී.සී. කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් තරගයේ දී ඔවුන් ලකුණු 77ක පරාජයක් ලැබීම නිසා අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා. 

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කැඳවීම 

2015/16 තරග වාරයේ දේශීය පළමු පෙළ තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා ප්‍රභාත්ට මුල්ම වරට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා.  ඒ 2016 එංගලන්ත සංචාරයේ දීයි. එම  සංචාරයේ දී  ශ්‍රී ලංකා ඒ සහ පාකිස්තාන ඒ කණ්ඩායම් අතර නිල නොවන ටෙස්ට් තරග 2ක් පැවැත්වුණා. එහි දී එක් නිල නොවන ටෙස්ට් තරගයකට පමණක් ක්‍රීඩා කළ ප්‍රභාත්ට ලබාගැනීමට හැකි වුණේ එක ම එක කඩුල්ලක් පමණ යි. එනිසා ඔහුට අඛණ්ඩ ව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ රැඳී සිටීමට හැකි වුණේ නැහැ. 

දේශීය තරග පිටියේ දී දැක් වූ දස්කම් 

2015-2018 කාලයේ කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගවල දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට ප්‍රභාත්ට හැකි වුණා. එහි දී ඔහු 2016/17 තරග වාරයේ දි කඩුලු 22 ක්ද, 2017/18 තරග වාරයේ දී කඩුලු 53 ක්ද බිඳ දැමීමට සමත් වුණා.

එම කාල සීමාවේ දී දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය වැනි අත්දැකීම් බහුල දඟපන්දු යවන්නන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළා. එවැනි පන්දු යවන්නන් සමඟ එකට ක්‍රීඩා කිරීමෙන් ප්‍රභාත්ට තව තවත් අත්දැකීම් ලැබුණා. 

දිල්රුවන් පෙරේරා – gettyimages.com

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 දී සංවිධානය කළ අන්තර් දිස්ත්‍රික් එක්දින  ක්‍රිකට් තරගාවලියේ දී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රභාත් තරග 4 කදී කඩුලු 10ක් දවා ගත්තා. ඒ අයුරින් ප්‍රභාත් පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා කෑගල්ල දිස්ත්‍රික්කයට තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට හැකි වුණා. Iඊට වසරකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලියේ දී මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද ඔහුට හිමි වුණා. 

ජාත්‍යන්තර එක්දින වරම් හිමිවීම 

දේශීය තරගවල දී දිගින් දිගට ම දැක්වූ දස්කම් නිසා 2018 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී ප්‍රභාත්ට එක්දින වරම් හිමි වුණා. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ ප්‍රභාත් පන්දුවාර 10ක් යවමින් ලකුණු 53ක් ප්‍රතිවාදීන්ට ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැහැ.

එම තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කළ ඉතිරි තරගයේ දී ත් කඩුලු දවා ගැනීමට ප්‍රභාත්ට හැකි වුණේ නැහැ. එනිසා මෙම ක්‍රීඩකයාට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ  අඛණ්ඩව රැඳී සිටීමට නොහැකි වුණා.

 මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමින් – gettyimages.com

 

උත්සාහය අත් නොහැරීම 

වසර ගණනාවක් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ප්‍රභාත් 2020/21 තරග වාරයේ දී කොළඹ සිංහල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. එම තරග වාරයේ දේශීය 20/20 තරගාවලිය ජයග්‍රහණය කළේ සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම යි. එහි දී තරග 7කට සහභාගි වෙමින් කඩුලු 11ක් දවා ගත් ප්‍රභාත් සිය කණ්ඩායම ලබා ගත් වටිනා ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වුණා. 

ඉන් අනතුරුව දිගින් දිගට ම සිය උත්සාහය අත් නොහැරි ප්‍රභාත් 2022 ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී තරග 4කට සහභාගි වෙමින් කඩුලු 26ක් දවා ගත් මෙම ක්‍රීඩකයා තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. ඒ අයුරින් දැක්වූ දස්කම් නිසා ඔහුට ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායමට එරෙහි ව පැවති නිල නොවන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා.

සුපර් ලීග් සිව්දින තරගාවලියේ දී දස්කම් දක්වමින් – srilankacricket.lk

 

වාද විවාද මැද ටෙස්ට් වරම් හිමිවුණු හැටි  

පසුගිය ජූනි මාසයේ දී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගය සඳහා ප්‍රභාත් ක්‍රීඩා කළා. එම තරගයේ දී ඔහු ලකුණු 114ක් ප්‍රතිවාදීන්ට ලබා දී බිඳ දැමුවේ එක විකට්ටුවක් පමණ යි.

එම තරගය අතරතුර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක සහ  පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සමඟින් ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ නායක මාකස් හැරිස් යම් කතාබහක නිරත වුණා. එහි දී හැරිස් ශ්‍රී ලංකා නිලධාරින් දෙපළගෙන් ප්‍රශ්න කර සිටියේ ප්‍රභාත්ට ටෙස්ට් වරම් ලබා දීම මෙතරම් ප්‍රමාද ඇයි ද යන කාරණ ය යි. 

චරිත් සේනානායක – thepapare.com

 

ඒ මොහොතේ හැරිස්ට සහායට පැමිණි ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ පුහුණුකරුවා ද පවසා සිටියේ ප්‍රභාත්ට එම තරගයේ දී කඩුලු දවා ගැනීමට නොහැකි වුණත් තම පිතිකරුවන් ඔහුගේ පන්දුවලට තරමක් අසීරුවෙන් මුහුණ දුන් බවයි. ඒ අතරතුර ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයට නව දඟපන්දු යවන්නන් දෙදෙනෙක් යොදාගැනීමට අවශ්‍ය වුණා. 

එහි දී චරිත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, කණ්ඩායමේ පුහුණුකරු, නායකයා සහ කළමනාකරු අමතා ඉල්ලා සිටියේ ප්‍රභාත් ඊළඟ ටෙස්ට් තරගයට එක් කර ගන්නා ලෙස යි. එහි දී ඔහු ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුවා ප්‍රභාත් ගැන කියූ දේවල් ද පවසන්නට අමතක කළේ නැහැ. එම අවස්ථාවේ දී චරිත් සේනානායකගේ ඉල්ලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් ද පෙනී සිටියා. එනිසා ප්‍රභාත්ට ටෙස්ට් වරම් හිමි වුණා. 

දිමුත් කරුණාරත්න සහ ප්‍රභාත් ජයසූරිය – gettyimages.com

 

මංගල ටෙස්ට් තරගයේ දී පෑ සුපිරි දස්කම 

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 39ක පහසු ජයක් හිමි වුණා. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ප්‍රභාත් ජයසූරිය සමස්ත තරගය පුරාවට ලකුණු 177කට කඩුලු 12ක් දවා ගත්තා.

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් සිය මංගල ටෙස්ට් තරගයේ දී සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. එහි දී ඔහු බිඳ දැමුවේ ප්‍රවීන් ජයවික්‍රම 2021 දී බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 178කට කඩුලු 11ක් බිඳ දමමින් තබා තිබුණු වාර්තාව යි.  

මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දැක්වීම – gettyimages.com

 

ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු බළ ඇණියේ නව සෙන්පතියා 

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිත ව පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලියේ දී දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කළා.

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ප්‍රභාත් තරග 2කදී කඩුලු 17ක් දවා ගෙන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. 

පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක්වීම – gettyimages.com

 

ඒ අනුව ඔහු සිය ටෙස්ට් තරග දිවියේ සහභාගි වුණු මුල් ටෙස්ට් තරග 3 දී කඩුලු 29ක් බිඳ දැමීමට සමත් ව සිටිනවා. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිය මුල් ම ටෙස්ට් තරග 3දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත්තේ නරේන්ද්‍ර හිර්වානි නම් ඉන්දීය දඟපන්දු යවන්නා යි.

එහි දී ඔහු කඩුලු 31ක් බිඳ දැමුවා. ප්‍රභාත් සිය මුල් ටෙස්ට් තරග 3දී දවාගත් කඩුලු 29 දෙවැනි වන්නේ හිර්වානිගේ කඩුලු 31ට පමණ යි. 

නරේන්ද්‍ර හිර්වානි – gettyimages.com

 

වර්තමානය වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින දඟපන්දු යවන්නන්ට එතරම් අත්දැකීම් නැහැ. එවැනි වටපිටාවක අඛණ්ඩව කඩුලු ලබාගන්නා පන්දු යවන්නකුගේ අවශ්‍යතාව අප ටෙස්ට් කණ්ඩායමට තදින් ම දැනුණා. එම කාර්යභාරය අද වන විට ප්‍රභාත් අතින් හොඳින් ම ඉටු වෙන බවයි දිස්වන්නේ. එනිසා ඔහු අද වන විට ශ්‍රී ලංකා ටෙස්ට් දඟපන්දු බළ ඇණියේ නව සෙන්පතියා බවට පත් ව සිටිනවා. 

කවරයේ ඡායාරූපය- ප්‍රභාත් ජයසූරිය - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com

sundayobserver.lk 

Related Articles