Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අර්ජුණගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි තරුවක් වන අර්ජුණ රණතුංග 1996 විල්ස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් නායකයා යි. 1982-2000 කාල සමය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි අර්ජුණ, සිය රටට ක්‍රිකට් ජයග්‍රහණ රැසක් උරුමකර දීමට දායක වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව එතරම් ප්‍රබල තත්ත්වයක නොතිබුණු යුගයක පවා ප්‍රතිවාදීන් සමග කරට කර සටන් කළ මෙම ක්‍රීඩකයා එක් යුගයක සිටි හොඳම එක්දින තරග අවසන් කරන්නෙකු වුණා. එම නිසා අදටත් පැරණි ක්‍රිකට් ලෝලීන් එදා අර්ජුණ පෑ හපන්කම් පිළිබඳව අභිමානයෙන් කතා කරනවා. වසර 18ක් පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දී විශිෂ්ට දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය තුළ අමතක නොවන සිදුවීම් රැසක් සිදු වුණා. පහත දැක්වෙන ඡායාරූපය මඟින් ඉදිරිපත් කරන්නේ එම අවස්ථාවන්.

ටෙස්ට් අර්ධ ශතකයක් ලබාගත් මුල්ම ලාංකික පිතිකරුවා බවට පත් වීම 

1982 වසරේ පී සරා ඕවල් පිටියේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා වරම් හිමිකරගත් අර්ජුණ ඒ වන විට 18 හැවිරිදි වියේ පසු වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක බන්ධුල වර්ණපුර මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළත්, විලිස් සහ බොතම් විසින් මැනවින් පන්දු යවමින් ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 34ක් තුළ දවාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි ඒ අවස්ථාවේ පිටියට පිවිසි අර්ජුණ රණතුංග, අනිත් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි රන්ජන් මඩුගල්ලේ සමග එක්ව ලකුණු 99ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී පන්දු 96කට මුහුණ දුන් අර්ජුණ, හතරේ පහර 7ක් සමගින් අගනා ලකුණු 54ක් ලබාගෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අර්ධ ශතකයක් ලබාගත් මුල්ම පිතිකරුවා ලෙසින් වාර්තා අතරට එකතු වුණා.

අර්ජුණගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ලෝක වාර්තාවක් තැබීමට මඟ පෑදූ සුපිරි ඉනිම 

1992 ලෝක කුසලානය යටතේ පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය නිව් ෆ්ලයිමවුත්හි දී පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 312ක් ලබාගත්තා. එහිදී සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණු ඇන්ඩි ෆලවර් නොදැවී ලකුණු 115ක් ලබාගන්නා විට, ඇන්ඩි වොලර් පන්දු 45ක දී නොදැවී වේගවත් ලකුණු 83ක් ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 313ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මහානාම සහ සමරසේකර ලකුණු 128ක වේගවත් ආරම්භයක් ලබාදුන්නා. නමුත් ඉක්මනින්ම කඩුලු කිහිපයක් දැවී ගිය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 167/4 බවට පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් සිටි එම අවස්ථාවේ අභීත ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුණ, පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් ලබාගත්තේ සිය කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් උරුමකර දෙමින්. එදා අර්ජුණගේ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගිය මුල්ම කණ්ඩායම බවට පත් වුණා. 

අර්ජුණගේ සුපිරි ඉනිමේ අවස්ථාව (gettyimages)

1996 ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීම 

1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව උරෙනුර ගැටුණා. ලාහෝර් නුවර ගඩාෆි පිටියේ පැවති අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගත්තා. කැංගරුවන් විසින් ලබාදුන් ලකුණු 242ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 125ක් තුළ දැවීගියා. එම අවස්ථාවේ දී පිටියට පිවිසි මෙම සුපිරි පිතිකරුවා අරවින්ද සමග එක්ව කැංගරුවන්ට බැට දුන්නා. එදා අරවින්ද නොදැවී ලකුණු 107ක් ලබාගෙන අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන විට ඔහුට අනගි සහායක් ලබාදුන් අර්ජුණ පන්දු 37කින් නොදැවී ලකුණු 47ක් ලබාගත්තා. එහිදී ග්ලේන් මැග්‍රාත් විසින් අර්ජුණට යොමු කළ 47 වැනි පන්දුවාරයේ 2 වන පන්දුවට ඔහු ලේට් කට් පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණ වාර්තා කළා. එය අර්ජුණගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන පහරක් බවට පත් වුණා. 

අර්ජුණ ජයග්‍රාහී ලකුණ වාර්තා කළ අවස්ථාව (gettyimages)

ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් සොඳුරු මොහොත 

අර්ජුණ රණතුංග නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රීඩා ජීවිතයේ සොඳුරුම මොහොත බවට පත් වුණේ 1996 විල්ස් ලෝක කුසලානය දිනාගත් අවස්ථාව යි. 1982 වසරේ දී ක්‍රිකට් පිටියට පිවිසි අර්ජුණ 1996 වසර වන තුරු සිය රට ලෝක ක්‍රිකට් පිටිය තුළ ඉහළට ඔසවා තැබීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළා. ඔහු වසර 14ක් පුරාවට කළ කැප කිරීම්වල අවසන් ප්‍රතිඵලය වුණේ 1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය යි. එම ජයග්‍රහණය ලබාගැනීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙහි විශාල වෙනස්කමක් සිදුවුණු බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

අර්ජුණ විල්ස් ලෝක කුසලානය සමග (gettyimages)

ශ්‍රී ලංකාව නියම ලෝක ශූරයන් බව ඔප්පු කර පෙන්වූ හැටි 

1995/96 ක්‍රිකට් තරග වාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියට සහභාගි වීම සඳහා යි. එම අවධිය වන විට ලෝක ක්‍රිකට් පිටිය තුළ නැගී එන කණ්ඩායමක් බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට කැංගරුවන් විවිධ කෙනෙහිලිකම් කළා. එම කෙනෙහිලිකම්වලට විල්ස් ලෝක කුසලාන අවසන් තරගයේ දී පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 1996 සිංගර් ලෝක ශූරතා සිවුකොන් තරගාවලිය සඳහා පිවිසුණේ ඔවුන් නියම ලෝක ශූරයන් බව ඔප්පු කර පෙන්වීම සඳහා යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වුණා. එම රටවල් අතුරින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1996 ලෝක කුසලාන අවසන් තරගය නැවතත් සිහිපත් කරමින්. එදා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 50කින් පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ ඔවුන් නියම ලෝක ශූරයන් බව නැවතත් ඔප්පු කරමින්. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ලකුණු මැෂිම වුණු අරවින්ද ද සිල්වා  තරග 4ක් තුළ නොදැවීම් 4ක් සමගින් ලකුණු 334ක් ලබාගත්තා. 

අර්ජුණ රණතුංග ජයග්‍රාහී කුසලානය සමග (sportstar)

ඉන්දු බිමේ දී ලබාගත් සුපිරි එක්දින තරගාවලි ජයග්‍රහණය

1997 වසරේ දී ඉන්දියාවේ පැවති පෙප්සි නිදහස් කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන රටවල් සහභාගි වුණා. එම තරගාවලියේ මූලික වටය යටතේ පැවති තරගවල දී ඉන්දියාව සහ නවසීලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. තරග 3කින් සමන්විත අවසන් වටයේ දී  පාකිස්ථානය සමග උරෙනුර ගැටුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු තරග 2ක ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනාගත්තා. එදා ඉන්දු බිමේ දී ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය අදටත් ඔවුන් ඉන්දු බිමේ දී ලබාගත් එකම එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා. 

අර්ජුණ ජයග්‍රාහී කුසලානය සමග (ක්‍රිකට් ලොව)

එක්දින දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය ලබාගත් ඉනිම 

1997 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ පැවති ඉන්දු-ලංකා තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 227ක් ලබාගත්තා. ඉන්පසුව ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුණ පන්දු 152ක දී හතරේ පහර 17ක් සමගින් නොදැවී ලකුණු 131ක් ලබාගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්.

අර්ජුණ ලකුණු 131ක් ලබාගැනීමෙන් පසුව ක්‍රීඩාගාරය වෙත පැමිණෙමින් (Cricket Talk)

අමතක නොවන 1998 එංගලන්තය සංචාරය 

1998 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වුණේ කෙනිංටන් ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුත්තයියා මුරලිදරන් 220/16 ලෙසින් සිදුකළ අති විශිෂ්ට පන්දු යැවීමත් සනත් ජයසූරිය ලබාගත් ලකුණු 213ත් නිසා ශ්‍රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක් හිමි වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්ත බිමේ දී ලබාගත් මුල්ම ටෙස්ට් තරග ජයග්‍රහණය වුණා. ශ්‍රී ලංකාව ලබාගත් එම ජයග්‍රහණයත් සමගින් තරගයකින් සමන්විත වුණු ටෙස්ට් තරගාවලියේ ජය 1-0 ලෙසින් ශ්‍රී ලංකාවට හිමි වුණා.

අර්ජුණ ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමුණු කුසලානය සමගින් (gettyimages)

එම සංචාරය යටතේ පැවති එමිරේට්ස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, එංගලන්තය, සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සහභාගි වුණා. එම තරගාවලියේ මූලික වටයෙන් පසුව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම යි. එදා ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් තරගයේ දී මාවන් නොදැවී ලබාගත් ලකුණු 132ත් මුරලිදරන් 34/5 ලෙසින් සිදුකළ දක්ෂ පන්දු යැවීමත්  නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි වුණා. 

අර්ජුණ එමිරේට්ස් කුසලානය සමගින් (gettyimages)

මුරලිදරන් වෙනුවෙන් එසවුණු ඇඟිල්ල

1998/99 කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ ඕස්ට්‍රේලියානු බිමේ දී යි. එම තරගාවලියේ මූලික වටය යටතේ පැවති 8 වැනි තරගයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරග වැදුණා. එම තරගයේ එක් විනිසුරුවරයෙකු ලෙසින් කටයුතු කළ රොස් එමර්සන් නම් විනිසුරුවරයා මුරලිදරන්ට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කළා. එවිට මුරලි වෙනුවෙන් ඉදිරිපත් වුණු නායක අර්ජුණ විනිසුරුවරයා සමග උණුසුම් වචන හරඹයක් සිදු කළා. එලෙස මුරලිගේ ප්‍රශ්නයට අර්ජුණ මැදිහත් නොවන්නට මුරලිගේ ක්‍රිකට් දිවිය අකාලයේ විනාශ වන්නට තිබුණා. නමුත් අර්ජුණගේ එඩිතර නායකත්වය නිසා මුරලිගේ ක්‍රිකට් දිවිය සුරක්ෂිත වුණා.

අර්ජුණ සහ එමර්සන් අතර ඇති වුණු උණුසුම් වචන හරඹය (gettyimages)

කවරයේ ඡායාරූපය- අර්ජුණ සහ අසාරුඩීන් 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී (Cricket Talk)

Related Articles